ඊළාම් සටනේ මහ මුහුදේ යුද්ධය 41


යුද ජයග්‍රහණයට දස වසරකි. ඒ යුද ජය ග්‍රහණය නිර්මාණය වූයේ මරණයට අභියෝග කළ වීරෝදාර රණවිරුවන්ගේ අයස්කාන්ත මැදිහත් වීමෙනි. ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කළ මව්බිමේ සුජාත දූ පුතුන්ගේ ඒ උත්තම පූජාවන් වර්තමානයට මතු නොව අනාගතයටද දෑසක්ව පැලඳවිය යුතුය.


තිස් වසරක යුද්ධය තුන් වසරකින් නිමා කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාවට සැපයූ නායකත්වය නොවන්නට ඉතිහාසය වෙනස් විය හැකිව තිබිණි. මේ ඒ ඉතිහාසයෙන් වසන් කළ නොහැකි කතාවය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ තම යුද අත්දැකීම අළලා ලියූ ‘අධිෂ්ඨානය’ කෘතියෙන් මේ උපුටනය අනාගත පරපුර වෙනුවෙනි.


 

 

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝදිසි මෙහෙයුමක් දියත් කර L.T.T.E. නෞකාව සොයා විනාශ කරන ලෙස තවදුරටත් එහි සඳහන් විය. 


මෙවරත් මෙම බුද්ධි තොරතුරු නාවික හමුදා මූලස්ථානයට ලැබී ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වන බ්‍රිගේඩියර් කපිල හෙන්ද්‍රවිතාරණ මගිනි. 


පෙර වතාවේ මෙන්ම මෙවරද නෞකා කණ්ඩායම් තුනක් සෝදසි මෙහෙයුමක යොදවා සතුරු නෞකාව විනාශ කිරීමට සැලසුම් කළේය. ඒ අනුව මෙහෙයුම සඳහා නෞකා ත්‍රි’මලය වරායෙන් පිටත් විය. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. L.T.T.E. නෞකාවේ පැමිණීම පිළිබඳ තොරතුරු පසුදින ජාතික පුවත්පතක පළවිය. එයින් සිද්ධ වූයේ එම නෞකාව නැගෙනහිර මුහුදට එන ගමන නතර කිරීමයි. සෝදිසි මෙහෙයුම් සඳහා මුහුදට ගිය කණ්ඩායම් තුනට හිස් අතින් ආපසු එන්නට සිදුවිය. මේ බුද්ධි තොරතුරු පුවත්පතට ලබා දී ඇත්තේ නාවික හමුදා මූලස්ථානයේ එවකට සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බව පසුව දැන ගන්නට ලැබිණ. ඔහු එසේ කර ඇත්තේ L.T.T.E. යට උදව් කිරීමට නොව හුදෙක්ම ත්‍රිකුණාමලය නාවික ආඥාපති ලෙස කටයුතු කළ මා හට මේ නෞකාව විනාශ කිරීම මගින් කිසියම් ඇගයීමක් ලැබේ නම් එය වළකාලීමටය. 


පුවත්පතක මෙම බුද්ධි තොරතුරු පළවීම පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල දිනක් දුරකථනයෙන් මගෙන් විමසීය. ඔහුව මම කුඩා කල සිට පුද්ගලිකව දැන සිටියෙමි. අප දෙදෙනාම ගියේ එකම පාසලකටය. 


‘‘වසන්ත, අපි දෙන බුද්ධි තොරතුරු පත්තරවලට ගියොත් අපි කරන වැඩවලින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.’’
මම සිද්ධිය පිළිබඳව ඇති තතු පැහැදිලි කෙළෙමි. 
‘‘මේ වෙච්ච සිද්ධිය ගැන හරිම කනගාටුයි.’’ 
‘‘සර්, මේකට තියෙන එකම විකල්පය ඔය තොරතුරු නාවික හමුදාපතිට හා මට පමණක් දෙන එක. එතකොට එහි රහස්‍යභාවය රැකගැනීමට පුළුවන්. නමුත් මූලස්ථානයේ මෙහෙයුම් අංශයටත් මේ පිළිබඳව දැනුම් දෙන්න අවශ්‍යයි. ඒ නිසා එක් එක් පුද්ගලයන්ට ලබාදෙන තොරතුරු ප්‍රමාණය සීමා කිරීමෙන් යම්කිසි දුරකට අපට අවශ්‍ය විදිහට රහස්‍යභාව රැකගැනීමට පුළුවන් වේවි.’’
‘‘ඒක හොඳයි. මම බ්‍රිගේඩියර් හෙන්දවිතාරණට කියන්නම් ඉදිරියට ඒ අනුව කටයුතු කරන්න කියලා.’’
‘‘තැන්කියූ සර්.’’


2003 ජුනි මස 11 වන දින රාත්‍රියේ 9 ට පමණ බ්‍රිගේඩියර් හෙන්ද්‍රවිතාරණගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. 
‘‘සර්, තොරතුරක් තියෙනවා. මෙම තොරතුරේ විශ්වාසනීයත්වය ඉතා ඉහළයි. මම නාවික හමුදා මූලස්ථානයට මූලික තොරතුරු තව ටික වේලාවකින් ලබා දෙන්නම්. නමුත් දිනය වෙනස් කරලා මූලස්ථානයට දෙන්නේ. සර්ට දුන්නේ හරි දිනය. මේ සම්බන්ධයෙන් ඔබට එවන්න වැදගත් ලියුමක් තියෙනවා. කවුරුහරි නිලධාරියෙක් ඉන්නවාද මේ ලියුම මගෙන් අද රෑටම ලබාගන්න? කාලය ඉතා වැදගත් වෙනවා.’’
‘‘කපිල, මට විනාඩි 10 ක් දෙන්න. මම මේ කාර්යයට සුදුසු කෙනෙක් හොයාගෙන ඔබව අමතන්නම්.’’
බ්‍රිගේඩියර් කපිල හෙන්ද්‍රවිතාරණගේ උනන්දුව, කැපවීම සහ දේශප්‍රේමීත්වය මට මනාව පැහැදිලි විය. මෙය ලෙහෙසියෙන් ලබාගත හැකි තොරතුරක් නොවීය.
රාජකාරි කටයුත්තක් සඳහා කොළඹ පැමිණ සිටි මගේ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුව මම වහාම ඔහු වෙත යැවීමි. මම බ්‍රිගේඩියර් හෙන්ද්‍රවිතාරණට නැවතත් දුරකථනයෙන් කථා කළෙමි. 


‘‘කපිල, ඔබ තව කොපමණ වේලාවක් කාර්යාලයේ ඉන්නවාද’’
‘‘අවශ්‍ය කටයුත්ත කෙරෙන තෙක් මට ඕන තරම් වෙලා ඉන්න පුළුවන්.’’
‘‘තැන්ක් යූ කපිල. තව විනාඩි 45 ක් ඇතුළත ඔබේ කාර්යාලයට නාවික නිලධාරියෙක් එයි. එයාට ඒක දෙන්න.’’
‘‘ඒක හොඳයි. මේක හැකි පමණ ඉක්මනින් ත්‍රි’මලයට ගෙන්න ගන්න.’’
‘‘මම දැනටමත් ඒකට කටයුතු සූදානම් කරලා තියෙන්නේ, වන්ස් අගේන් තැන්ක් යූ’’ (නැවත වරක් ඔබට ස්තූතියි.)
එම නිලධාරියා පසුදින නාවික බස්රථ පෙළේ ත්‍රි’මලයට ඒමට නියමිතව තිබුණත්, එදින රාත්‍රියේ 12 ට කොටුව බස් නැවතුම් පොළෙන් ත්‍රි’මලය බලා පිටත් වන රාත්‍රි බස් රථයෙන් ඔහුට ත්‍රි’මලයට ඒමට උපදෙස් දුන්නෙමි. 


ත්‍රි’මලය වරායේ තිබූ FGB යාත්‍රාවල අණදෙන නිලධාරීන්ට සහ FAC යාත්‍රාවල අණභාර නිලධාරීන්ට විශේෂ මෙහෙයුමක් සඳහා කෙටි දැනුම්දීමකින් පිටත්වීමට තම යාත්‍රා සූදානම් තත්ත්වයේ තබාගැනීමටද එවේලේම උපදෙස් දුන්නෙමි. 
එදින රාත්‍රියේ 11.59 ට නාවික හමුදා මූලස්ථානයෙන්ද එම නෞකාවන් පිළිබඳව තොරතුරු රහස්‍ය සංඥාවක් මගින් ලැබුණි. එයට අනුව 13 වැනිදා අලුයම් කාලයේදී ත්‍රි’මලය වරායේ සිට මුහුදු සැතපුම් 180 ක් (කි.මී. 360) පමණ දුරින් ඊශාන දිශාවේ ප්‍රදේශයකට සැක කටයුතු නෞකා දෙකක් එන බව සඳහන් වී තිබුණි. 
බ්‍රිගේඩියර් හෙන්ද්‍රවිතාරණගෙන් සීල් කරන ලද ලිපිය ලබාගත් නිලධාරියා 12 වැනිදා උදේ 7 වන විට මා හට එම ලිපිය ලබා දුන්නේය. එම ලිපියෙහි අඩංගු වූයේ අවි ආයුධ රැගෙන පැමිණීමට නියමිත නෞකාව එම නෞකාවට වඩා තරමක් කුඩා යාත්‍රාවක්ද ඇදගෙන එන ඡායාරූපයකි. ඊට අමතරව එම නෞකාව පැමිණීමට නියමිත ප්‍රදේශයේ විස්තරද විය. මෙම තොරතුරු ඉතාමත් වැදගත් සහ විශ්වාසනීය තොරතුරක් බව මට මනාව පැහැදිලි විය. 


12 වැනිදා උදේ 8 වන විට මගේ කාර්යාලයේදී මීට පෙර අවස්ථාවලදී මෙන්ම මෙවරද මාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සමඟ මූලික සාකච්ඡාවක් පවත්වා මෙම කාර්යයට තෝරාගන්නා ලද යාත්‍රා සහ නෞකාවල අණදෙන නිලධාරින් සහ අංශභාර නිලධාරීන් ගෙන්වා මගේ නිලධාරීන් සමඟ සකස් කරන ලද සැලැස්ම ඔවුන් සමඟද සාකච්ඡා කළෙමි. 
‘‘අපි මේක SLMM එකට නොකියා කරමුද? මම අනෙක් නිලධාරීන්ගෙන් ඇසුවෙමි. 
සියල්ලෝම මාගේ අදහසට එකඟ වූහ.
සටන් විරාම නිරීක්‍ෂකයන් අපට මහත් හිසදරයක් වී තිබුණි. ඔවුන් නිසා අපගේ මෙහෙයුම් කටයුතුවලට මහත් බාධා ඇතිවිය. එය නාවික හමුදාවේ සියලු දෙනාගේ මානසික මට්ටම පහත දමන හේතුවක් වූයේ ය. මේ තත්ත්වය මගහැර ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කරන්නට නාවික හමුදාවට සිදු විය. ඉතා කෙටි දැනුම් දීමකින් නිරීක්‍ෂකයන් හට නෞකාව වෙත ඒමට සලස්වා ඔවුන් ප්‍රමාද වන විට මගහැර යන්නට අපි පුරුදු වීමු.

