තැපැල් ඡන්දයේ පළමු දිනය වූ ජනවාරි 23 වැනිදාට පෙර දින රජයේ ඉහළම නිලධාරියකු තම මෝටර් රථයෙන් නිවස බලා යන අතරතුර අමාත්‍ය ආරක්ෂක අංශයෙන් තමන් වෙත අනුයුක්තව සිටි ආරක්ෂක නිලධාරියෙකු හා සංවාදයේ යෙදුණේය.


එම ආරක්ෂක නිලධාරියා මෙසේ කීය.


“පොලිසියේ කට්ටිය ජනාධිපතිතුමාට ඡන්දය දෙන්නේ නෑ සර්. මෝටර් බයික් නෙමෙයි හෙලිකොප්ටර් දුන්නත් උන්ගේ ඡන්දේ මේ පාර ගන්න බෑ. උන්ගේ තත්ත්වය ගෞරවය නැති කළානෙ මහින්ද මහත්තයා,” මෙම පොලිස් නිලධාරියා මෙසේ කියූ කල ඉහත ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ ඊළඟ ප්‍රශ්නය වූයේ එතකොට හමුදාවල කට්ටිය කාටද ඡන්දේ දෙන්නේ? ප්‍රතිචාරය ඉතා ඉක්මන්ය. “උන්ට නැව් දුන්නත් ජනාධිපතිතුමාට ඡන්දේ දෙන්නේ නෑ” යනුවෙන් පැවසීය. ඉහත පොලිස් නිලධාරියාගේ පුරෝකථනය නිවැරදිය. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ වැඩිම සාමාජිකයන් පිරිසක් නියෝජනය කරන දිස්ත්‍රික්ක දෙක වශයෙන් සැලකෙන කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක දෙකෙහිදීම තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වී තිබිණි. මේ අතර යුද හමුදාපති දයා රත්නායක මහතා ප්‍රධාන හමුදා කඳවුරුවල සංචාරය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය භාවිත කළ යුත්තේ ඇයි යනුවෙන් දේශන මාලාවක් පැවැත්වීය. එහෙත් තැපැල් ඡන්ද දිනයේ පෙරවරුවේ ඒ ඒ හමුදා අනුඛණ්ඩ ප්‍රධානීන් තමන් යටතේ සිටින සෙබළුන් අමතා කියා සිටියේ තමන්ගේ වටිනා ඡන්දය පිළිබඳව තමන්ම ස්වාධීනව සිතා බලා සිතැඟි පරිදි ඡන්දය භාවිත කිරීම වඩාත් උචිත බවය. 


මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රචාරක ක්‍රියාවලියේ දී නිතර කියැවුණු වචන කිහිපය අතර රණවිරුවා, යුද ජයග්‍රහණ, ඩයස්පෝරාව, මව්බිම, බටහිර කුමන්ත්‍රණ වැනි වචන විය. විශේෂයෙන්ම විමල් වීරවංශ මහතා ජනප්‍රිය ධාරාවේ යමින් මහින්ද ජනාධිපතිතුමාගේ වේදිකාවේ සිට ඉපැරණි සාහිත්‍ය ග්‍රන්ථයක් වන අමාවතුර හි එන ගහපති දමනයෙහි එහි උපාලි ගෘහපතියා ඇසූ ප්‍රශ්න සිහිගන්වන ආකාරයෙන් පොදු අපේක්ෂකයා වෙත නිතර ඉදිරිපත් කළ ප්‍රශ්න අතර උතුරේ හමුදා ආපසු කැඳවනවාද? උතුරට ඉඩම් පොලිස් බලතල ආපසු ලබාදෙනවාද? වැනි ප්‍රශ්න ද විය. මේවා හුදෙක් සිංහල බෞද්ධ ජනතාව තුළ ජාතිවාදී සිතිවිලි කුළු ගැන්වීමට පමණක් සමත් හුදු වචන මාත්‍ර වූ අතර ඒ තුළ දමිළ හා මුස්ලිම් ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පලා යන වේගය ඔවුහු තක්සේරු නොකළහ. සිංහල බෞද්ධ අන්තවාදී හැඟීම් කුළුගන්වමින් වේදිකාවේ දස්කම් පාමින් විමල් වීරවංශ මහතා කථා කරමින් මහින්ද රාජපක්ෂ මහතාට 2005 දී ද ඔහු ඡන්ද එකතු කළ බව සැබෑවකි. එහෙත් 2005 ජනාධිපතිවරණයේ දී පවා විමල් වීරවංශ මහතාගේ කථා ශෛලිය නිසාම මහින්ද රාජපක්ෂ මහතාට අහිමි වූ ඡන්ද ප්‍රමාණයක් ද තිබෙන බව කිව යුතුය. උදාහරණයක් ලෙස 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස රට පුරා හෙළිකොප්ටරයෙන් ගමන් ගත් අතර ඊට විමල් වීරවංශ මහතා ද එක් විය. එකල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කථික හැකියාව ඉතා දුර්වල මට්ටමක පැවතීම නිසා දෝ ජනාධිපති අපේක්ෂකයා කතා කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා කථා කිරිම සිදු විය. 


