රණවිරු ගායේ පැරැණි කතා02 වැනි කොටස

 

 

ත්‍රස්තවාදී බෙදුම්වාදී අරගලය මැඩ පවත්වා ශ්‍රී ලංකා මාතෘ භූමියේ නිදහස ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවද ආරක්‍ෂා කිරීමේ මූලික වගකීම ත්‍රිවිධ හමුදාව මතට පැවරුණි. එම උත්කෘෂ්ට වගකීම දරාසිටින ඒ වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන නොයෙක් තැන සතුරා අතින් මිය ඇදෙන වීරෝදාර සෙබළුන්ට රණවිරුවා යන ගෞරවාන්විත ඇමතුම යොදා ගැනීමට ශ්‍රී ලංකාවාසීහු පුරුදු වූහ.


මෙම බෙදුම්වාදී යුද්ධය මුලින් සිදු කෙරුණේ ගරිල්ලා සටන් ක්‍රමය උපයෝගී කර ගනිමිනි. එහි ස්වරූපය වූවේ ජනතාව අතර සිටිමින් සැඟවී පහර දීමයි. නැවත ජනතාව අතරට වැදෙන ඔවුන් හඳුනා ගැනීම අපහසු විය. මෙම උපක්‍රමය නිසා විනාශයට පත් රණවිරු ජීවිත සංඛ්‍යාව අපමණය.


වෙවැනි එක් සිදුවීමක් 1985 ජනවාරි 19 වැනිදා වාර්තා විය. යාපනයේ සිට කොළඹට එන යාල් දේවි දුම්රිය උතුරේ සිට නිවාඩු එන ආරක්‍ෂක සේවා සාමාජිකයන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයයි. යාල්දේවිය උතුරට පැමිණීම වැළැක්වීම ත්‍රස්තවාදීන්ගේ සදාතනික අපේක්‍ෂාවක් විය. එය “එක් රටක්” ලෙස කැපී පෙනෙන අංගයක් වූ බැවිනි. කෙසේ වුවත් 1985 ජනවාරි 19 වැනිදා උතුරු දුම්රිය මාර්ගයේ පිහිටි බෝක්කුවක බෝම්බයක් සවි කළ ත්‍රස්තවාදීහු දුම්රිය ඒ මතින් ගමන් කරද්දී පුපුරුවා හැරියහ. එම ප්‍රහාරයෙන් මාර්ගයේ අඩි 1750ක පමණ කොටසක් විනාශ වූවේය. දුම්රිය එම අවස්ථාවේදී මැදිරි 13ක් තිබුණි. එයින් නවයක්ම විනාශ විය. ජීවිත හානි 39ක් වාර්තා විය. එයින් 28 දෙනෙක්ම රණවිරුවෝ වූහ.
රණවිරුවන්ගේ ලේ සුවඳට ඉව ඇල්ලීම කොටි හපුවෝ නොනැවතී සිදු කළහ. ඔවුනට ප්‍රීතිය ගෙන දෙන රණවිරු පොකුරක්ම විනාශ කිරීමට 1992 අගෝස්තු අටවැනිදා කොටින්ට හැකි විය. එකල නොනවතින කොටි දඩයමක යෙදෙමින් ඔවුන්ට වහ කදුරු මෙන් තිත්ත වන ලෙස මහ සටන් මෙහෙයවමින් සිටි අසහාය රණවිරුවා වූවේ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාය. ඔහුගේ සහායකයා වූවේ බි්‍රගේඩියර් විජය විමලරත්න මහතාය. යම් පමණකට කොටි ක්‍රියාකාරකම් පාලනය කිරීමට මෙම යුද වීරයෝ දෙදෙනා සමත් වූහ. එනිසාම කොබ්බෑකඩුව මහතා වඩමාරච්චි වීරයා ලෙසද විරුදාවලි ලැබ සිටියේය. සටනේ නිමාවක් දැකීමට ඔව්හු අවසාන සැලසුමක් සකස් කිරීමට 1992 අගෝස්තු අට වැනිදා මෙම දෙදෙනාද ඇතුළත් නිලධාරීහු පිරිසක් යාපන අර්ධද්වීපයේ කයිට්ස්හි අරියාලේ නම් ස්ථානයට ගියහ. එහිදී පුපුරා ගිය අධිපීඩන බෝම්බයක් නිසා මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බි්‍රගේඩියර් විජය විමලරත්න, නාවික හමුදා කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් ජී.එම්. ආරියරත්න, කර්නල් ඇම්.ආර්. ස්ටීවන්, කර්නල් වයි.එස්. පාලිපාන, මේජර් නලින් අල්විස්, ලුතිනන් අසංග ලංකාතිලක, ලුතිනන් චන්දිම විජයපුර, සෙබළ ඩබ්ලිව්.ජී. වික්‍රමරත්න යන මහත්වරු ඝාතනය වූහ. “ෆයිනල් කවුන්ට් ඩවුන්” යුද මෙහෙයුම සැලසුම් කිරීමට මොවුන් අරියාලේ ගිය බව කියවුණි. මෙම රණවිරු ඝාතනය ජාතියේ ආධ්‍යාත්මයටද වැදුණු ප්‍රහාරයක් සේ සලකා බොහෝ දෙනා දුක්වූහ. එය ආරක්‍ෂක අංශවලටද බලවත් පහරක් සහ පාඩුවක් වූ බව නොරහසකි.


ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අතර අත්සන් තබන ලද ඉන්දු - ලංකා ගිවිසුම අනුව මෙරටට පැමිණි ඉන්දීය සාමසාධක හමුදාවට යුද කටයුතු භාර දී ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශවලට බැරැක්කවලට යාමට සිදුවීම තම අභිමානයට පහරක් ලෙස ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවෝ සැලකූහ. ත්‍රස්තවාදීහු තැනක් නොතැනක් නොබලා බිම් බෝම්බ සහ මරාගෙන මැරෙන මිනිස් බෝම්බ උපයෝගී කර ගනිමින් දහස් ගණන් හමුදා සෙබළුන් සහ සිවිල් වැසියන් ඝාතනය කළහ. සමහර විට රජයේ වැරදි තීරණ හෝ අතපසුවීම් නිසා එවැනි අපරාධ සිදුවූ බවද වාර්තා වී තිබේ. 1988 දී ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති තනතුරට පත් වන විට රටේ ප්‍රධානම ගැටලුව බවට පත්ව තිබුණේ මෙරටට ගොඩ බැස සිටි ඉන්දියානු සාම සාධක හමුදාව ආපසු සිය රටට යැවීමයි. එම හමුදාව කටයුතු කළේ ඉන්දියාවේ ප්‍රාන්තයක සේවය කරන්නාක් බඳු ආකල්පයෙනි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ කර්ණාටක ප්‍රාන්තවලින් පැමිණි භටයන් තම ද්‍රවිඩ ජන්ම මූලය හා එම භාෂා දැනුම මත උතුරේ දෙමළ ජනතාව වෙත අනුකම්පාවත් සහනශීලී ප්‍රතිපත්තියක සුහදතාවත් දැක්වූහ. එම පුද්ගලයෝ සිංහල ජනතාව වෙත සතුරු බවකින් කටයුතු කළහ. නැගෙනහිර පළාතේ සිංහලයන් ගම්වලින් පලවා හැර බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පවා මරා දැමීමට ඔව්හු පසුබට නොවූහ. මෙම තත්ත්වය පසුබිම් කර ගනිමින් ප්‍රේමදාස මහතා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී, තමා බලයට පත්වුවහොත් සීමිත කාලයක් තුළ ඉන්දියානු හමුදාව මෙරටින් ඉවත් කර යවන බවට ස්ථිරසාර පොරොන්දුවක් දුන්නේය. ඔහු බලයට පැමිණි වහාම එම පොරොන්දුව ඉටු කිරීමට පියවර ගත්තේය.

 

  • සාම සාකච්ඡා පැවති මාස 12 තුළ කොටින්ට මසකට රුපියල් ලක්‍ෂ තිහ බැගින් මුළු කාලයටම රුපියල් ලක්‍ෂ 360ක් රජයේ රහස් ගිණුමකින් ගෙවා ඇති බවත් වාර්තාවල සඳහන් වේ. මේ සියලු පරිත්‍යාගවලින් රජය අපේක්‍ෂා කළේ කල් පවත්නා සාමයක් උදාකර ගැනීම වුවත් අවස්ථාවාදී කොටි හපුවෝ සැවොම මුළා කරමින් වෙනම ඊළාම් රාජ්‍යයක් සඳහා වූ තමන්ගේ අවසාන ඉලක්කයට සේන්දු වීමට මග සකසා ගත්හ.

 

මේ වන විට කොටි සංවිධානය රජය සමඟ සාකච්ඡා වටයක්ද පැවැත්වෙමින් තිබුණි. කොටි සංවිධානයේද ප්‍රධාන ඉල්ලීමක් වූවේ ඉන්දියානු හමුදාව ආපසු පිටත් කිරීමය. එය ඔවුන්ටද අභියෝගයක්ව තිබුණේ දෙපාර්ශ්වය එකිනෙකාට එරෙහිව යුද වැදී සිටි නිසාය. සිංහල දෙමළ දෙපාර්ශ්වයටම සමපාත වන මෙම යෝජනා කිරීම ක්‍රියාත්මක කිරීම බලවත් අභියෝගයක් විය. ඇරත් කොටි ගැන විශ්වාසය තැබිය හැකිද? එහෙත් සාමය අවශ්‍ය නිසා ප්‍රේමදාස ජනාධිපතිවරයා සාකච්ඡාවලට එකඟ වූවේය. ඒ සඳහා කොටි ප්‍රබලයෝ වන්නි මහ වනාන්තරයේ සිට හෙලිකොප්ටර්වලින් පැමිණියහ. කොටි නියෝජ්‍ය නායක ගෝපාලසාමි මහේන්ද්‍ර රාජා හෙවත් මහත්තයා, එහි දේශපාලන අංශ ප්‍රධානි යෝගරත්නම් යෝගී එහි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්, ඔහුගේ බිරිඳ ඇඩෙලා බාලසිංහම් යන අය සහභාගි වූහ. ඔවුනට නවාතැන් ගැනීම සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ වෙනම මහලක් වෙන් කර තිබුණි. 1989 මැයි 15 වැනි දින ආරම්භ වූ මෙම සාකච්ඡා වටයේදී කොටින්ගේ ප්‍රධාන ඉල්ලීම වූවේ ඉන්දීය හමුදාව ආපසු යැවීමයි. මෙය ඉටුකිරීමට ජනාධිපතිතුමා එකඟ විය. මේ වන විට උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටුවා තිබුණු අතර එහි මහ ඇමති ධුරය දැරුවේ වර්ධරාජා පෙරුමාල්ය. තම ආරක්‍ෂාව සඳහා දෙමළ ජාතික හමුදාව නමින් ඒකකයක් :ඔගභග්* පිහිටුවාගෙන තිබුණි. බියට පත් වර්ධරාජා පෙරුමාල් ඉන්දියන් හමුදාව ඉවත් වූ විගසම එම කඳවුරුවලට තම හමුදා ඒකකය අනුයුක්ත කළේය. කොටි වහාම මොවුනට පහර දුන්හ. බොහෝ දෙනා මිය ගියහ. තවත් සමහරු කොටින්ට එක් වූහ. මේ අනුව උතුරු - නැගෙනහිර දෙපළාතම කොටින් අතට පත් විය. මේ අතරතුර නැගෙනහිර පළාතේ නව පොලිසි සහ ආරක්‍ෂක කඳවුරු පිහිටුවීමට රජය පියවර ගත්තේය. මෙයට විරුද්ධ වූ කොටි නොයෙකුත් විරෝධතා දියත් කළහ. 1990 ජූනි 10 වැනි දින කොටි නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන රාශියකට ප්‍රහාර එල්ල කළ අතර අවසානයේ පොලිස් භටයන්ට කොටි සංවිධානයට යටත් වෙන ලෙස දැනුම් දුන් බවද පසුව අනාවරණය විය. මෙසේ යටත් වූ පොලිස් නිලධාරීන් හත් සියයක් මඩකළපුවේ මහා වනාන්තරයක් තුළට ගෙන ගොස් කොටින් විසින් මරා දැමූ බව වාර්තා විය. එම ඛේදවාචකය නිසා රටම කම්පාවට පත් වූ අතර නැවත යුද්ධය ආරම්භ විය.


පෙර සඳහන් කළ පරිදි ඉන්දියානු හමුදාව මෙරටින් පිටමං කිරීමට පෙර උතුරු - නැගෙනහිර පළාත් සභාව ඉන්දියාවේ ආධාර ඇතිව ගොඩනැගූ දෙමළ ජාතික හමුදාවට අවශ්‍ය අවි ආයුධ, නඩත්තු විදයම්, පුහුණුව ආදිය සලසා දුන්නේ ඉන්දියානු ආණ්ඩුවයි. මේ ගැන කොටි නිරන්තරයෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් විශාල ආයුධ තොගයක් කොටින්ට ලබා දීමට රජයට සිදුවිය. මෙලෙස ආණ්ඩුව කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ අවි ආයුධ ට්‍රක් රථ ලෝඞ් විශාල ප්‍රමාණයක් කොටින්ට අපේ රජය විසින් ලබා දී තිබුණි. එපමණක් නොව සාම සාකච්ඡා පැවති මාස 12 තුළ කොටින්ට මසකට රුපියල් ලක්‍ෂ තිහ බැගින් මුළු කාලයටම රුපියල් ලක්‍ෂ 360ක් රජයේ රහස් ගිණුමකින් ගෙවා ඇති බවත් වාර්තාවල සඳහන් වේ. මේ සියලු පරිත්‍යාගවලින් රජය අපේක්‍ෂා කළේ කල් පවත්නා සාමයක් උදාකර ගැනීම වුවත් අවස්ථාවාදී කොටි හපුවෝ, සැවොම මුළා කරමින් වෙනම ඊළාම් රාජ්‍යයක් සඳහා වූ තමන්ගේ අවසාන ඉලක්කයට සේන්දු වීමට මග සකසා ගැනීම කරගෙන ගියහ.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි