(තරිඳු ජයවර්ධන)

‘අවනීතිය රජ කරන කුරුරු ලෝකයේ මිතුරුදම් රැකගත් සොඳුරු මිනිසා‘‘ මේ    වැකිය සටහන් කර තිබුණේ කැලණිය බිගයම මාර්ගයේ සිට පට්ටිවිල පාරට හැරෙන හංදියේ ගසා තිබූ බැනරයකය. මරණයක් ගැන සොව පළ කරමින් එම බැනරය සවි කර තිබිණි. ඒ අන් කවරකුවත් නොව පසුගිය සතියේ වඩාත් කතා බහට ලක්වූ එම් පී අරුණ දමිත් උදයශාන්ත පතිරණ  ගැනය.  වැඩි දෙනෙක් ඔහු දන්නේ ‘සමයා‘ නොහොත් ‘සමයං‘ යන අන්වර්ථ නාමයෙනි.

 පට්ටිවිල පාරේ කිලෝමීටර දෙකක් පමණ ගිය විට හමු වන යූඩීපී ගුණසේකර මාව‍තේ දෙපස සුදු කොඩි වැල් එල්ලා තිබුණි. ඒ   සමයංගේ දේහය සුසාන භූමිය වෙත ගෙන යන මාර්ගයයි.  අවසන් කටයුතු කිරීමට නියමිතව තිබුණේ මාර්තු පළමු වැනි දා සවස 3.30ට ය. අවමංගල උත්සවයට ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වලින් තර්ජන පැමිණ තිබුණත් පොලිස් නිල ඇඳුමෙන් එකදු නිලධාරියකු හෝ යොදවා සිටියේ නැත. සිවිල් ඇඳුම් ඇදගත් පොලිසියේ පිරිස් සහ බුද්ධි අංශ සාමාජිකයෝ තැන තැන සිටියහ.

ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩම කිරීමෙන් පසු අවසන් කටයුතු සිදුවිය. මේ ගැන හාංකවිසියක් නොදත් දමිත්ගේ (සමයාගේ) දරුවා මල් වඩමක් ඇතැතිව සිටිනු දක්නට ලැබිණි.  අවසන් කටයුතු සිදුවූ පට්ටිවිල පොදු සුසාන භූමියට දමිත්ගේ බිරින්දෑ මෙන්ම ඔහු හදා වාඩාගත් මවද පැමණ සිටියාය. දමිත්ගේ ළඟම මිතුරකු කීවේ කාලයක් රජෙක් මෙන් සිටි දමිත්ට (සමයං) මෙතරම් ඉක්මණින් සුසානය වෙත යෑමට සිදුවෙතියි කිසි විටකත් නොසිතූ බවයි.

සමයන්ට මාරයාගේ හෝරාව පැමිණියේ පසුගිය වැඩ සතිය ආරම්භ වූ සඳුදාය. අඩු මාසයක් ලෙස සැලකෙන පෙබරවාරි මාසය අවසන් වීමට පෙර සමයන්ගේ ජීවන ගමන ද කෙටි කිරීමට ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වලට හැකි වෙතියි සමයං කිසි විටකත් සිතන්නට නැත.

එදා පෙබරවාරි 27 වැනි දා ය. කඩුවෙල උසාවියේ කැඳවන බී1862/15 දරණ නඩුවට ඔහු සමග තවත් පස් දෙනෙක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 2015 දෙසැම්බර් 17 වැනි දා අතුරුගිරිය අරංගල දී බාල්දි ප්‍රියන්ත නම් පුද්ගලයාට සහ ලසියා නම් පුද්ගලයාට වෙඩි තබා තුවාල කිරීම සම්බන්ධ නඩුවක් එදින විභාගයට ගැනීමට නියමිතව තිබිණි. මංගල උත්සවයකට ගොස් කැබ් රථයකින් එමින් සිටිය දී ලසියා සහ බාල්දි ප්‍රියන්ත මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූහ.

මීට පෙරද තර්ජන තිබූ නිසා සමයං ඇතුළු පිරිසට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට නියෝග ලැබී තිබිණි. එ නිසා  බන්ධනාගාර ආරක්ෂාවට අමතරව පොලිස් ආරක්ෂාවද සැපයීම කලක පටන් කරගෙන ආවේය. එදිනද බන්ධනාගාරය මගින් පොලිසියට කතා කර විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටියේය.  විශේෂ ආරක්ෂාවක් දීමට තරම් ප්‍රමාණවත් පිරිසක් එදින පොලිසියේ නොමැති බැවින් ආරක්ෂාව දීමට නොහැකි බව පොලිසිය දැනුම් දුන්නේය.   

පොලිසිය එලෙස දැනුම් දීමත් සමඟ බන්ධනාගාර ආරක්ෂාව යටතේ සැකකරුවන් කඩුවෙල අධිකරණයට රැගෙන යාමට කළුතර බන්ධනාගාර නිලධාරීහු තීරණය කළහ. ඒ අනුව උදෑසන 8.20ට පමණ නඩුවට අදාළ සැකකරුවෝ පස් දෙනෙක් පමණ බන්ධනාගාර බස් රථයට නග්ගවා ගත්හ. එම් පී අරුණ දමිත් උදයශාන්ත පතිරණ (සමයං), සන්තක චලන තිලක් මල්ලිකාගේ, කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්, වාද්දූව පතිරගේ කැළුම් ප්‍රියංකර සහ ලිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර ඔවුහුය.

මේ පිරිස පටවා ගත් පසු රියදුරු ලෙස කටයුතු කළ ජනිත් දිලංක මහතා බන්ධනාගාර බස් රථය පණ ගැන්වූයේ කඩුවෙල බලා යෑමටය. ආරක්ෂාව සඳහා පිටුපසින් තවත් බන්ධනාගාර බස් රථයක් පැමිණි අතර වාහන දෙකේම බන්ධනාගාර නිලධාරීහු 11 දෙනෙක් සිටියහ. ඉන් හත් දෙනකු අත ගිනි අවි තිබිණි.

උදෑසන 8.30ට පමණ සැකකරුවන් රැගෙන බන්ධනාගාරයෙන් පිටවූ වාහන දෙක ජාවත්ත පාර ඔස්සේ ගමන් ගත්තේය. බස් රථයට ඉදිරිපිටින් ආගන්තුක කැබ් රථයක් ගමන් ගත්තේය. පාරේ ඕනෑ තරම් වාහන යන නිසා ඒ ගැන කිසිවෙකුත් සැකයක් සිතුවේ නැත. බන්ධනාගාර බස් රියටට යාමට හැකි වූයේ බන්ධනාගාරයේ සිට මීටර 300ක්   දුර පමණි. කළුතර උතුර ජාවත්ත පාරේ එතනමඩල ප්‍රදේශයේ ඇති වංගුවක් ළඟදී ඉදිරිපසින් ගිය කැබ් රථය පාර හරස් වන සේ නැවැත්වීය. පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි කිහිප දෙනෙක් වාහනයෙක් බැස ගත්හ. බන්ධනාගාර බස් රියේ රියදුරු ඇතුළු පිරිස සිතුවේ පොලිසියෙන් වාහනය හරස් කළ බවයි.  

ඒ සමගම පිටුපසින් පැමිණි බන්ධනාගාර බස් රියට වෙඩි ප්‍රහාර එල්ල වන්නට විය. එම ප්‍රහාර හමුවේ බන්ධනාගාර නියාමක එස් සන්නිගම් මහතා ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට පටන් ගනිද්දීම මැරයෝ ඔහුට වෙඩි තැබූහ. ඉන් පසු බන්ධනාගාර ජේලර් එස්. ආර්. විජේරත්න මහතා ද ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට උත්සාහ කළ අතර ඔහු ද බිම ඇද වැටුණේ මැරයන්ගේ වෙඩි උණ්ඩ ඔහු කරාද පැමිණි හෙයිනි.

පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගත් තුවක්කුකරුවකු මුලින්ම බන්ධනාගාර බස් රියට ගොඩ විය. බන්ධනාගාර රියේ රියදුරු වෙඩි නොවදින ලෙස ගුලිවී සිටි අතර    සැකකරුවෝ සැඟවී සිටීමට උත්සාහ ගනිමින් සිටියහ. සමයංගේ නම කියමින් ඔහු සොයද්දී සමයං හිස එසවීය. ඒ සමගම ඔහුට වෙඩි තබා ඇදගෙගෙන බන්ධනාගාර බස් රියේ පඩිපේලිය ළඟට ගෙන වුත් යළිත් වෙඩි තබා මැරා දැමූ පාතාලයෝ ඉතිරි සැකකරුවන්ටද වෙඩි තබා මරා දැමූහ.

එකම නඩුවකට එකට විත්ති කූඩුවට නැගීමට සිටි සැකකරුවෝ පස් දෙනාම එකම දා එකම තැනකදී ඝාතනය වූහ. ප්‍රහාරයකයෝ ඔවුන් පැමිණි ඩබල් කැබ් රථය එම ස්ථානයේ අතහැර ඩොල්ෆින් වර්ගයේ වෑන් රියක පළා ගියහ.

ඒ සමඟ පොලිස් විමර්ශන ඇරැඹිණි. එම ප්‍රහාරයට 10 දෙනකු පමණ සම්බන්ධ වී තිබුණු අතර උණ්ඩ 70ක් පමණ ප්‍රදේශය පුරා විසිරී ගොස් තිබිණි. අපරාධකරුවන් පැමිණි කැබ් රිය අවසන් වරට පාවිච්චි කර ඇත්තේ අතුරුගිරියේ ව්‍යාපාරිකයකු බව පොලිසිය සොයා ගත්තේය. ඔහු ප්‍රදේශය හැර ගොස් තිබිණි.

පානදුර පොලිස් කොට්ඨාසයේ මොරගහහේන පොලිස් වසමේ  සැකකටයුතු වෑන් රියක් ඇතැයි පොලිසියට තොරතුරක් ලැබුණේ මේ අතරයේ. ඒ අනුව පොලිසිය එහි ගොස් සෝදිසි කළ අතර එහි   කිසිවෙකුත් සිටියේ නැත.    එය සැකකරුවන් පළා ගිය වාහනය බව තහවුරු කර ගත් පොලිසිය තවදුරටත් කළ සෝදිසි කිරීම්වලදී එහි තිබූ අත් ආවරණයක් (ග්ලවුස්) සොයා ගත්තේය.   පොලිස් නිල සුනඛ ග්‍රේරෝ ගෙන්වා එය ඉව කරන්නට සැලැස්වූ අතර ග්‍රේරෝගේ ඉව ඔස්සේ ගිය පොලිසිය ප්‍රදේශයේ අත්හැර දමන ලද කර්මාන්ත ශාලාවක් සොයා ගත්තේය. පොලිස් විශේෂ කාර්ය බළකාය අවට ආරක්ෂාව තර කර එම කර්මාන්ත ශාලාව ඇතුළේ සෝදිසි කළේය.

එම ඩොල්ෆින් වර්ගයේ වෑන් රථය ජනවාරි මස හය වැනි දා පැහැර ගත් වෑන් රියක් බව හෙළි වූයේ පොලිසිය එහි හිමිකරු සොයාගත් පසුවය. කටුනායක ගුවන් තොටුපොළට කුලී ගමනක් යන මුවාවෙන් මරදානේ සිට රැගෙන ගොස් රියදුරුට මත්ද්‍රව්‍යක් සහිත සිසිල් බීම බීමට දී වාහනය කොල්ලකා ඇතැයි පොලිසිය සොයා ගත්තේය.

පාතාල කල්ලි දෙකක් සමග දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සමයං ඇතුළු පිරිස ඝාතනය කර ඇතැයි පොලිසිය නිවේදනය කළේය.

අරුණ දමිත් උදයශාන්ත හෙවත් සමයං ඝාතනය කිරීමට උත්සාහ කළ පළමු අවස්ථාව මෙයෙ නොවේ. මීට පෙරද අවස්ථා ගණනාවකදී ඔහු ඝාතනය කිරීමට ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් උත්තාහ කළ ද ඒවා ව්‍යර්ථ විය.

එක්  සැලසුමක් ක්‍රියාත්මක වූයේ 2015 වසරේ සැප්තැම්බර් 23 වැනි දා ය. ඒ වන විට සමයං රඳවා සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. කඩුවෙල උසාවියේ පැවැති නඩුවකට ඉදිරිපත් කිරීමට සඳහා බන්ධනාගාරය සුපුරුදු පරිදි ඔහු ගෙන ආවේය. සමයං නොහොත් සමයා එන තුරු ආගන්තුකයයෙක් බලා සිටිය ද ඒ බවක් ඔහු හෝ බන්ධනාගාර නිලධාරීන් හෝ දැන සිටියේ නැත. අත වෙළුම්පටියකින් ඔතාගෙන සිටි ආගන්තුකයා ක්‍රියාත්මක වුණේ බන්ධනාගාර නිලධාරීන් සමයං රැගෙන උසාවියේ තරප්පු පෙල නඟිමින් ඇතුළට යද්දීය. වෙළුම් පටිය ඇතුළේ තිබුණේ මිලිමීටර නවය වර්ගයේ පිස්තෝලයකි. තත්ත්පර කිහිපයක් ඇතුළත සමයංට වෙඩි තැබූ ආගන්තුකයා පළා ගියේය. සමයංගේ එක් අතකට පමණක් තුවාල සිදු විය. සමයංගේ ජීවිතය බේරිණි.

ඒ ගැන පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු හඳුනා ගත්තත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර දිගටම ඔහු සොයමින් සිටියේය. සැකකරු සිටින ස්ථානය ගැන තොරුතරු ලැබුණේ පොලිස් විශේෂ කාර්ය බළකායටය. පොලිස් විශේෂ කාර්ය බළකාය සැප්තැම්බර් 25 වැනි දා එනම් සිද්ධියෙන් දෙදිනකට පමණ පසු සැකකරු වූ චමින්ද සඳමාල් එදිරිසූරිය අත්අඩංගුවට ගත්තේය. ඒ දොම්පේ ගුරුවලදීය.  එම විමර්ශනවලින් පසු පොලිසිය සොයා ගෙන තිබුණේ දකුණේ පාතාල නායකයකුගේ ගෝලයකු හා සමයං අතර තිබූ මතබේදයක ප්‍රතිඵලයක් ලෙස එම වෙඩි තැබීම සිදුවූ බවයි. පොලිසිය අනුව කතාව මෙසේය.

හර්ෂ යසස් හෙවත් කඹුරුපිටියේ හර්ෂ දකු‍ණේ පාතාල නායකයකුගේ ගෝලයෙකි. දක්ෂිණ අධිකාරියේ සභාපතිව සිටි ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයට චෝදනා එල්ල වූයේ ද කඹුරුපිටියේ හර්ෂටය.  හර්ෂට සමයං මුණ ගැසුණේ බන්ධනාගාරයේදී ය. මේ දෙදෙනා හිතවතුන් බවට පත් විය. එය වැඩි කල් නොතිබූ අතර 2015 මැද භාගයේ ඔවුහු වෛරක්කාරයෝ බවට පත්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස සමයං මරා දැමීමට හර්ෂ පිඹිරුපත් සැකසීය. 2015 සැප්තැම්බර් 23 වැනි දා කඩුවෙල උසාවියේදී ක්‍රියාත්මක වූයේ එම සැලසුම බව පොලිසිය කියයි.  ඉන් සමයංගේ දිවි ගැලවිණි.

සමයං තවදුරටත්   රිමානක්ඩ් බාරයේ සිටිය දී හර්ෂ මාතර උසාවියෙන් ඇප ලබා පිටව ගියේය.

මේ අතර කඩුවෙලට තදාසන්න ප්‍රදේශයක දී තවත් අපාරධයක් සිදුවිය. ඒ  2015 දෙසැම්බර් 17 වැනි දාය.  මංගල උත්සවයකට ගොස් කැබ් රථයකින් යළි එමින් සිටි බාල්දි ප්‍රියන්ත නම් පුද්ගලයාට සහ ලසියා නම් පුද්ගලයාට අතුරුගිරිය අරංගල දී  වෙඩි තැබීය. ඉන් ඔවුහු දෙදෙනාම තුවාල ලබා ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබූහ. එය බැරවූයේ ද  සමයංගේ ගිනුමටය.

හර්ෂ ඉවරයක් කිරීමට සමයංගේ පාර්ශ්වය පිඹුරුපත් සැකසීය. එය ක්‍රියාත්මක වූයේ 2016 මාර්තු තුන් වැනි දා ය. එදා කඩුවෙල උසාවියේ දී හර්ෂගේ පිඹුරුපත වැරදී ගියද මෙදා සමයංගේ පිඹුරුපත ටක්කෙටම හරි ගියේය.  

රාජගිරියේ ඔබේසේකර මාවතේ පිහිටි නිවසක හර්ෂ ආහාර ගනිමින් සිටියේය. ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකුගෙන් එක් අයකු අත තිබූ පිස්තෝලය කෙළින්ම හර්ෂට එල්ල විය. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ හර්ෂ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළත් ඔහුගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි විය.

කඹුරුපිටියේ හර්ෂගේ මරණයෙන් කෝපයට පත් ඔහුගේ ගෝලයෝ එහි පළිය සමයන්ගෙන් ගැනීමට කල්පනා කළහ. හර්ෂගේ අවසන් කටයුතු කරන්නට මත්තෙන් සමයන්ට වැඩක් දෙන්නට නොහැකි වූයේ ඔහු රිමාන්ඩ් බාරයේ සිටින නිසාය. ඔහුට කෙසේ හෝ රිද්දවීමට හර්ෂගේ ගෝලයන්ට අවශ්‍ය විය. ඔවුහු ඒ සඳහා තෝරා ගත්තේ සමයංගේ බිරියයි. සමයංගේ බිරිඳට වෙඩි තබා සමයංට රිද්දවීමට කල්පනා කළහ. සමයංගේ බිරිඳ ඔහුට ආහාර රැගෙන වැලිකඩ බන්ධනාගාරයට එන බවට තොරුතරු ලැබිණි.

ඒ හර්ෂගේ මරණයෙන් දින දෙකකට පසුය. දිනය මාර්තු පස් වැනි දා ය. වේලාව හවස 3.30ට පමණ ඇත. බේස්ලයින් පාරේ බන්ධනාගාරය ඉදිරිපිට සිටි කාන්තාවන් දෙදෙනකු අසල යතුරු පැදියක් නතර කළේය. ‘උඹ සමයංගේ ගෑනි නේද?‘ යතුරු පැදියේ සිටි අයෙක් විමසීය. ‘මොන සමයංද? මන් දන්න සමයං කෙනෙක් නෑ.‘ යැයි කාන්තාව කීවාය. ඒ සමගම යතුරු පැදිකරුවකු අත තිබූ පිස්තෝලයෙන් පිටවූ උණ්ඩයෙන් කාන්තාව ඇද වැටිණි. කඩුවෙල උසාවියේදී හර්ෂට වැරදුනාක් මෙන් මෙවර හර්ෂගේ ගෝලයන්ට ද වැරදුණි. සමයංගේ බිරිඳ යැයි සිතා ඔවුන් වෙඩි තබා තිබුණේ වෙනත් කාන්තාවකටය.

දෙමස් ගැබිනියක් වූ ඇය විතානගේ සංජිවනී තිලකරත්නය. 23 හැවිරිදි එම තරුණිය දෙහිඕවිට මාගම්මන පදිංචිව සිටියාය.  ඇය බන්ධනාගාරයට පැමිණ තිබුණේ සිරදඩුවම් විඳින වෙනත් කාන්තාවකගේ සැමියකු බැලීම සඳහාය. ඇය සමඟ බන්ධනාගාරයට පැමිණියේ එම කාන්තාවයි. අවාසනාවන්ත ලෙස සමයංගේ බිරිඳ යැයි සිතා මැරුම් කන්නට සංජීවනීට සිදු විය.

යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන සමයං ඝාතනය කිරීමේ සැලසුමක්ද ක්‍රියාත්මක විය.    2016 වසරේ එය ව්‍යවර්ථ වූයේ එම ඇඳුම් මිරිහාන විශේෂ  මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගැනීමත් සමගය.  2016 අප්‍රේල් මස 29 වැනි දා අංගොඩ දෙල්ගහවත්තේ දී රම්‍යජිත් ඇලෙක්සැන්ඩර් නම් පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙතියාගොඩ සංඛ නම් පුද්ගලයෙක් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2016 මැයි 10 වැනි දා ය. ඔහුගේ ප්‍රශ්න කිරීම් අනුව අංගොඩ පෙතියාගොඩ ගල් වැඩපොළක් පිටුපස සඟවා තිබූ  යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල හතරක් සොයා ගත්තේය. පොලිසිය ඒ දිනවල කීවේ මෙම හමුදා ඇඳුම් කට්ටල මහා පරිමාණ මංකොල්ලයකට ගෙන එන්නට ඇතැයි සැක කරන බවයි. නමුත් දැන් පොලිසිය කියනුයේ එම ඇඳුම් සඟවා තබන්නට ඇත්තේ යුද හමුදා සාමාජිකයන් ලෙස පැමිණ සමයං ඝාතනය කිරීමට බවයි. එම උපක්‍රමය ව්‍යර්ථවීම නිසා පොලිස් නිලධාරීන් ලෙස සැරසී සමයං මරා දැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිසිය කියයි.

සමයංගේ මරණය ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය අංගොඩ සහ දකුණේ පාතාල නායකයන් දෙදෙනකු හා ඔවුන්ගේ ගෝලයන් පිරිසක් ගැන විමර්ශන පවත්වති. මේ වන විට මෙහි සියලු සැකකරුවන් හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි. සැකරකුවන් රටින් පලා යෑමට උත්සාහ කරන බවට ලද තොරතුරු අනුව ගුවන්තොටුපොළේ විශේෂ ආරක්ෂාවක් යොදා ඇති අතර ඔවුන්ගේ විදෙස් ගමන්ද තාවකාලිකව තහනම් කර තිබේ.

මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ අදහස

මානව හිමිකම් සංවිධාන කියනුයේ බන්ධනාගාර බාරයේදී සැකකරුවකු මිය යෑම රජයේ දුර්වලකමක් බවයි. එවැනි සිදුවීමකදී රජය පූර්ණ ලෙස වගකීමට බැඳී සිටින බව මානව හිමිකම් ක්‍රියාකාරීහු කියති. ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පසුබිමක සහ සිරකරුවන්ද මනෝෂ්‍යයෝය යන සංකල්පය මත බන්ධනාගාර බාරයේ සිටින සියලු පුද්ගලයන්ගේ ආරක්ෂාව රජය සතුය. ඔවුන්ට ආරක්ෂාව සැලසීම රජයේ ආයතනවල වගකීමක් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ කියති.