මේ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ජන රැළියක් 2005 නොවැම්බර් මුල සතියේ කළුතර නගර සභා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. 


එහිදී වේගවත් කථාවක නිරත වූ විමල් වීරවංශ මහතා කියා සිටියේ රටට මව් බිමට හිතැති ජාති මාමක මිනිස්සු රනිල් වික්‍රමසිංහ පිළිකුල් කරන්නේ හරියට මරන්න ගෙනියන මස් මරන්නාගේ ලේ ගඳ දැනී පැන යාමට දඟලන හරකුන් ආකාරයෙන් යැයි පැවසීය. වීරවංශ මහතා එසේ කියන විටත් එම නගර සභා පිටියේ සිටි ජනතාව අතරින් දෙතුන් දාහක් සිටියේ කළුතර වෙට්ටුමකඬේ හා බේරුවල ප්‍රදේශවලින් පැමිණි මුස්ලිම් ජනතාව වූ අතර එම රැස්වීම සංවිධානය කර තිබුණේ රෝහිත අබේගුණවර්ධන මහතාය. මේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවසන් වශයෙන් පරාජයේ මුවවිටට රැගෙන ගිය බොදුබල සේනා සංවිධානය මහනුවර දී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීය. එහිදී කථා කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ “අඩුපාඩු වැරදි තිබුණත් රට බේරා ගත් නායකයා එළවා නොදැමිය යුතුයි” යනුවෙන් පැවසීය. 


ගලගොඩඅත්තේ හිමියන්ගේ බොදු බල සේනාවට අයත් මෙත් සෙවණ නම් පුහුණු මධ්‍යස්ථානයක් යැයි සඳහන් ගොඩනැගිල්ලක් 2013 මාර්තු මස 9 වැනිදා හබරාදුව, පිලාන ප්‍රදේශයේ විවෘත වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙනි. වෙනත් අයකු සතු පෞද්ගලික දේපළක් වූ එය පසුව නීත්‍යානුකූලව අදාළ අයිතිකරුට ද හිමි විය. කෙසේ වෙතත් එදින පටන් ගොනු පසු පස යන රිය සක සේ බොදු බල සේනාව ගෝඨාභය රාජපක්ෂ මහතාට වැටුණු උරචක්‍රමාලයක් බඳු විය. එහි කූට ප්‍රාප්තිය 2014 මැයි මාසයේ ධර්ගා නගරයේ සිදු වූ සිදුවීම ලෙසද අර්ථ දැක්විය හැක. ඒ අතරතුර පැපිලියාන පැෂන් බග් සිදුවීම හා ඊට එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිවෙනක තරුණ නායක හිමි නමකට තිබූ සබඳතාව ද අවසන් වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙන් මුස්ලිම් ජනතාව පලවා හැරීමට තරම් ප්‍රබල විය. 


ආණ්ඩුවේ මුස්ලිම් විරෝධයට සමපාත ලෙස මුස්ලිම් ජනතාවගේ ආණ්ඩු විරෝධය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන විටත් උපරිම තලයකට පැමිණ තිබුණි. එවැනි සන්දර්භයක දෙසැම්බර් 22 වැනිදා ආණ්ඩුවේ විශ්වසනීයම මුස්ලිම් බලවේගය වූ රිෂාද් බදියුදීන් ද ඉවත්වීමෙන් පසුව මුස්ලිම් කොංග්‍රසය තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම නිෂ්ඵල ක්‍රියාවකි. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය පොදු අපේක්ෂකයාට එක්වීම දිනය, වේලාව හා තැන කුමක් ද යන ප්‍රශ්නයට පමණක් ලඝු වී තිබුණ අතර අවසානයේ දී එම දිනය උදා වූයේ දෙසැම්බර් 28 වැනිදාය. මුස්ලිම් කොංග්‍රසයත් සමග එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8 දෙනකු පළාත් සභා මන්ත්‍රිවරු 13 ක් හා පළාත් පාලන නියෝජිතයන් 163 ක් පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වූහ. 


දෙසැම්බර් 24 වැනිදා විමල් වීරවංශ මහතාගේ පක්ෂයට අනුබද්ධ වෛද්‍ය වසන්ත බණ්ඩාර නායකත්වය දෙන ජාතික සංවිධාන එකමුතුව “රනිල් මෛත්‍රී රට බෙදන හොර ගිවිසුම හෙළා දකිමු” යන සටන් පාඨය යටතේ සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයකට පැමිණියහ. මේ වන විට සිරිකොත තුළ මෙම උද්ඝෝෂණයට මුහුණ දීමට විශාල පිරිසක් සූදානමින් සිටියහ. උද්ඝෝෂකයන් සිරිකොතට ගල් ගැසීමට උත්සාහ කිරීමත් සමගම සංවිධානාත්මකව සිරිකොත තුළ සිටි පිරිස ඉදිරියට පැමිණ එම උද්ඝෝෂකයන්ට පහර පිට පහර දෙන ලදි. අවසානයේ කැරලි මර්දන පොලිසිය එම ස්ථානයට පැමිණිය ද මෙම ගැටුම පැය 2 ක් පුරා පැවතිනි. 


දෙසැම්බර් මස තුන්වැනි සතිය ආරම්භයේදී අධික වැසි ප්‍රමාණයක් රටේ බොහෝ ප්‍රදේශයන්ට පතිත විය. එම දැඩි වර්ෂාව අවසානයේ උද්ගත වූ ගංවතුර තත්ත්වය දිස්ත්‍රික්ක 11 කට බලපෑ අතර පවුල් 309,685 කට අයත් ලක්ෂ 12 කට ආසන්න පිරිසක් ඉන් පීඩාවට පත් විය. අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර හා මඩකළපුව දැඩි ලෙස ගංවතුර තර්ජනයට ලක් වූ අතර වගා කළ බිම් හෙක්ටයාර 45,000 ක් පමණ ඉන් විනාශ විය. අධික වර්ෂාපතනයත් සමග බදුල්ල දිස්ත්‍රික්කය දරුණු නාය යෑමේ තර්ජනයකට ලක් වූ අතර පුද්ගල මරණ 32 ක් වාර්තා විය. රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය මත අවතැන් වු ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය ද හදිසියේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ප්‍රධාන අංගයක් බවට පත් විය.


ජනාධිපතිතුමා, මේ වන විට පෙළ ගස්වා තිබූ මැතිවරණ රැළි ගණනාවක්ම අවලංගු කරමින් ගංවතුර තර්ජනයට ලක් වූ ප්‍රදේශ වල සංචාරය කරමින් කුඩා දරුවන්ට නත්තල් පප්පා සිහි ගන්වන ආකාරයෙන් අවතැන් ජනතාවට ආධාර බෙදන්නට විය. ඒ සමගම මැතිවරණ යම් කලකට කල් දමන බවට ද කට කතා පැතිර ගියද එය එසේ නොවීය. හැකි ප්‍රධානතම හේතුව වූයේ ජනවාරි 13 වැනිදාට යෙදුණු පාප් තුමාගේ සංචාරයයි. මන්දයත් සාමාන්‍යයෙන් යම් රටක ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාල වකවානුවක පාප්තුමා නිල සංචාරයක නිරත නොවීමේ සම්ප්‍රදායක් ඇත. 


ඒ කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා ගංවතුරෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් මහනුවරට කැඳවා ජනවාරි 8 නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්විය හැකි ද යන්න පිළිබඳ හදිසි සාකච්ඡාවක් පැවැත්වීය. එහි ප්‍රතිඵලයක් ලෙස එම දිස්ත්‍රික්කවල මැතිවරණයට අදාළව උද්ගත වී ඇති බාධක හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමට අදාළ තීරණ කිහිපයක්ම ගනු ලැබීය. ඒ අතරින් ඡන්ද කාඞ් බෙදීමේ කාර්යය නොපමාව ඉටු කිරීමට අදාළ තීරණ ගණනාවක්ම ගනු ලැබු අතර ඊට තැපැල්පතිගේ පූර්ණ සහයෝගය ලැබුණි. මේ අතර ගංවතුරෙන් වැඩිම හානියට පත් මඩකළපුව හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඡන්ද කාඞ් බෙදීම අඩාළ කිරීමට අදාළ වැඩ සටහනකට ආණ්ඩුවේ ඇති කැමැත්ත පිළිබඳ පණිවුඩය මැතිවරණ මහ ලේකම් කාර්යාලය දක්වා පැමිණියේය. එමගින් කියැවුණේ ගංවතුර හේතුවක් වශයෙන් දක්වමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වඩාත්ම අවාසිදායක මඩකළපුව හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඡන්ද කාඞ් බෙදීම අඩාළ කරන ලෙසයි. එමගින් ඡන්දය දිනයේ මෙම දිස්ත්‍රික්ක දෙකෙහි ඡන්දය ප්‍රකාශවීම පහළ මට්ටමක තබා ගැනීම ඒ වන විට ආණ්ඩුවේ අවශ්‍යතාව විය. සැබවින්ම ආණ්ඩුවේ ගණන් සෑදීම එහිදී සාධාරණය. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව පොළාන්නරුව දිස්ත්‍රික්කයෙන් මෛත්‍රී ජනාධිපතිතුමා සියයට 57.8 ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී එය මඩකළපුවේදී සියයට 81.6 කි. 


මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය පළ කළ ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානය මගින් කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. ඊට රෝහණ සිරිවර්ධන, සිරිල් වික්‍රමගේ, නීලා වික්‍රමසිංහ, ඩග්ලස් සිරිවර්ධන සමග මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ. මහාචාර්ය කාලෝ මෙසේ කීය. 


“මෛත්‍රී කටයුතු කරන්නේ ස්වදේශිකත්වය මවාගෙනයි. එහෙත් මහින්ද ස්වදේශිකත්වය රැක ගත් කෙනෙක් යැයි පැවසීය. දරුවකුට මෙන් මට සලකන මහාචාර්ය කාලෝ ෆොන්සේකා ජනාධිපතිවරණය ආශ්‍රිතව කටයුතු කළ ආකාරය පිළිබඳ දැඩි කලකිරීමක් සිත තුළ ඇති විය. මීට පෙර සඳහන් කළ සිරස නාළිකාවේ සටන වැඩසටහන් තුළ ගාමිණී වියන්ගොඩ බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත මහාචාර්ය කාලෝ සිංහලයට පරිවර්තනය කළ කවිය පිළිබඳ මහාචාර්ය තුමාට දැන් වූ මම සර් ඔබව ආණ්ඩුව කඬේ යවනව වගේ මට හිතෙනවා. ඔබ තුමා හොඳටම විකිණෙනවා. තවදුරටත් මගේ විග්‍රහය ඉදිරිපත් කරමින් චන්ද්‍රිකා මැඩම්ට එරෙහිව රාජපක්ෂවරු සර්ව යූස් කරන බවද පවසන විට එතුමාට හොඳටම කේන්ති ගියේය. ජීවිතයේ පළමු වරට එතුමා මට තරමක් බැණ වැදුණේය. සැබැවින්ම එතුමාගේ වයස හා බොහෝ දේ සලකා බලා චන්ද්‍රිකා මැඩම්ගේ දේශපාලනයට එරෙහිව නොයමින් මහත්මා මහාචාර්යතුමකු ලෙස සියල්ල ඉවසා බලා සිටියේ නම් එතුමාගේ ගුණ සුවඳ ඊටත් වඩා දසත විසිරෙනු ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරණය මෛත්‍රී ජනාධිපතිතුමා ජය ගැනීමෙන් පසු මහාචාර්ය තුමා දරමින් සිටි වෛද්‍ය මණ්ඩලයේ සභාපති ධුරය එතුමාට අහිමි වන ලකුණු පහළ විය. ඒ අනුව ජනවාරි 15 වැනිදා මම ඊට මැදිහත් වූ අතර මෛත්‍රී ජනාධිපතිතුමා අදාළ තනතුරෙහි මහාචාර්යවරයා එලෙසම තැබීමට අවශ්‍ය පියවර ගත්තේය.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්