මෙවන් දේශපාලන සන්දර්භයක් තුළ 2013 වසරේදී ද ජාතික හෙළ උරුමයේ දේශපාලන නායකයන් සියලු දෙනාම මීට පෙර මෙන් කාසල්රී හිදී පැවැත්වූ තවත් සාකච්ඡාවක් කළුතර බෝම්බුවල කෘෂිකර්ම පර්යේෂණායතන නිවාඩු නිකේතනයේදී පැවැත්වීය.


ජාතික හෙළ උරුමය අතර ප්‍රසිද්ධ මෙම බෝම්බුවල සාකච්ඡාවේදී ප්‍රධාන කථිකයා වූයේ උදය ගම්මන්පිලයි. එහිදී ඔහු දිගින් දිගටම තර්ක කරන්නට වූයේ බස්නාහිර පළාත් සභා ඡන්දයේදී ජාතික හෙළ උරුමය තනිව තරග කළ යුතු බවය. ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට උදය ගොඩනැගූ තර්කයේ පදනම වූයේ, “මේ වන විට බස්නාහිර පළාතේ මධ්‍යම පන්තිය ආණ්ඩුවෙන් ඉවත් වී හමාරය” යනුයි.


අනෙක් අතට ජාතික හෙළ උරුමයේ දේශපාලන පදනම රැඳී තිබෙන්නේ එම මධ්‍යම පන්තිය මතයි. ඒ අනුව ජාතික හෙළ උරුමය සන්ධානය සමග එක්ව තරග කළද තමන්ට ඡන්දය දෙන්නට මධ්‍යම පන්තියක් සන්ධානයේ නැත. තවද සන්ධානයට සහයෝගය දෙන මධ්‍යම පන්තිය පළාත් සභා ඡන්දයක් නිසාවෙන් ඡන්ද පොළට යන්නේ ද නැත. නමුත් ජාතික හෙළ උරුමය තනිව තරග කරන කල ගොඩනැගෙන දේශපාලන තරගය හා උනන්දුව හේතුවෙන් එම මධ්‍යම පන්තිය ජාතික හෙළ උරුමය වෙනුවෙන් ඡන්ද පොළට ගෙන්නවා ගත හැක. බෝම්බුවල සාකච්ඡාවේදී උදය ගොඩනැගූ සරල තර්කය එයයි. ජාතික හෙළ උරුමය සන්ධාන බසයෙන් බැස ගත යුතු නිවැරදි හන්දිය මෙතැන බව, ඒ අනුව අදහසක්ද පැන නැංගේය. විශේෂයෙන්ම චම්පික ඇමතිතුමාට ශ්‍රී.ල.නි.ප.යේ. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මීට පෙර කියා තිබුණේ ආණ්ඩුවේ බසයෙන් බැස යනවා නම් හරිම හන්දියෙන් බැස යන ලෙසය. 


උදය ගම්මන්පිලගේ මෙම නව යෝජනාව බොහෝ දෙනාට චිත්තාකර්ෂණීය නවමු අදහසක් විය. ඒ අනුව ඊට අනුරූපව තවත් යෝජනාවක් ඉදිරිපත් වූ අතර එමගින් කියවුණේ ඉදිරි බස්නාහිර පළාත් සභා ඡන්දයේදී පූජ්‍ය රතන හිමි හා චම්පික ඇමතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉවත්ව පළාත් සභා මැතිවරණ තරග කළ යුතු බවයි. ඒ අනුව රතන හාමුදුරුවෝ ගම්පහටද චම්පික කොළඹ දිස්ත්‍රික්කයටද නායකත්වය ලබා දිය යුතු විය. මෙම තීරණයත් සමග පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉතා උද්වේග කර කතාවක නිරත වූ අතර සාකච්ඡාව අවසානයේ උන්වහන්සේ පිරිත් කියමින් සියලු දෙනාටම පිරිත් නූල් ගැට ගැසුහ. එහෙත් චම්පික ඇමතිතුමා තරමක් වික්ෂිප්තව සිටියේය. ඔහු මෙම ප්‍රවේගකාරී තීරණයට තම නොසතුට මුහුණින් පළ කළත් අවසානයේ පිරිත් නූල ගැට ගසා ගැනීමට ඕමල්පේ හාමුදුරුවන් දෙසට දණ නැමීය. 


බෝම්බුවලදී ගත් ජනප්‍රිය රැඩිකල් හා ප්‍රවේගකාරී තීරණය පිටුපස සිටි ප්‍රධානතම චරිතය බවට පත් වූයේ උදය ගම්මන්පිලය. ඒ නිසාම චම්පික ඇමතිතුමාගේ සහජ ඉවට මේ පිළිබඳ ක්ෂණිකව සැකයක් උපන්නා වැනිය. විශේෂයෙන්ම මේ වන විටත් උදය පිළිබඳ සැකයක් චම්පිකට මතුව තිබිණි. අරලියගහ මැදුර තුළින්ම ලැබුණ තොරතුරක් මත පිහිටා කටයුතු කළ ඇමති චම්පික තීරණාත්මක තීන්දු තීරණ උදය  සිටින තැන් වලදී ප්‍රකාශ කිරීමට පවා මැළිකමක් දැක්වීය. 


අමාත්‍ය චම්පික රණවක පිළිබඳ සැලකීමේදී 2010 දී බිහි වූ ආණ්ඩුවේ දී රාජපක්ෂවරු සමග වැඩිම මතවාදී අරගලයක නිරත වූයේ ඔහු විය හැක. විශේෂයෙන්ම වමේ නායකයන්ගෙන් රටේ ජනතාව එම ආණ්ඩුව අභ්‍යන්තරයේ නිවැරදි අරගලයක් බලාපොරොත්තු වුවද කාල්මාක්ස් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම 2010 ආණ්ඩුවේ සිටි වමේ සාමාජිකයන් පස්දෙනා විප්ලවය අතහැර පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය දැඩිව වැලඳගෙන සිටියා වැනිය. ඒ අනුව වමේ නායකයන් තම වගකීම දැන දැනම පැහැර හරිද්දී එම හිඩැස පිරවීමට ඉදිරිපත් වූ ප්‍රමුඛ චරිතය බවට ක්‍රමයෙන් පත් වන්නේ චම්පික රණවකය. අනෙක් අතට පුද්ගලයා වයස් ගත වීමත් සමග ඔහුගේ රැඩිකල් විප්ලවීය ගුණය වියැකේය යන සනාථන ධර්මතාව ඩිව්, තිස්ස, වාසු ප්‍රමුඛ ගජධීර හා පද්මසිරිට බලපෑවා විය හැකිය. 


මේ අනුව 2010 දී විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වීමෙන් පසුව චම්පික රණවක ඇමතිතුමා එම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයන්ට නව ජවයකින් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය දැක්ම හා විශ්වාසය ගොඩනැගීය. එහිදී ඔහු ද විදුලි ඉංජිනේරුවරයකු විම ඊට මහඟු පිටිවහලක් විය. මේ අතර අයවැයට සමගාමීව එම වසරේ දෙසැම්බරයේ මෙම අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ වෙනුවෙන් නිර්මාණය වූ පවර් පොයින්ට් ඉදිරිපත් කිරීම තුළින් 1995 වසරේ සිට ක්‍රමිකව විදුලි බල මණ්ඩලය ලැබූ අලාභය පෙන්නුම් කළ අතර එය 2010 මුල් මාස පහෙන් පසුව අත් කර ගනිමින් තිබූ ප්‍රගතිය ද ප්‍රක්ෂේපණය කළේය. කෙසේ වෙතත් ප්‍රගති සමාලෝචනය අවසන් වී පිටතට පැමිණි ජනාධිපතිතුමා තම ජනාධිපති මාධ්‍ය ලේකම් මහින්ද ඉලේපෙරුමට දන්වා තිබුණේ මෙම රැස්වීමේ කිසිඳු ප්‍රවෘත්තියක් මාධ්‍ය වෙත නිකුත් නොකරන ලෙසයි. ඒ අනුව ඉලේපෙරුම මහතා විසින් මේ බව චම්පික ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායකට දැන්වීය. එය එසේ වුවත් පසුදින දිනමිණ පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස වාර්තා වී තිබුණේ විදුලි බල මණ්ඩලයේ ලාභ පාඩුවලින් වැඩක් නෑ. ඉලක්ක ජය ගන්න වැඩ කරන්න ජනපති උපදෙස් දෙයි, යනුවෙනි. චම්පික ඇමතිතුමා ආරම්භයේදී බලාපොරොත්තු වූයේ තමා යටතේ මාස හයක ප්‍රගතිය දැක ජනාධිපතිතුමා සතුටුවේය යනුවෙනි. එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. 


මෙම සිද්ධිය තහවුරු කරන තවත් සිදුවීමක් මතකයට නැගේ. 1994 ආණ්ඩුවේ කම්කරු හා වෘත්තීය පුහුණු ඇමතිවරයා ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාය. එකල එතුමා වෘත්තීය පුහුණු අධිකාරිය පිහිටුවීමට පුරෝගාමී විය. මේ අතර 2010 ආණ්ඩුවේ නිපුණතා සංවර්ධන ඇමතිවරයා බවට පත්වන්නේ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාය. එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනයක් වූ වෘත්තීය පුහුණු අධිකාරියේ එවක සභාපති දර්ශන රත්නායක මහතාට ඩලස් ඇමතිතුමා පවසා තිබුණේ වෘත්තීය පුහුණු අධිකාරිය ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති නිසා මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු ඇමති ධුරය දැරූ යුගයට වඩා අඩු ජනප්‍රියතාවකින් මෙම ආයතනය පවත්වා ගත යුතු බවයි. එසේ නොවන්නට තමා යටතේ වෘත්තීය පුහුණු අධිකාරිය දිදුළන ආයතතනයක් වුවහොත් එය තමා රාජ උදහසට වුවත් ලක් විය හැකි කරුණක් විය හැකි බව ද ඩලස් ඇමතිතුමා දර්ශනට පවසා තිබුණි. 


2010 පෙර විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය ලබා දී තිබුණේ නොබෙල් රිසෝසස් නම් සමාගමටය. කිසිදු පිළිගත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබා දී තිබූ එම ගනුදෙනුව පිටුපස සිටියේ රවී විජේරත්න මහතාය. 2009 වසරේදී ලබා දී තිබූ මෙම ටෙන්ඩරයේ වලංගු කාලය 2011 දී අවසන් වූ අතර ඒ අනුව චම්පික ඇමතිතුමා මුණගැසීමට රවී විජේරත්න මහතා පැමිණියේය. චම්පිකගේ සමස්ත දේශපාලන අනාගතය ගොඩනැගීම භාර ගැනීමට වුවත් කැමැත්ත පළ කරමින් රවී විජේරත්න මහතා කතා කළත් එම සාකච්ඡාව අවසන් වූයේ චම්පික ඇමතිතුමා තුළින් කිසිදු එකඟතාවක් ප්‍රකාශ නොවීමෙනි.

ඉතිරිය ලබන සතියට...

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්