සජිත් ගැන “රෝයල්” ගුරුවරුන්ගේ රාජකීය කතා 

02 වැනි කොටස

 

 

 

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර් (ඔහුද මේ වන විට මියගොස් ඇත) මහතා අප සමගම කී තවත් කතාවකි මේ.


‘‘සජිත්ට ඉංග්‍රීසි පාඩම් කියා දෙන විට සමහර දවස්වලට ටිකක් කම්මැලි කමක් දක්වනවා.


එක දවසක් මං සජිත්ට දොස් කීවා. ඔයා අගමැතිතුමාගේ පුතා. ඔයා හරියට ඉගෙන ගත්තේ නැත්නම් පාඩුව ඔයාට. තාත්තා අගමැතියි කියලා ඔයාට සියල්ලම ලැබෙන්නේ නැහැ. ඔයා හරි හැටි ඉගෙන ගත්තොත් තමයි ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්නේ. ඒක තාත්තට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඔයා මහන්සි වෙලා කරගත යුතු දෙයක්’’ ආදී වශයෙන් මං අවවාද කළා. අගමැති ප්‍රේමද‌ාස මහතා මේක අහගෙන ඉඳලා. එහෙම අවවාද කළාට මට පස්සේ දවසක අගමැතිතුමා ස්තුති කළා. සජිත් පස්සේ කම්මැලි ගති අත්හැරල හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්තා.


කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කළ ගණිතාචාරිණී අනුලා බාලසූරිය මහත්මිය ‘‘රාජකීය විද්‍යාලයේ 07 ශ්‍රේණියේ සජිත් ප්‍රේමද‌ාස ඉගෙන ගන්නා විට ඒ පන්තියේ ගණිත ගුරුවරිය මමයි. ඒ කාලේ පාසලේ උගන්වන සැම විෂයකටම මාසික පරීක්ෂණ පැවැත්වුවා. ඒවායේ ලකුණු දුන්නේ මම. ඒ පරීක්ෂණ වර්තා දෙමාපියන්ට පෙන්නල ඔවුන් දුටු බවට අත්සන යොදල නැවත පන්තියට ගෙනල්ලා තියා ගන්නවා. පන්තියේ ළමයින් හැම දෙනාම වගේ දෙමාපිය අත්සන් සහිතව ගෙනත් දෙනවා. සජිත් ගෙනාවේ නැහැ. තාත්තා අගමැති. මට ටිකක් බයක් දැනුණා. ඕවා අහන්න ගිහින් ලෙඩක් දා ගන්නවට වඩා පාඩුවේ ඉන්න එක හොඳයි කියලා සිතුණා.


‘‘මේ අතරතුරේ අගමැති කාර්යාලයෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා. කතා කළේ අගමැති ප්‍රේමද‌ාස මහතා. වාහනයක් එවන්න පාසල් අවසන් වූ විට අරලිය ගහ මැදුරට එන්න පුළුවන්ද? කියල ඇහුව්වා’’ මම අවශ්‍යතාවය ගැන ඇහුවා. ළමය ගැන කරුණු ටිකක් දැන ගන්න තියෙනවා කීවා. මං එන්නම් කීවා.


පාසල් අවසන් වූ විට අරලියගහ මැදුරෙන් පැමිණි මෝටර් රථයෙන් මම ගියා. අගමැති ප්‍රේමද‌ාස මහතා සජිත්ගේ මාසික පරීක්ෂණ වාර්තා අතේ තියාගෙන මගෙන් අහනවා ‘‘මේවට දෙමාපියන් අත්සන් කරල ආපසු භාරදීල නැහැ. ඇයි මිසිස් බාලසූරිය මේ ගැන දෙමාපියන්ගෙන් කතා කරල ඇහැව්වේ නැත්තේ’’ අගමැතිතුමා මගේ ඉදිරිපිට හිටගෙන මගෙන් අහද්දී මට ලජ්ජයි බයයි දෙකම ඇති වුණා. නැවත මගෙන් අහනවා ‘‘ඇයි මිසිස් බාලසූරිය’’ ‘‘නැහැ ඉතින් අගමැතිතුමාට වැඩ රාජකාරි වැඩියිනේ. මේවා බලන්න කාලයත් නැතිව ඇති කියලා මං හිතුවා ඒකයි ‘‘මට තවත් මොකුත් කියන්න ලැබුණේ නැහැ’’ ‘‘නැහැ නැහැ කොයි තරම් වැඩරාජකාරි තිබුණත් දරුවන්ගේ කටයුතු සොයා බලන එක අපේ යුතුකමක්. කතා කළා නම් අත්සන් කරල එවනවා. මම ප්‍රින්සිපල් පීරිස් මහතායි ඒ.ටී. අලස් මහතාටයි මිසිස් බාලසූරිය ගැන කිව්වා. ගණිතය විෂයට දක්ෂයිලු නේද? ‘‘බැරිද සජිත්ටයි දුලංජලීටයි ගණන් ටිකක් කියලා දෙන්න’’ අගමැති ප්‍රේමද‌ාස මහතා මගෙන් විමසනවා. ‘‘පුළුවන්. හැබැයි සර් කාලය තමයි නැත්තෙ’’ පාසල් ඇරිල සවස 3 ට 5 ට පන්ති දෙකක් තියෙනවා. එක පන්තියකට ළමයි 30 ක් විතර එනවා. ඒක නවත්තන්න බැහැ’‘

 

 


‘‘හොඳයි වාහනයක් එව්වොත් පන්ති අවසන් වෙලා එන්න පුළුවන්ද? අනික උදේට කොහොමද?’’


‘‘උදේට නම් ප්‍රශ්නයක් නැහැ’’


‘‘ගරු අගමැතිතුමනි, මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. අපි තුන් දෙනාටම උයන්නේ මම. දවල්ට උදෙන්ම උයල පාසල් යනව. සවස ටියුෂන් අවසන් වෙලා රෑට උයනවා. ඒකත් පොඩි ප්‍රශ්නයක්’’ මම කිව්වා. වැඩි විස්තර කරන්න මට ලැබුණේ නැහැ. අගමැතිතුමා කියනවා ‘‘ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. උදේට මෙහෙන් කෑම කන්න. පාසල් යන විට මෙහෙන් දවල්ටත් කෑම ගෙනියන්න. සවස ටියුෂන් අවසන් වෙලා රෑටත් කෑම ගෙනියන්න. මං ඒක සලස්සන්නම්. ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා මිසිස් බාලසූරිය’’ මං නොදැනුවත්වම මගේ මුහුණේ සිනහ රැල්ලක් මතුවුණා.


‘‘එහෙනම් මං උදේ 4.00 ට සුචරිතයට යනවා. ඒ වාහනය ගෙදරට එවන්නම් අරලිය ගහට ඇවිත් සජිත්ටයි, දුලංජලීටයි ගණන් කියා දෙන්න. සවසටත් ඒවගේ වාහනය එවන්නම්. ඇවිත් ගණන් උඝන්වන්න’’ අගමැතිතුමා පැවසුවා. සජිත් වැඩිදුර ඉගෙනීමට විදේශ ගත වන තුරුම මං අරලිය ගහ මැදුරට අළුයම 4 ටත් සවස 6 ටත් ගිහින් ගණන් ඉගැන්නුවා. උදේ 6 ට සුචරිතයෙන් අරලිය ගහ මැදුරට එන අගමැතිතුමා උදේ ආහාර ගන්නේ අපිත් සමග. කොළ කැඳ වරදින්නේ නැහැ. මට පුතුන් දෙදෙනෙක් සිටිනවා. දවල් කන්න කෑම බාස්කට් එකකට අපි තුන් දෙනාටම දෙනවා. රෑටත් අපි තුන් දෙනාටම අරලිය ගහ මැදුරෙන් කෑම බාස්කට් එකකට දමලා දෙනවා. වාහනයෙන්ම ගෙදරට ගෙනැවිත් බස්සනවා.


සජිත් ගණිතයට හරිම දක්ෂයි. විශේෂයෙන්ම සුළු කිරීම් ගණන් සාමාන්‍යයෙන් පියවරෙන් පියවර යා යුතුයි. පිළිතුර ගන්න, සුළු කිරීම්වල උත්තර මනෝමයෙන්ම කියන්න සජිත් දක්ෂයි ‘‘ඒ වගේම සින්දු කියන්න සජිත් දක්ෂයි’’ ඒ කාලේ අරලිය ගහ මැදුරේ කාමරයක් වෙනම තිබුණා සියලුම සංගීත භාණ්ඩ තැන්පත් කරල. ඒ හැම සංගීත භාණ්ඩයක්ම වාදනය කරන්න සජිත්ට පුළුළුන්. හරිම දක්ෂයි. ගායනයත් ඒ වගේමයි. ගණන් පාඩම අවසන් වූ විට සංගීත භාණ්ඩ තියෙන කාමරයට මා සමග ගොස් ඉස්සරහින් වාඩි කරවල ලස්සනට සංගීත භාණ්ඩයක් වාදනය කර සිංදු කියනවා. සංගීත සන්දර්ශනයක් වගේ වාදන ගායන ඉදිරිපත් කරනවා.


මං දැකල තියෙනවා සෑම වසරකම මැයි 1 වෙනිද‌ා වන විට සජිත්ට පුදුම විනෝදාංශයක් තිබුණා. රතු කොඩියක් කෝටුවක ගැට ගහගෙන අරලිය ගහ මැදුර වත්ත වටේම දුවනවා ‘‘සාදුකින් පෙලෙන වුන් දැන් ඉතින් නැගිටියව්. දැන් ඉතින් නැගිටියව්’’ කිය කියා මේ දර්ශනය මැයි මාසෙට වරදින්නෙම නැතුව දැක තියෙනවා.


අනුලා බාලසූරිය මහත්මිය මෙසේද තවත් තොරතුරු සඳහන් කළාය. දවසක් ද‌ා අගමැති ප්‍රේමද‌ාස මහත්තයා එතුමාට ආපු ලිපියක් මට කියවන්න දුන්නා. හත්තිලව්වයි. ඒක මට විරුද්ධව කව්දෝ ලියපු පෙත්සමක්. ලිපිය කියෙව්වට පස්සේ මට සිනහ ගියා. අගමැතිතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ‘‘මිසිස් බාලසූරිය ගෙඩි පිරිච්ච අඹ ගහක් දැක්කම කොල්ලෝ මොනවද කරන්නේ?’’ මා නිරුත්තරව එතුමා දෙස බලා සිටියා. මගේ නිහඬ තාවය බිඳගෙන අගමැතිතුමා කොල්ලෝ ගල් මුල්වලින් පොලුවලින් අඹ ගහට ගහනවා ‘‘ඕකත් ඒ වගේ වැඩක්. මට හිතෙන හැටියට, පාසලේ හොඳට උගන්නලා, පන්ති කරනවා. මෙහෙත් එනවා. ගෙදර ළමයින්ගෙ වැඩත් කරනවා, උයනවා, පිහනවා, කාලය කළමනාකරණය කරගෙන හොඳට වැඩ ටික කරගෙන ඉන්න අයට ඔය වගේ ඒවා එවන එක සමහර අයගේ පුරුද්දක්. ගණන් ගන්න එපා. හොඳින් ඒ සියලු වැඩ කරගෙන යන්න ‘‘අගමැති ප්‍රේමද‌ාස මහතා පැවසුවා.