 

එසේම ව්‍යාජ මෙහෙයුම්වලට සහභාගී කරමින් ඔවුහු අධෛර්යට පත්ව නවික හමුදා යාත්‍රාවල යෑම නොයෙකුත් හේතුන් කියමින් මගහැරීමට පටන් ගැනුණි. මෙය අපගේ දැඩි සන්තෝෂයට හේතු විය. ඔවුන් නොපැමිණි විගස ඒ පිළිබඳව සංඥාවකින් නාවික හමුදා මූලස්ථානයට දන්වා ඔවුන් නොමැතිව අපේ යාත්‍රා ගමන් ඇරඹූ අවස්ථා බොහෝය. අපි අපේ ඉලක්ක ලුහුබැඳ යන්නට වීමු. 
‘‘මේ සැරෙත් ඉන්ට් (Intelligence) එක හොඳටම රිලයබල්. (මෙවරත් බුද්ධි තොරතුරු ඉතා විශ්වසනීයයි) ඒ නිසා මේක තව හොඳ අවස්ථාවක්. හරියට සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. ප්‍රශ්න මුකුත් තියෙනවාද? එම සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීන්ගෙන් මම විමසුවෙමි. 
‘‘සර්, නැව හොයාගත්තොත් ගිය සැරේ වගෙමද වැඩේ?’’ කොමාන්ඩර් ගුරුගේ ඇසුවේ ඉමහත් උද්යෝගයෙනි.


‘‘ඔව්. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.’ මම සිනහමුසුව පැවසුවෙමි. සියල්ලන්ගේම තිබෙන උද්යෝගය ඔවුන්ගේ මුහුණුවලින් ඉතා පැහැදිලිය. 
‘‘විෂ් යු ඕල් ගුඩ් ලක් ඇන්ඩ් ගුඩ් හන්ටින්’’ (ඔබ සැමට වාසනාවත් හොඳ දඩයමකුත් ප්‍රාර්ථනා කරනවා.)


‘‘තැන්ක් යූ සර්’’ ඉන් අනතුරුව 12 වැනි දින දහවල් 12 ට පමණ නැව් කණ්ඩායම් 3 ම පිටත් කර යවන ලදී. ‘‘වරුණ කිරණ’’ මෙහෙයුමට සම්බන්ධවීමට කොළඹ සිට මුලතිව් ප්‍රදේශයට යාත්‍රා කරමින් තිබූ නන්දිමිත්‍ර නෞකාව ඒ අවස්ථාව වන විට නැගෙනහිර නාවික ප්‍රදේශයට අයත් මුහුදු සීමාවට අවතීර්ණ වී සිටිය නිසා එම නෞකාවද මෙම මෙහෙයුමට භාවිත කිරීමට නාවික හමුදා මූලස්ථානයෙන් මම අවසර ලබා ගතිමි. මෙම මෙහෙයුම සඳහා යන යාත්‍රාවලින් විශාලතම යාත්‍රාව ‘‘නන්දිමිත්‍ර’’ විය. එහි අණදෙන නිලධාරී කපිතාන් කුලරත්න එම කණ්ඩායම් අතර සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විය. ඔහුට එදින දහවල් 2 ට පමණ ත්‍රි’මලය වරායේ සිට ඊශාන දෙසට මු.සැ. 40 (කි.මී. 80) ක දුරින්, ත්‍රි’මලයෙන් පිටත් වූ නැව් කණ්ඩායමේ සිටි ‘‘ප්‍රතාප’’ FGB යාත්‍රාව සමඟ හමු වී මා විසින් එවන ලද මෙහෙයුම කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් සහිත ලියුම් කවරය ලබාගන්නා ලෙසද ඔහුට සංඥාවක් මාර්ගයෙන් දන්වන ලදී. 


එම ලියුම් කවරයේ තිබුණු උපදෙස් අතර යාත්‍රා කණ්ඩායම් තුනේම නායකයා ලෙස ඔහුට කටයුතු කරන ලෙසත් දැන්වීය. උපදෙස් සමඟ සැක කටයුතු නැව් දෙකේ ඡායාරූපද එහි ඇතුළත් විය. ජුනි 13 වැනි දින උදේ හතට පමණ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් කුලරත්න මට චන්ද්‍රිකා දුරකථනයෙන් අමතා, ‘‘සර්, අපි අදාළ ස්ථානයට අද පාන්දර 3 වෙනකොට ආවා. නමුත් සැක කටයුතු නැව පිළිබඳව කිසිම හෝඩුවාවක් නැහැ.’’

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි