මෙරට සිදු වූ කම්කරු අරගල පිළිබඳ කතා කරද්දී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයන්ට මුහුණපෑමට සිදු වූ පාලක පන්තියේ තාඩන පීඩන හා ආර්ථික ගැටලු හමුවේ ඔවුන් කළ ජීවිත පරිත්‍යාග හා සාමූහිකව මුහුණ දුන් වෘත්තීයමය අභියෝග පිළිබඳව සඳහන් නොකළ හොත් ඔවුන්ට කෙරෙන විශාල අසාධාරණයකි.


බි්‍රතාන්‍ය යටත් විජිතයක් වූ මෙරටේ රජයේ නිල ප්‍රකාශනය 1802 මාර්තු 15 වන දින ඇරඹිණ. අද වන විට විවිධ විපර්යාසයනට ලක් වූ රජයේ ගැසට් පත්‍රයේ ආයුකාලය වසර දෙසිය දහසයකි.


රජයේ ගැසට් පත්‍රය එදා හැඳින්වූයේ ‘මහ රජාණන්ගේ හෙවක් ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය’ යනුවෙනි. දිනෙන් දින උග්‍රවුණ කම්කරු ගැටලු හේතුවෙන් වෘත්තිය සමිතියක ඇති අවශ්‍යතාව පෙන්වා දුන් එච්. සී. ආර්. බි්‍රටෝ ඇතුළු පිරිසක් විසින් 1944 දෙසැම්බර් 09 වැනිදා රැස්වී මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය ආරම්භ කරන ලදි.


1948 දී රටට නිදහස ලැබෙන විටද යටත් විජිත සමයේ ගතානුගතික බලපෑම් නිසා ඇති වූ බියකරු සිතුවිලි හේතුවෙන් සටන්කාමී හැඟීම් සේවකයන් තුළ ඇති නොවීය. සුදු පාලකයන් ඉවත්ව ගියද දිගටම රජයේ මුද්‍රණාලයාධිපති ලෙස සේවය කළේ ඒ. සී. රිචඞ් නමැති සුදු පාලකයාය.


මුද්‍රණාලයේ සියලු කටයුතු කෙරුණේද තනිකරම ඉංග්‍රීසියෙනි. අසනීප නිවාඩු ගැනීමේදී ද පෝර්මය පිරවීම කළ යුතුව තිබුණේද ඉංග්‍රීසියෙනි. වෙනෙකක් තබා සංගමයේ සියලු ලියකියවිලිද ඉංග්‍රීසියෙන් කළ යුතු විය.


1945 වසරේ ඔක්තෝබරයේ සෙනසුරාදාවක වැඩට ගිය තාවකාලික සේවකයන් 163 දෙනෙකු එදිනම අස්කළ බව දන්වා ලිපිභාර දෙනු ලැබිණ. උන්හිටි ගමන් එල්ල වූ මෙම විපත ගැන කම්කරුනායක ඒ. ඊ. ගුණසිංහට මෙන්ම අමාත්‍ය තනතුරක් දැරූ සර් ඔලිවර් ගුණතිලකට ද පැමිණිලි කරන ලදී. 


තාවකාලික අය අස්කළාට අපට කරන්න දෙයක් නෑ’ ඔවුන්ගේ දැඩි පිළිතුර විය. අනතුරුව සේවක සංගමය මේ දුක් ගැනවිල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට දැන්වූහ. ඇන්. ඇම්. වහාම දුරකථනයෙන් සුදු පාලකයා ඇමතීය.


‘එතුමා චිත්‍රපටයක් බලන්න ගිහින්’ එහා කොනින් පිළිතුරු ලැබිණ. ඇන්. ඇම්. ඔහු එනතුරු නොසිට වැඩ කළමනාකාර සොලමන් සිල්වා අමතා දැඩි ලෙස දොස් පැවරීය. ඊළඟ සඳුදා වනවිට 163 දෙනාම යළි සේවයේ පිහිටුවන ලදී.


සේවකයන් තුළ ආධ්‍යාත්මික පෙරළියක් ඇති වූ යුගය ලෙස 1956 අගමැති බණ්ඩාර නායකයන්ගේ නායකත්වයෙන් බලයට පත් සමය හැඳින්විය හැකිය. රජයේ මුද්‍රණාලය තුළ ‘ඉංග්‍රීසි කඩුව’ වෙනුවට සිංහලය සවිමත් විය. සංගමයේද නිල භාෂාව සිංහල විය. ටයිතබා කලිසම් අතහැර ආරිය ඇඳුමට සේවකයෝ හුරුවූහ. මෙතෙක් සිදු වූ අක්‍රමිකතා සෙවීමට ‘කැස්පර්ස්’ කමිටුව පත් කෙරිණ.


1960 දී වාමාංශික දේශපාලනය වැලඳගත් සාමාජිකයෝ පැරණිම වෘත්තිය සම්මේලනය වූ සමසමාජයට අයත් ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සාමාජිකත්වය ගෙන කම්කරු අයිතීන් දිනාගත්හ.


1964 දී මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පෞද්ගලික මුදලාලි ක්‍රමයට යටත්ව තිබූ පාසල් පොත් මුද්‍රණය රජයට පවරා ගැනීමට මූලිකත්වය ගත්තේය. එතෙක් පැවති මුද්‍රණ පහසුකම් අල්ප වුවත් එය අභියෝගයක් ලෙස බාරගෙන පොත් කාණ්ඩ 16 කට අයත් ලක්ෂ ගණන් පාසල් පොත් මාස 03 ක් වැනි කෙටි කාලයකින් මුද්‍රණය කිරීමට මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය ප්‍රධාන සේවකයෝ ඇප කැපවී ක්‍රියා කළහ. එවකට මුද්‍රණාලයාධිපති ධුරය දැරුවේ බර්නායි සිල්වා විසිනි.


‘එක වැඩ පළකට එක සමිතියක්’ පාඨය යටතේ ලැබූ ජයග්‍රහණ වෙනත් මගකට ගෙන යමින් ශ්‍රේණිගත මට්ටමින් වෘත්තීය සමිති බිහිවන්නට වූයේ 1950 සිටය. 


ඒ අනුව 1950 දී ශුද්ධිපත් බලන්නන්ගේ සංගමය, 1964 දී සමස්ත ලංකා රජයේ වර්ණයෝජකයන්ගේ සංගමය, 1969 දී ලයිනෝ මොනෝ ක්‍රියාකරුවන්ගේ සංගමය හෙවත් කාර්මික නිලධාරීන්ගේ සංගමය, 1965 දී හත්හවුල් ආණ්ඩුව යටතේ එක්සත් සේවක සංගමය, 1970 දී සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නිදහස් මුද්‍රණ සේවක සංගමයද බිහිවිය.
වසර 22 ක් යනතුරු නිසොල්මනේ ගලාගිය සේවක වැඩමුරයට ගිනි ඇවිළුනේ 1966 ජනවාරි 08 වැනිදා වැඩවර්ජනයක වෙඩි මුරය පත්තුවීමත් සමගය. රජයේ ලිපිකරු සේවා සංගම් ශාඛාව  හා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය සංවිධානය කළ මෙම වැඩ වැරුමට එක් වූ 71 දෙනකුගේ වැඩ තහනම් විය. මාස 08 කට පසු ඔවුන් යළි සේවයේ පිහිටුවීමට සංගමයට හැකිවිය.

 

 

1968 ඔක්තෝබර් 08 දින මුද්‍රණාලයාධිපති විසින් බෙදා හැරීම් අංශයේ එන්. ඩී. ඒඞ්න් නමැති කම්කරු නිලධාරියා කිසිදු පරීක්ෂණයකින් තොරව වැඩතහනමට ලක්කිරීමට එරෙහිව ඒකාබද්ධ බලමණ්ඩලයේ නායකත්වයෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹන ලදී. දින පහක් පුරා සටන් පාඨ පුවරු රැගත් පෙළපාළි යමින් විරෝධය දැක් වූ අතර පාලකයන් දණ නැවූ බැවින් ඇරඹෙන්නට ගිය වැඩ වර්ජනය නතර කර ඔහු යළි සේවයේ පිහිටුවන ලදී.


එහෙත් 1968 දෙසැම්බරයේ ඇරඹි වැඩ වර්ජනය ඊටත් වඩා උද්වේගකර විය. රුපියල් 40 කින් වැටුප් වැඩි කිරීම, 1966 වර්ජනයේදී දුන් දඬුවම් අහෝසිකිරීම යන ඉල්ලීම් මත ඇරඹි වර්ජනයට එකාබද්ධ බලමණ්ඩලය සමග එක්සත් සේවක සමිතියද එක්විය. එක් සමිතියක් හැර අනෙකුත් සමිති පුරා දින 23 ක් අධිෂ්ඨානශීලීව සටන් කළ අතර අත්‍යවශ්‍ය සේවා නියෝග පවා නොසලකා හැරියහ.


1976 දී සමගි පෙරමුණ ආණ්ඩුවේ සමසමාජ ඇමැතිවරුන් ධුරවලින් ඉවත් කෙරිණි. පාසල් පොත් මුද්‍රණය යළි පෞද්ගලික අංශයට පවරන ලදී.
එපමණක් නොව රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රිත චෙක්පත්, ලොතරැයි ටිකට්පත් මුද්‍රණාල සංස්ථාවට පවරන ලදී. මෙයින් සේවකයන් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගත වූ අතර වෘත්තිය සමිති සියල්ලම රජයට අනතුරු ඇඟවූහ රජයේ පිළිතුර වූයේ වර්ජනය කළහොත් හදිසි තත්ත්වය යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.


එම අභියෝගය පිළිගත් රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය 1976 ජනවාරි 14 වැනිදා සංකේත වර්ජනයක් සඳහා කළ යෝජනාව සියලු සමිති පිළිගත්හ. 1976 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පැවතුණ ද මෙම වැඩ වර්ජනයට ශ්‍රී ලංකා නිදහස් මුද්‍රණ සේවක සංගමය හා කොමියුනිස්ට් පක්ෂ සමිතිද එක්වීම සුවිශේෂ සිද්ධියකි. මෙසමයෙහි ප්‍රවෘත්ති ඇමැතිවරයා වූයේ ආර්. ඇස්. පෙරේරාය.

 

 


මතු සම්බන්ධයි.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි