තමන්ට පෞද්ගලිකව රටේ පාලනයට මැදිහත් විය නොහැක. එය ප‍්‍රායෝගික වන්නේ ද නැත. ඒ නිසා ජනතාව තම ඡන්දයෙන් ආණ්ඩුවක් පිහිටුවා ගනී. ය ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන ආයතනයක් සේ සැලකේ.

මෙලෙස රටක ජනතාවට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඇයි? වැළලෙන මළ මිනී ගොඩ ඇදීමට ද? මිනියක් වළලා ගැනීමට මිනී පෙට්ටියක් ගැනීමටද? නැතිනම් පාංශූ කූලයට රෙදි ටිකක් ලබා ගැනීමට ද? නැත. තමන්ට පෞද්ගලිකව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් හෝ ඉටුකර ගත නොහැකි කාරණා ඉටු කර ගැනීම වෙනුවෙනි. විදුලිය, මහාමාර්ග, දුරකතන සේවා, නළ ජලය ආදී යටිතල පහසුකම් මෙහිදී වැදගත් වේ. ළිඳක් කපා ගැනීමට ඉඩමක් නොමැති කුටුම්භයකට නළ ජලය අත්‍යවශ්‍ය වේ. මුදල් ඒකක, ජාත්‍යන්තර සබඳතා, ආනයන අපනයන කටයුතු ආදී වශයෙන් මේ ලැයිස්තුව තවත් දික්වේ.

මේ ආදි වශයෙන් පෞද්ගලිකව මෙන්ම කණ්ඩායම් වශයෙන් වුවද ඉටුකර ගැනීමට නොහැකි කාරණා ජනතාවට ඇත. ආණ්ඩුවක් ආදේශ වන්නේ ඒ සඳහාය. එවන් ආණ්ඩුවකට අවැසි අණපනත් හා නීතිරීති විවාද කර සම්මත කර ගන්නා ආයතනය වන අපේ රටේ පාර්ලිමේන්තුවේ දිනක නඩත්තුවට පමණක් ලක්ෂ 25 ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. එසේ ම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හා ඔවුනට අවැසි අමාත්‍යංශ කාර්ය මණ්ඩලවල නඩත්තුවට තවත් කෝටි ගණන් අවශ්‍යය. මීට අමතරව ආණ්ඩුවේ ජනතා සේවයට කැප වූ රාජ්‍ය සේවයේ පඩිනඩි සඳහා පමණක් රට උපයාගන්නා හැම රුපියලකින්ම ශත 43 ක් වැයවේ. විශ‍්‍රාම වැටුපක් සමඟ ගත් කල මෙම මුදල ශත 55 දක්වා වැඩිවේ.

මේ තරම් දැවැන්ත රාජ්‍ය සේවාවක් හා මැති ඇමතීන් රොත්තක්, විපක්ෂය ද සමඟ ජනතා මුදලින් නඩත්තු කරමින් ආණ්ඩුවක් රටක් පාලනය කරන්නේ ජනතාවට පෞද්ගලිකව විසඳා ගැනීමට නොහැකි ප‍්‍රශ්න විසඳා දෙමින් ජනතා සේවයට යොමු වී රට තිබූ තැනින් ඉහළට ඔසවා තැබීමටය.

මේ වන විට රටක කැළි කසළ ද, නගර පවිත‍්‍ර කරණය ද, රජයක් මඟින් අනිවාර්යයෙන්ම විසඳුම් ලබා දිය යුතු කේෂ්ත‍්‍රයක් බවට පත්ව ඇත. එය අද ජනතාවට පෞද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් මැදිහත් විය නොහැකි පළාත් පාලන ආයතන සීමාව තුළ ද විසඳා ගත නොහැකි ප‍්‍රශ්නයක් වෙමින් පවතී.

කැළි කසළ වනාහි ගෝලීය කරණය වූ ලෝක ධනේෂ්වරයේ නිර්මාණයකි. එදා හැම ගෙවත්තකම අනිවාර්යයෙන් පැවැති ‘කුණු වළ’ අද සාමාන්‍යයෙන් දක්නට නොලැබේ. පර්චස් 10 ක්, ඊටත් අඩු වාසස්ථාන සංස්කෘතියක් හා ගෝලීය නාගරිකකරණ වටාපිටාවක් තුළ කැළිකසළ ගොඩ ගැසීම අනිවාර්ය සාධකයකි. ජනතාව පෞද්ගලික මට්ටමින් බැහැර කරනු ලබන කැළි කසළවලට වඩා වැඩි තොගයක් මහා පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපාරික ස්ථාන මඟින් අපද්‍රව්‍ය ලෙසින් දෛනිකව පරිසරයට එකතු වේ. මෙසේ කොළඹ නගරයට එකතු වන කැළි කසළ ප‍්‍රමාණය ටොන් 800 ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. එහෙත් මෙය අද ඊයේ මතු වූ ප‍්‍රශ්නයක් නොවේ. 1956 සිටම කොළඹ නගරය පාලනය කර තිබෙන්නේ ද එකම කණ්ඩායමකි. එසේ ම 1994 සිටම එකම කණ්ඩායමක් රට පාලනය කර තිබෙන්නේ ද මේ කසළ ගොඩවල් දැක දැකය.

එකතු කර ගන්නා කසළ ගොඩවල් ශිලාචාර දියුණු ලෝකයේ සුනඛ වසුරු මෙන් අවට පරිසරය ගඳ ගස්වමින් එක් තැනක සිට තවත් තැනකට ගෙනැවිත් දමන්නේ නැත. නොදියුණු යැයි සම්මත තුන්වැනි ලෝකයේ සමහර රටවල් පවා මේ ප‍්‍රශ්නය නවීන විද්‍යාත්මක විසඳුම් සොයාගෙන ඇත. අපට තරම් ශිෂ්ටාචාරයක් හෝ අතීතයක් නොමැති රටවල්ද මෙවන් ප‍්‍රශ්න සාර්ථකව විසඳාගෙන තිබේ. ”කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණය” නූතන ලෝකයේ භාවිතයට ගැනෙන්නේ ඒ සඳාහාය. අපි අද වසර 2500 ක ඉතිහාසයේ පම්පෝරිය නිතර දෙවේලේ මුමුණමින් සිටිමු. එදා පණ්ඩුකාභය යුගයේ මනා පළාත් පාලනයක් හා කසළ පරිපාලනයක් පැවැති බව ආසන්නට ලැබේ. පම්පෝරිය හැරෙන්නට ඒවායින් ඉගෙන ගන්නා පාඩමක් ද නැත.

ස්විඩනය වැනි රටවල් ප‍්‍රවාහන කටයුතු උදෙසා ඇවැසි ඉන්ධන නිපදවා ගැනීමට කැළිකසළ භාවිතා කරයි. දකුණු කොරියාව ඇවැසිනම් එම තාක්ෂණය ශ‍්‍රී ලංකාවට ලබාදීමට සූදානමින් සිටී. ඒත් ලබා ගැනීමට පසුබට වන්නේ ඇයි දැයි කියන්න දන්නේ නැත. සිංගප්පුරුව විනයක් සහිතව මේ ප‍්‍රශ්නයට විසඳුම් සොයාගෙන ඇත. කැළිකසළ කළමනාකරණයේ දී අපිරිසුදු යැයි සම්මත අසල්වැසි ඉන්දියාවද සිටින්නේ අපට වඩා ඉදිරියෙනි.

කැළිකසළ ප‍්‍රතිශක්තිකරණ ක්ෂේත‍්‍රයට නිර්මාණශිලිව මෙන් ම ව්‍යාපාර මට්ටමින් මැදිහත්වන තරුණ චරිතද ලොවේ නන්දෙසින් අපට හමුවේ ඉන්දියාවේ නවීතා ඛන්තා එවන් කාන්තා චරිතයකි. ‘බන්කායෝලූ’ ඇගේ ප‍්‍රතිචක‍්‍රීයකරණ ව්‍යාපාරය ලෙසින් හැඳින්වේ. කුටිර 5කින් යුත් ‘සේෆ්ට්ටි ටැංකි’ විශේෂයක් මගින් ඇය මළා පවහන ද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රයකරණයට යොමු කරයි. ඉන්දියාවේ දුම්රිය වැසිකිළි ප‍්‍රථමයෙන් ඇගේ ප‍්‍රතිචකි‍්‍රයකරණ  වැඩ පිළිවෙළට යොමු කරන ලද බව පැවසේ. මේ වන විට ‘බන්කායෝලූ’ ව්‍යාපාරයට විදේශ රටවලින් පවා ඇණවුම් ලැබෙමින් පවතී.

නයිජීරියාවේ පරිගණක ඉංජිනේරු වරියක වන ”බිලිකිස් අඬේබ්” ඇමරිකාවේ අයි.බී.එම්. ආයනයේ පරිගණක ඉංජිනේරුවරියෙකි. ඇය එම රැකියාවට සමු දී සිය රටට පැමිණෙන්නේ එරට කැළිකසළ ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමටය. මේ වන විට ඇය ලාගෝස් නගරයේ කැළිකසළ ප‍්‍රතිචකී‍්‍රකරණය ලාභදායී ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යන නිර්මාණශීලි ව්‍යාපාරිකාවකි. සිය දහස් හා ලක්ෂ ගණනින් නයිජීරියානුවන්ට රැකියා හා ප‍්‍රතිලාභ අත්පත් කර එය ව්‍යාපාරයට ”වී සයිකර්ල්ස්” නමින් හැ`දින්වේ. නයිජිරියානු රජයේ නිබඳ සහාය ඊට ලැබෙන බව ඇය පවසයි.

අපේ රටේද මෙවන් තරුණ කාන්තා වරිත නැත්තේ නොවේ. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිනී  රුවිනී ධර්මසිරි මෙනෙවිය ද දැනට අපට මුණ ගැසී තිබෙන එවන් චරිතයකි. මෙවන් අය එක්රැස් කර අදාළ විෂය සම්බන්ධයෙන් සේවයක් ලබාගන්නා බවක් නම් නොපෙනේ. මේ සියල්ලට මුල් වී තිබෙන්නේ කුණුවලින් මුදල් උපයා ගන්නා ප‍්‍රාදේශීය දේශපාලනය, කොමිෂන් කුට්ටි හුවමාරුව හා එකිනෙකා කුළල් කා ගන්නා පක්ෂ දේශපාලනය බව පෙනේ.

මේ නිසා මීතොටමුල්ලේ ඛේදවාචකය ගැන වුවද පුදුමවිය යුතු නැත. රටකට ලැජ්ජා සහගත අයුරින් අහිංසක ජනයා කුණු කන්දකට යට වි මිය යනතුරුම මේ රටේ ආණ්ඩු ප‍්‍රශ්නයට විසඳුමක් සොයා දීමට අසමත්විය. මෙවන් පසුබිමක මෙගා සංවර්ධනයක් ගැන කතා කිරීම පවා විහිළුවකි. එහෙත් ඒ සඳහා විලිලැජ්ජාවක් කියා දෙයක් ගෑවිලාවත් අපේ රටේ දේශපාලනය කරන උදවියට නොමැත.

කුණුවලට යටවී ජනයා මිය යන පුවත් අසන්නට ලැබෙන්නේ අන්ත නොදියුණු අසාර්ථක රාජ්‍යවලිනි. පසුගිය දා එවන් පුවතක් ඉතියෝපියාවේ අසිස් ආබානුවරින් වාර්තා විය. ඊට පසු ශී‍්‍ර ලංකාවේ කොළඹ නගරයෙනි.  මේ වන විට සංවර්ධනයේ දී අප තරගයක් දෙමින් සිටින්නේ ඉතියෝපියාවට දැයි කියන්න දන්නේ නැත. මේ වරදින් රට පාලනය කළ හා කරන කිසිවෙකුට ගැලවීමක් නැත. බස්නාහිර මහ ඇමති ඉසුරු දේවප‍්‍රිය සඳහන් කරන පරිදි මේ ගැන ලැජ්ජාවිය යුතුය. ඔහුට එහෙම කියන්නවත් කොන්දක් තිබීම වැදගත් ය. මහරගම නගරාධිපති වශයෙන් කසළ ප‍්‍රතිශක්තිකරණ වැඩ සටහන් කි‍්‍රයාත්මක කළ ඔහුට බස්නාහිර මහ ඇමැති ලෙස එම කාර්ය සඳහා අවස්ථාවක් දිය යුතුව තිබුණි.

2009 අධිකරණ තීන්දුවක් මගින් මීතොටමුල්ලට කුණු දැමීමේ සීමාව අක්කර දෙකකට සීමාවිය. එහෙත් එය අරුම පුදුම නඩුතීන්දුවකි. එම තීන්දුව නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වාගේය. ඊට හේතුව එහි කුණු දැමිමට එරෙහිව උද්ඝෝෂණය කරන අයට එසේ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කර තිබීම නිසාය. අදාළ අය දින 14 ක් රිමාන්ඞ් බාරයේ තැබීමට ද එම තීන්දුවෙන් ඉඩකඩ සැලසුණි. එදා මීතොටමුල්ලේ ජනතා හඬ මර්දනය කළේ ඒ අයුරිනි. ඉන්පසු අක්කර දෙකේ සීමාව අක්කර 23 ක වපසරියක් දක්වා පුළුල් විය. ජනතාවගේ කට වසා උද්ඝෝෂණ කිරිමේ අයිතිය තහනම් කළ අය මේ ප‍්‍රශ්නයේ දී නිදොස් වන්නේ නැත. 2009 සිටම  රටේ පාලනයේ සිටි අය ද මීට වගකිව යුතුය. එසේ ම දැන් සිටින අයට ද එම වගකීමෙන් ගැලවීමක් නැත. මේ නිසා රාවණා බලයේ නායක ඉත්තෑපානේ සද්ධාතිස්ස හිමියන් සිය පාංශූකූල දේශනාවේ අපරාධකරුවන් ලෙසින් හැඳින්වෙන්නේ කවුරුන්දැයි කියන්න දන්නේ නැත.

වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයාද වගකිව යුත්තන් හඳුනාගැනීම පටලවාගෙන තිබෙන බව පෙනේ. මේ අතර පුත්තලමට කුණු ගෙන යාමට සැකසුණු ලෝක බැංකුව පවා අනුමත කළ ව්‍යාපෘතියට සිදුවුණේ කුමක්දැයි වත්මන් බලධාරින් පිළිතුරු සැපයිය යුතුය. මීට අදාළ කැබිනට් තීන්දුව ගනු ලබන්නේ 2014 වසරේ අගභාගයේ දී යැයි පැවසේ. එය කාගේ වැඩක් වුවද හොඳ වැඩක් බව පෙනේ.

නූතන ලෝකයේ කැළි කසළ යනු සම්පතකි. ආදායම් මාර්ගයකි. නව ව්‍යාපෘති උදෙසා ඉල්ලමකි. එහෙත් අපේ රටට එය ඛේදවාචකයකි. විසඳුමක් පෙනෙන තෙක් මානයක නොපෙනෙන ජාතික උවදුරකි. එක්තැනකින් තවත් තැනකට කුණු ඇදීමට හෝ වැළලිගිය මිනී ගොඩ ඇදීමට ආණ්ඩුවක් අවශ්‍ය නොවේ. උතුරු කැලිපෝනියාවේ උරෝවීල් වේල්ලේ එක් බැම්මක අනතුර දුටු එම ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය පාලකයන්ට 188000 ජනතාවට එම ප‍්‍රදේශයෙන් ඉවත් කිරිමට ගතවුණේ සති දෙකක් පමණ කාලයකි. ඒ පිළිබඳ තීන්දුව ගන්නා ලද්දේ දේශපාලකයෙක් නොවේ. ‘කවුන්ට්ෂෙරිෆ්‘ නමින් හඳුන්වනු ලබන අපේ රටේ දිස්ති‍්‍රක්ක ලේකම් මට්ටමේ (දිසාපති) නිලධාරියෙකි. ආණ්ඩුවක පාලන ක‍්‍රමයක් අවශ්‍ය වන්නේ මේ සඳහා ය.

”මීතොටමුල්ල කුණු කන්ද මේ ආණ්ඩුවේ නිර්මාණයක් නොවුණ ද පසුගිය සමයේ එම ජනතාව නැඟූ හඩ මේ ආණ්ඩුවේ අදාළ බලධාරින්ට  ද නෑසීමට හේතුවක් ඇතැයි නොපෙනේ. හැම දෙයම රටේ ජනාධිපතිවරයා විසින් ඇඟිල්ලෙන් ඇන පෙන්වා දිය යුතු නැත. එසේ නම් විවිධ අමාත්‍යාංශ වලින් සැදුණු ආණ්ඩුවක් අවශ්‍ය නොවේ.  දේශපාලනඥයන්ට මීතොටමුල්ල ඛේදවාචකය දැක බලා ගැනීමටවත් එතැනට යාමට නොහැකි වීමෙන්ම ප‍්‍රශ්න කල්දැමිම, අකාර්යක්ෂමතාව හා ජනතා හඬට කන්නොදිමේ විපාක තේරුම් ගත හැකිය.

කිප දෙනෙකුගේ උද්ඝෝෂණ නිසා අදාළ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම අතපසු වුවා යැයි සඳහන් කිරීම ආණ්ඩුවකට ලැජ්ජා සහගතය. ආණ්ඩුවක් යනු ජනතාවට වඩා ඉදිරියෙන් සිට නිවැරැදි තීන්දු ගනු ලබන ආයතනයකි. එසේ වීමට නොහැකි රජයකින් පලක්  නොවේ. කුණු ඇදීමට පමණක් ආණ්ඩුවක් අවශ්‍ය නොවේ. ඊට අදාළ සමාගමක් සෑහේ. අද මේ සියල්ලටම ජනාධිපතිවරයාට පෞද්ගලිකවම මැදිහත්වීමට සිදු වී තිබේ. ඒ ගැන ආණ්ඩුකරන අය ලැජ්ජා විය යුතුය.