විදේශ ප‍්‍රතිපත්තියේ වත්මන් ස්වභාවය, රට පාවාදෙන කි‍්‍රයා පිළිවෙතක් තිබේද?, රුසියාවෙන් ලංකාවට ලැබෙන සහාය සහ රට ගොඩනැඟීමට ගතයුතු පියවර යනාදිය ගැන රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාගෙන් විමසුවෙමු.
ශ්‍රී ලංකා රුසියා මිත‍්‍රත්ව සංගමයේ ලේකම්වරයාද වන ඒ මහතා රුසියානු ජනාධිපතිවරයාගේ ආඥාවක් මත විදේශිකයන්ට පිරිනමන රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව පදක්කමක් හිමි එකම හා ප‍්‍රථම ශ්‍රී ලාංකිකයා ද වෙයි. මේ ඒ මහතා සමඟ කළ සාකච්ඡාවයි.ප‍්‍රශ්නය:- ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය පසුගිය කාලයේ තිබුණේ ආන්දෝලනාත්මක තැනක. එය දැන් වෙනස් වෙලාද? අද පවතින විදේශ ප‍්‍රතිපත්තිය ගැන ඔබේ පැහැදිලි කිරීම කෙබඳුද?

පිළිතුර:- අද ලංකාවේ පවතින විදේශ ප‍්‍රතිපත්තිය අනුව කලාපීය වශයෙනුත් ගෝලීය වශයෙනුත් ලංකාව සෑම රටක් සමඟම ඉතා හොඳ මිත‍්‍රත්ව සම්බන්ධතාවක් පවත්වා ගන්නා බව පේනවා. කලාපීය වශයෙන් ගත්තොත් ආසියාවේ සෑම රටක් සමඟම ඉතා හොඳ, වෙළෙඳ, තානාපති සබඳතා පවත්වාගෙන යනවා. ගෙවුණු වසර දෙකක කාලයේ රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් රාශියක් සිදුවුණා. ඒ වගේම යුරෝපය සමගත් එවන් සබඳතා ශක්තිමත්වීමක් සිදුවුණා. මෙහෙම බැලූවාම ගෝලීය වශයෙනුත් හොඳ සබඳතාවක් ලංකාවට තිබෙන බව කියන්න පුළුවන්. මෙය ලංකාව වගේ පොඩි රටකට කුඩා ¥පතකට හරි වටිනවා.

ලංකාව දකුණු ආසියාවේ කේන්ද්‍රයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ පසුබිම යටතේ අනෙක් රටවල් අපේ රට සමඟ ජාත්‍යන්තර මට්ටමෙන් සබඳතා පවත්වන්න කැමතියි. තුලනය වූ විදේශ ප‍්‍රතිපත්තියක් පවත්වා ගතහොත් මේ සෑම රටකින්ම අපට උදව් ලබා ගන්න පුළුවන්. ලංකාවේ වත්මන් විදේශ ප‍්‍රතිපත්තිය ඇත්තෙන්ම නොබැඳි පිළිවෙතක් හා සමාන බව කිව හැකියි. අද කිසිම කඳවුරකට නැතිව සෑම කඳවුරක් සමඟම හොඳින් සබඳතා වර්ධනය කරගෙන ඒ ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යනවා. එනිසා මේ ක‍්‍රමය ලංකාවට ඉතා හොඳ විදේශ ප‍්‍රතිපත්තියක් හැටියට මම දකිනවා.

එක කඳවුරකට ලංකාව බැඳුනොත් නොයෙක් ප‍්‍රශ්න මතු වෙන්න පුළුවන්. අපි ඒ කඳවුරේ නියෝජිතයකු ලෙස දකින්න පුළුවන්. එහෙම වුණොත් අනෙක් රටවලින් සහයෝගය ගන්න බැරි වෙනවා. කුඩා රටක් හැමවිටම කිසිම කඳවුරකට බැඳී නොසිටීම තමයි වටින්නේ. ඒ අනුව අපේ ඉලක්ක කරා යන්න පුළුවන්. සෑම අංශයකින්ම අනෙක් රටවලින් සහාය ලබාගන්න පුළුවන්. එවන් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතා වටිනවා. පසුගිය කාලයේ ලොව රටවල් රාශියක් සමඟ ඉතා හොඳ සබඳතා ගොඩනැගීමට රජය කටයුතු කළා. විදේශ සබඳතා යථා තත්ත්වයට පත්වීමක් හැටියට මෙය හඳුන්වන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- එහෙත් බටහිරට ගැති ප‍්‍රතිපත්තියක කටයුතු කරන බවටයි රට අභ්‍යන්තරයේ මතයක් නිර්මාණය වී තිබෙන්නේ. රට විදේශයට පාවාදීමේ විදෙස් ප‍්‍රතිපත්තියක කටයුතු සිදුවන බව සමාජගතව ඇති කරුණක්. ලංකාව ගිල ගැනීමේ එවන් උත්සාහයක් ජාත්‍යන්තර තලයේදී ඔබ දකිනවාද? මේ ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර:- ජාත්‍යන්තර වශයෙන් එහෙම දෙයක් දකින්න අමාරුයි. අවසන් වසර ගතහොත් අපේ රට වෙනත් රටවල් රාශියක් සමඟ සබඳතා තරකර ගත්තා. පසුගියදා ජනාධිපතිතුමා රුසියාව සමග සබඳතා තරකර ගත්තා. අගමැතිතුමා ජපානයට, වියට්නාමයට ගියා. ජනාධිපතිතුමා ඉන්දුනීසියාව සමඟ සබඳතා ශක්තිමත් කළා. ලබන වෙසක් පොහොයට ඉන්දීය අගමැතිවරයා ලංකාවට එනවා. චීනයත් ලංකාවත් අතර ද්විපාර්ශ්වික රාජ්‍ය සබඳතා ශක්තිමත් කිරීම අවස්ථා ගණනාවක සිදුවූවා. මේ රටවල් එකක්වත් බටහිර රටවල් නෙමෙයි. ආසියාවේ රටවල්. මේ රට බටහිරට බිලිදෙන්න හදනවා නම් නිතරම යන්න  ඕන ඒ රටවලටයි. වරක් දෙකක් බටහිර රටවලට අපේ නායකයන් සංචාරය කළාට ඔය කියන ආකාරයේ ප‍්‍රවණතාවක් දකින්න බැහැ.

ඉන්දීය සාගරයේ වැදගත් තැනක පිහිටි රටක් වන ලංකාවට නොයෙක් ආකාරයේ බලපෑම් කරන්න විවිධ රටවල් බලා සිටින්න පුළුවන්. ඒක අපි තේරුම් ගන්න  ඕන. ඒ සෑම බලපෑමක් ගැනම දැඩි විමසිල්ලෙන් සිටිමින් අපේ නිදහස තබාගෙන රට සංවර්ධනය කිරීම අපේ වගකීමක්. මොන ජනපති, අගමැති පත් වූවත් ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒක ඉන්දියාවට අනුකූලව හදපු විදේශ ප‍්‍රතිපත්තියක්. එවන් විදේශ ප‍්‍රතිපත්තියක් අපේ රටටත් හැදෙයි කියා බලාපොරොත්තු වෙනවා. බටහිර සමඟත් සබඳතා පවත්වාගන්න  ඕන. අපේ ඇඟලූම් අපනයනයෙන් වැඩි ප‍්‍රමාණයක් යන්නේ ඇමෙරිකාවට. ජී.එස්.පී. ප්ලස් ලැබුණාම යුරෝපයට අපනයන වැඩි වේවි. මේකට හොඳම පාඩම ඉගෙන ගන්න තිබෙන්නේ චීනයෙන්. චීනය මුළු ලෝකයටම තමන්ගේ නිෂ්පාදන අපනයනය කරනවා. සෑම තැනම තමන්ගේ මුදල් ආයෝජනය කරනවා. එහෙත් චීනය කවදාවත් තමන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැහැ. බලගතු ආර්ථිකයක් නැති නිසා අපට චීනය වගේ වෙන්න බැහැ. එහෙම වුණා කියා හෝ අපට ප‍්‍රශ්න තිබෙනවා කියා එක එක පුද්ගලයන් කියන ආකාරයට ඔවුන්ගේ විදේශ කටයුතු න්‍යාය පත‍්‍ර අනුව හැසිරෙන්න අපට අවශ්‍යතාවක් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ.

අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනැගෙමින් පවතිනවා. අපට ලොකු නිදහසක් අද තිබෙනවා. රටක ඉදිරි දියුණුවට එය මූලික කරුණක්. ගෝලීය වශයෙන් බැලූවාම සෑම තැනකම මේ තත්ත්වය තිබෙනවා. යුදමය උණුසුමක් ලෝකයේ තිබෙනවා. ආසියානු කලාපයටත් එය ඇවිත්. උතුරු කොරියාව එයට උදාහරණයක්. අද අපි ජීවත්වන්නේ එවන් පසුබිමක. විදේශ කටයුතු ගැන කතා කිරීමේදී එය සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. රට ඇතුළෙ තිබෙන ප‍්‍රතිපත්තියත් එළියෙ තිබෙන ප‍්‍රතිපත්තියත් සමාන වෙන්න බැහැ. එනිසා එළියෙදි අපේ අනන්‍යතාව රැුකගෙන රටට අවශ්‍ය දේ ලබාගන්න කටයුතු කරන්න  ඕන. එහිදී සමහර තැන්වලදි පසුපසට යාමටත් තවත් තැන්වලදී ඉදිරියට යාමටත් සිදුවෙන්න පුළුවන්. නම්‍යතාවකට ලක්වෙන්න වෙනවා. එසේ නැතිව දැඩි ජාතිවාදී ක‍්‍රමයකට නූතන ලෝකයේ ඉදිරියට යන්න බැහැ. ජාතිවාදී ක‍්‍රමයට ගියොත් ලෝකයෙන්ම කොන්වන තත්ත්වයක් එනවා. අප කොන්වූවොත් ලොකු ප‍්‍රශ්න එනවා. අපේ ඉලක්කවලට යන්න බැරි වෙනවා. අද අපේ විදේශ ප‍්‍රතිපත්තිය සමතුලනය වූ තැනක තිබෙනවා. අනෙක් රටවල් මෙන් අවශ්‍ය අවස්ථාවේ උපක‍්‍රම අනුගමනය කරමින් අපේ විදේශ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වන බව මගේ පෞද්ගලික මතයයි.

ප‍්‍රශ්නය:- විදේශ ප‍්‍රතිපත්තියේ තුලනාත්මක බවක් ගැන ඔබ කියනවා. මෙයින් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර:- අසල්වැසි ඉන්දියාව සමඟ ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වාගන්න අප කටයුතු කරනවා. චීනය සමඟ ඉතා හොඳ මිත‍්‍රත්වයක් පවත්වනවා. චීන ව්‍යාපෘති රාශියක් ලංකාවේ ක‍්‍රියාත්මකයි. රුසියාව සමග සබඳතා තරකර ගැනීමට පැවැති සංචාරයේදී පුටින් ජනාධිපතිතුමා පැය දෙක හමාරකට වැඩි කාලයක් අපේ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා. එය අපි වගේ කුඩා රටක ජනාධිපතිවරයකුට කළ ලොකු ගෞරවයක් ලෙස අපි සලකනවා. එදා සෑම අංශයක් සමඟම ජනපතිවරු දෙපළ සාකච්ඡුා කළා. රුසියාව ලංකාව කෙරෙහි අවධානයකින් සිටින බව මෙයින් පෙන්නුම් කරනවා. එය ඉතාමත් වටිනවා. මෙවැන්නක් වෙන්නේ අපේ විදේශ ප‍්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ පිළිගැනීමකට ලක්ව තිබෙන නිසයි. එහෙම නැති නම් එවන් රටවලින් අපේ රටට ආරාධනා ලැබෙන්නේ නැහැ. අපි යම් ආකාරයකට කොන්වීමකටත් ලක්වෙනවා. ඒ නිසා අපේ රටේ අය නොදකින ජාත්‍යන්තර විචාරකයන් දකින සමතුලිත බවක් අපේ විදේශ ප‍්‍රතිපත්තියේ තිබෙනවා. ජාත්‍යන්තර විදේශ සබඳතා විචාරකයන් ඒ ඒ රටවලින් පත්කර ඇති තානාපතිවරුන්ගෙන් යන පණිවිඩය අපි දන්නේ නැහැ. ඒවා යහපත් නොවුණා නම් මෙවන් ක‍්‍රමයකට අපට යන්න ලැබෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය:- වසර 43කට පමණ පසුවයි ලංකාවේ රාජ්‍ය නායකයකුට රුසියාවේ රාජ්‍ය නායක හමුවකට අවස්ථාව ලැබෙන්නේ මේ කටයුත්ත වුණේ කොහොමද?

පිළිතුර:- මේක ඉතා වැදගත් සංචාරයක්. ඒ වගේම විශේෂ සංචාරයක් වුණා. ආර්ථික, සංස්කෘතික, මානුෂීය යන සෑම අංශයක් ගැනම මෙහිදී සාකච්ඡුා වූවා. මේ සාකච්ඡුාවලින් පසුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් රාශියකටත් අත්සන් කළා. සංචාරක ව්‍යාපාරයට, ධීවර අංශයට, සංස්කෘතික, තාක්‍ෂණය හා සම්බන්ධව මේ ගිවිසුම් ඇති වුණා. ඒ අනුව මේ කාරණා ඉටුකර ගැනීමට යම් ක‍්‍රමවේදයක් සකසන බව ජනාධිපතිතුමා කිව්වා. එය රුසියානු ශ්‍රී ලංකා සබඳතාවල අලූත් පිටුවක් පෙරළාවි. පසුගිය වසර හැටේ දී දේශපාලන හා සංස්කෘතික වශයෙන් හොඳ සබඳතාවක් රුසියාව සමග තිබුණා. හැබැයි ආර්ථික පැත්තට අපිට එහෙම කියන්න බැහැ. මේ දෙරට අතර කෙරෙන ආර්ථික ගනුදෙනු අනුපාතය අඩුයි. මේ ප‍්‍රමාණය ඩොලර් මිලියන 700ක් දක්වාවත් ඉදිරි වසර දෙකතුනේදී වර්ධනය කරගන්න පුළුවන් වුවොත් එය විශාල ජයග‍්‍රහණයක්. එයට අවශ්‍ය පසුබිම අද සැකසී තිබෙනවා.

අද රුසියාවට යුරෝපයෙන් සම්බාධක වැටී තිබෙනවා. අපේ මත්ස්‍ය නිෂ්පාදන, නිමිඇඳුම්, අනෙකුත් නිෂ්පාදනවලට රුසියාවේ ලොකු වෙළෙඳපොළක් තිබෙනවා. අපේ පෞද්ගලික සමාගම් 16කට දැනට එරටින් අවසර ලැබී තිබෙනවා. ඒ වගේම ගෙවුණු වසරේදී නිමි ඇඳුම් අපනයනයේ වැඩිවීමක් දැක ගන්න පුළුවන්. එය තවත් වැඩි කරගත යුතුයි. ලොකු වෙළෙඳපොළක් මෙහි තිබෙනවා. මේවා තවත් වැඩි කරගතහොත් දෙරට අතර සබඳතාව තවත් වැඩිවෙනවා.

දේශපාලනික වශයෙන් කිසිදු න්‍යාය පත‍්‍රයකින් තොරව ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව පුටින් ජනාධිපතිතුමා අපේ ජනාධිපතිතුමාට කිව්වා. එය විශාල ශක්තියක්. රුසියාව කියන්නේ එක කණ්ඩායමක්. යුරෝපය තව කණ්ඩායමක්. සෑම විටම ජාත්‍යන්තර ප‍්‍රශ්නවලදී අපේ නොබැඳුණු පිළිවෙත පෙන්වා තිබෙනවා. ඒ වගේම මේ රටවල් සමඟ මිත‍්‍රශීලිත්වයත් පෙන්නුම් කර තිබෙනවා. අපේ මූලික අරමුණ වෙන්න  ඕන මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමයි. කිසිම රටක් සමඟ මිත‍්‍රත්වය පළුදු කර ගැනීමේ වුවමනාවක් අපට නැහැ. අපි යම් යම් අවස්ථාවල සතුරන් මවාගෙන සිටීමත් හොඳ නැහැ. එනිසා යම් රටකින් ලබාගත හැකි දේ ලබාගෙන ඔවුන් සමඟ මිත‍්‍රශීලිව ඉඳීමයි වැදගත්. ඒ ලබාගන්නා දෙයින් රටේ ජනතාවට හොඳක් වෙනවා නම්  ඕනෑම නායකයකුගේ බලාපොරොත්තුව එයයි.

මමත් මේ සංචාරය සංවිධානයට සම්බන්ධ වුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය, රුසියානු තානාපති කාර්යාලය, ලංකාවේ අනෙක් රාජ්‍ය ආයතන, ජනාධිපතිතුමාට ඉන්දියාවේදී පුටින් ජනාධිපතිතුමා හමුවීම යනාදී සියල්ල මෙයට බලපෑවා. මෙය සාර්ථක කරගන්න මම පෞද්ගලිකව වෙහෙසී ක‍්‍රියා කළා. මම තානාපතිවරයා වශයෙන් පත්කර තිබෙන්නේ විශ්වාසයක් ඇතුවයි. ඒ නිසා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ වසර දෙකේදී මගේ උපරිමය කරන්න  ඕන. ඒ වෙනුවෙන් මම වෙහෙසුණා.

මේ සංචාරය නිසා රුසියාව තුළ ලංකාවට විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණා. ජනවාරි, පෙබරවාරි, මාර්තු යන මාසවල රුසියාවෙන් ලංකාවට පැමිණි සංචාරක සංඛ්‍යාව වර්ධනය වී තිබෙනවා. අපට ලොකු ප‍්‍රචාරයක් එරට මාධ්‍යවලින් ලැබුණා. එය අපට නොමිලේ ලැබුණා. රුසියාව අපිව දැක්කේ දියුණු වූ රටක් හැටියටයි. මම අද තානාපතිවරයා වශයෙන් ඉන්නේ ගුණපාල මලලසේකර වැනි අය සිටි තැනක. ඒ ගෞරවයත් මම  තියන්න  ඕන. ඒක මගේ වගකීමක්.

ප‍්‍රශ්නය:- විදේශ ආයෝජන අද ලංකාවට තිබෙන ප‍්‍රශ්නයක්. රුසියාවෙන් අපට ලබාගත හැකි ආයෝජන අවස්ථා සහ එරටින් මෙරටට ගෙන්වාගත හැකි ආයෝජන නැතිද?

පිළිතුර:- ලංකාවට විදේශ ආයෝජන ඒම ගෙවුණු වසර දෙකේදී පසුබා ඇත්තේ අද ගෝලීය ආර්ථිකයේ තිබෙන ප‍්‍රශ්නය නිසයි. යුරෝපය ආර්ථික ප‍්‍රශ්න ගණනාවකට මුහුණදීලා. ඒවගේම ඇමෙරිකාවෙත් ප‍්‍රශ්න තිබෙනවා. මේ නිසා සෘජු විදේශ ආයෝජනයේ අපහසුතාවක් ඇති වී ඇති ස්වභාවයක් දැකගන්න පුළුවන්. ඒ වගේම ආසියාව තුළත් අපි ප‍්‍රබල තරගයකට මුහුණදෙනවා. අපට අසල්වැසි රටවලින් ආයෝජකයන්ට සෑහෙන්න සහන දී තිබෙනවා. ඒ සමහර රටවල යටිතල පහසුකම් අපේ රටට වඩා වැඩියි. නීතිමය වශයෙන් වූවත් ඒ රටවල පහසු වාතාවරණයක් තිබෙනවා. ආයෝජනයේදී ඉඩම් හා ප‍්‍රශ්න නිරාකරණයට තවම අපට නොහැකි වී තිබෙනවා. මේ සියල්ලට වඩා ගෝලීය ආර්ථිකයේ ප‍්‍රශ්න නිසා බොහෝ රටවල් අසීරු තත්ත්වයකයි සිටින්නේ.

අපට අවශ්‍ය ණය පහසුකම් ආදිය අවශ්‍ය නම් ඒ හා සම්බන්ධ යෝජනා ලබාදෙන ලෙස පුටින් ජනාධිපතිතුමා අපේ ජනාධිපතිතුමාට කිව්වා. ඒ අනුව රුසියාවේ ආණ්ඩුව පැත්තෙන් එවන් ප‍්‍රවණතාවක් තිබෙනවා. පෞද්ගලික මට්ටමෙන් රුසියානු ආයෝජකයන් ලංකාවට ඒම ගැන ලොකු දෙයක් කියන්න අමාරුයි. එයට හේතුව රුසියාව ඇතුළේ ආයෝජකයන්ට අද දෙන පහසුකම් ඉතා විශාලයි. රුසියාව සම්බාධකවලට ලක්ව සිටින නිසා පුටින් ජනපතිගේ උත්සාහය ඉදිරි වසර පහේදී හැකි තරම් රට ඇතුළතින්ම සංවර්ධනය වෙන්නයි. ලබන වසර වන විට ලෝකයේ අංක එකේ ඉරිඟු පිටි අපනයනය කරන රට බවට රුසියාව පත්වේවි. ඒ වගේම ඇතැම් දේ ආනයනය නවත්වනවා. ඒයට හේතුව රට ඇතුළේ නිෂ්පාදනය වැඩිවීමයි. අද තිබෙන ආර්ථික පසුබිම අනුව මෙය අපිත් අවධානයට ගත යුතු කරුණක්. අපි සෑම දෙයක්ම ආනයනය කරන නිසා විශාල වශයෙන් විදේශ විනිමය පිටට යනවා. ඒනිසා රුපියලේ අගයත් විශාල ලෙස පරිහානියට ලක්වෙලා. ඒනිසා විදේශ විනිමය රැුක ගැනීමේ වැඩපිළිවෙළකුත් ලංකාවට තියෙන්න  ඕන.

අපේ ආර්ථිකයේ නිෂ්පාදන විවිධාංගීකරණය නොවීම තවත් ප‍්‍රශ්නයක්. එය සිංගප්පූරුවේ, කොරියාවේ මේ විවිධාංගීකරණය ඉහළම ප‍්‍රතිශතවල තිබෙනවා. හැබැයි අපේ එය සියයට දෙකක පමණ මට්ටමක තිබෙන්නේ. තේ, රබර්, ඇඟලූම්වලින් ගෝලීය ආර්ථිකය තුළ අපට රැුකෙන්න බැහැ. එහෙම නම් වෙන ක‍්‍රමයකට යන්න වෙනවා. පුහුණු ශ‍්‍රමයට විදේශ රැුකියා ලබාගැනීම, රටේම සිටිමින් විදෙස් රටවලට සේවා සැපයීම, වටිනාකම් එකතු කළ නිෂ්පාදන අපනයන ආදී අංශ රාශියකට යන්න  අපට පුළුවන්. මේවා ගැන අවධානය යොමු කළ යුතු වෙනවා.

අපේ රටේ ඉහළ විදුලි ගාස්තු නිසා, නිමි නිෂ්පාදනවල මිලත් වැඩියි. ඒ මිලත් සමඟ ලෝක වෙළෙඳපොළේ තරග කරන්න අපහසුයි. ඒ නිසා විදේශ ආයෝජකයන් අපේ රට ගැන නොතකා බංගලාදේශය ආදී රටවලට යනවා. ඒනිසා බලශක්ති හා සම්බන්ධ ජාතික ප‍්‍රතිපත්තියෙන් මෙයට විසඳුමක් සොයාගන්න අවශ්‍යයි.

මේ සෑම දෙයකටම යම් කාලයක් අවශ්‍යයි. පැය  48න් සියල්ල විසඳන්න බැහැ. අවම වශයෙන් වසර දහයක කාලයකදී මේවා කරන්න පුළුවන්. එය නිශ්චිත ක‍්‍රමයකට අනුව වෙන්න  ඕන. ඒ වගේම විනය අත්‍යවශ්‍ය කරුණක්. ළමා පරපුරට පාසලේ පටන්ම විනය උගැන්වීම කරන්න  ඕන. විනයගරුක වීම කියන්නේ අම්මට තාත්තට වැඳීම පමණක් නෙමෙයි. පාරේ හැසිරීමත් විනයක්, සමහරු හොඳ කාර්වලින් ඇවිත් පාරට කුණු දමනවා. රට හදන්න නම් මේවා වෙනස් වෙන්න  ඕන. විනයක් නැති රටක දියුණුවක් ඇති වී නැහැ. නීතිය සැමට සමව ක‍්‍රියාත්මක වෙන්න  ඕන. ඒ වගේම ජාතික ප‍්‍රශ්නවලදී එකමුතුව වැඩ කිරීම අවශ්‍යයි. රුසියාව මෙයට හොඳ උදාහරණයක්. යම් කලකදී අපට ඒ තැනට යන්න හැකි වේවි.

සාකච්ඡ කළේ -චමින්ද මුණසිංහ.