‘භීෂණ කාලෙ’ කිව්වම බොහෝ දෙනකුට මතක් වෙන්නේ 77-89 කාල පරාසයයි. රාජ්‍ය බලය ජවිපෙ මර්දනය වගේම කොටි ත්‍රස්තවාදයත් ජයටම රටපුරා ව්‍යාප්ත වුණා. 1990 දශකය වෙනකොට ප්‍රභූන් ඝාතනය වඩවඩාත් උත්සන්න වුණා.


කොටින්ට ඕනැ කරලා තිබුණෙ දකුණෙන් මහ ආණ්ඩුව පාලනය කරන ප්‍රදේශවලට රිංගලා ප්‍රාදේශීය සිංහල නායකයන් මරලා බලය අත්පත් කර ගන්න. මේ සඳහා කොටින්ට උදව් කළේ මුදල් හා වරදානවලට ගිජුවුණු අවස්ථාවාදී සිංහලයෝමයි. 


හිටපු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා තමාට මෙන්ම ප්‍රාදේශීය නායකයන්ට එදා එල්ල වූ මරණ වරෙන්තු ගැන එසේ හෙළි කළේය. ආණමඩුවේ ද. මු. දසනායකයන්ගේ ඝාතනය සැලසුම් කළ මිනීමැරුමක් නොව තමන්ට එල්ල කළ බෝම්බයේ ඉලක්කය වැරදීමක් ලෙස ඔහු අර්ථ දක්වයි. එක්තරා ප්‍රාදේශීය දේශපාලනඥයකු හා අපරාධකරුවන් පිරිසක් කොටි ත්‍රස්තවාදීන් සමග තමාට ඇටවූ උගුලක ගොදුර වූයේ ද. මු. දසනායක මන්ත්‍රීවරයාය. 


1994 ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවන් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා ගාමිණි දිසානායක මහතාය. මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්වී සිටි රාජාලියා පක්ෂයේ ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර ආදීහු යළි එජා පක්ෂය තුළට අවතීර්ණව සිටි අතර ජනපතිවරණයේ එජාප අපේක්ෂකයා ලෙස ගාමිණී ඉදිරිපත් කර තිබිණි. 


1994 ජනපතිවරණ රැස්වීම් මාලාවේ අවසන් රැස්වීම පැවතියේ තොටලඟ ය. ඒ 1994 ඔක්තෝබර් 23 වැනිදා මූසල හැන්දෑවේය. රුදුරු කොටින් ඇටවූ අධිබලැති බෝම්බයට අසුවී ගාමිණි දිසානායක, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර, ඔසී අබේගුණසේකර, ක්‍රිස්ටි පෙරේරා, ගාමිණි විජේසේකර ආදී දේශපාලන නායකයන් ඇතුළු 42ක් ඝාතනය වූ අතර 70ක් බරපතළ තුවාල ලැබූහ.


එලෙසින්ම 1999 ජනපතිවරණය වෙනුවෙන් කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති පොදුජන පෙරමුණේ අවසන් රැලියේදී අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එල්ල කර ඇටවූ අධිබලැති බෝම්බය නිසා ඝාතන රැසක් සිදුවූ අතර චන්ද්‍රිකාගේ ඇසට බරපතළ තුවාල සිදුවිය. 


2000 ජනපතිවරණයේ රැස්වීම් පැවැත්වීම සඳහා වූ අවසන් දිනය වූයේ ඊට දෙදිනකට පෙරය. එදින මැදියම් රැයෙන් පසු ඡන්ද රැස්වීම් පැවැත්වීම නීතියෙන් තහනම් වූ නිසා නියමිත මොහොතට පෙර රැස්වීම අවසන් කර ගැනීමේ අදිටනින් දෙපිරිසම ලහි ලහියේ කටයුතු කළහ. 


අපි කවුරුත් හිටියේ ඉතාම කලබලකාරී වාතාවරණයක. පොදු පෙරමුණේ අවසාන රැස්වීම කොළඹ නගර සභා පිට්ටනියෙ ආරම්භ වුණා කියලා පණිවුඩ ආවා. මාත් මගේ හිතවතුන් ජනතාව දැනුම්වත් කරන්න අපේ ඡන්ද ආසනයේ රාගම ස්ටේෂම අසල රැස්වීමක් සංවිධානය කළා. 


එක්සත් ජාතික පක්ෂයේ ජා-ඇල ආසනයේ අවසාන රැස්වීම තිබුණෙ ජා-ඇල, ලුර්දු ක්‍රීඩාංගනයේදීයි. ඒක පිහිටියේ ජා-ඇළ නගරය මැදයි. 


අපේ රැස්වීම අතරමැදදී දුරකථන ඇමතුමක් ආවා එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමේ බෝම්බ පුපුරලා කියලා. වහාම අපේ රැස්වීම නවත්තලා අපි එන්න සූදානම් වුණා. ඒත් ගෙදරින් කිව්වා ගෙදරට එන්න එපාය කියලා.


අනේ පින් සිද්ධවෙයි ඔයා ගෙදරනම් එන්න එපා. ගේ වට කරගෙන මිනිස්සු කෑගහනවා. 


ෆීලික්ස්ගේ බිරිය හඬා වැටෙනු ගෙදර දුරකථනයෙන් ඇසිණි. ඔහු විමතියට පත්විය. 


ඒ ඇයි මං මොකටද බය වෙන්නේ. ඔහු ඇසීය. 


එයාල හිතන්නෙ ඔයා තමයි බෝම්බෙ තියන්න උදව් වුණේ කියලා. 


ෆීලික්ස් අන්දුන් කුන්දුන් විය. ජාඇළ රැස්වීමේ බෝම්බ පිපිරීම ගැන තමාට චෝදනා එල්ල කිරීම ගැන ඔහුට වූයේ සැකයකි. මෙම කටකතාව පිටුපස තමාට එරෙහි බලවේගයක් ඇති බව ඔහුට වැටහිණි. 


එජාප රැලිය ඇමතීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු පැමිණ සිටි අතර ජෝශප් මයිකල් පෙරේරා හා ජයලත් ජයවර්ධන යන මන්ත්‍රීවරු ද ඒ අතර වූහ. මේජර් ජනරාල් ලකී අල්ගම ඇතුළු රණවිරුවෝ රැසක් ද එහි සිට ඇත. 


හදිසියේ පිපිරූ අධිබලැති බෝම්බය නිසා මේජර් ජනරාල් ලකි අල්ගම ඇතුළු රැසක් ඝාතනයට ලක්වූහ. පිටිය එකම යුද පිටියක් වී තිබිණි. රාත්‍රි විදුලි පහන් එළියෙන් දිස්වූයේ තැන තැන වැතිර තිබූ සිරුරු සහ වේදිකාවේ සුන්බුන් පමණකි. 


එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් මෙන්ම සාමාන්‍ය ජනතාවද බරපතළ තුවාල ලැබ සිටියහ. ආරක්ෂක අංශවල භටයන් ක්‍රියාශීලිව එහෙ මෙහෙ දිවයනු පෙනිණ. ෆීලික්ස් පෙරේරාගේ ජීවිතය වඩාත් අවදානම් තත්ත්වයේ පවතින බවට ආරංචි දසතින් ඇසෙන්නට විය. 


මේ අතර ජා-ඇල තුඩැල්ලේ පිහිටි ඒ මහතාගේ නිවස පන්දහසක් පමණ පිරිසක් විසින් වටලා ඇති බව ආරංචි විය. ඒ අතර සාමාන්‍ය ජනතාවද අතට අසුවූ ආයුධ ගත් මැරයෝද ආරක්ෂක හමුදා නිලධාරීහුද වූහ. 


‘සර් දැන් මොකද කරන්නේ තත්ත්වෙ භයානකයි. 


අපි කොහෝ හරි ඉඳල උදේම පොලිසියට යමු. නොයෙක් යෝජනා ඔහු වෙත කෙරිණ. එහෙත් මේ සියල්ලම ඔහු ප්‍රතික්ෂේප කළේ තමන් වරදක් නොකළ බව හෘද සාක්ෂිය දන්නා හෙයිනි. 


මට ලැබුණ ආරංචි අනුව හිතාගන්න පුළුවන් මේ බොරු ආරංචි පැතිරෙව්වේ කවුද කියලා. ආරක්ෂක ඇමැතිතුමාගේ කීමට මං ලවා මේ වැඬේ කරවන්න ඇති කියලයි මිනිස්සු හිතල තියෙන්නේ. 


එවකට විදුලිබල බලශක්ති අමාත්‍ය තනතුරු මෙන්ම රාජ්‍යාරක්ෂක අමාත්‍ය ධුරය දැරුවේ ජනරාල් අනුරුද්ධ රත්වත්තේ විසිනි. ෆිලික්ස් පෙරේරා ඔහුගේ නියෝජ්‍ය ඇමැති ධුරය දැරුවේය. විරුද්ධවාදීන් ප්‍රචාරය කර ඇත්තේ අමාත්‍යවරයාගේ කීමට ජා-ඇල බෝම්බය ඔහු අටවා ඇති බවකි. 


ෆිලික්ස් පෙරේරා සමග වෛරයෙන් සිටි පළාත් සභා මන්ත්‍රීවරයා සහ පිරිසක් විසින් මෙම කටකතා පතුරුවා ඔහුගේ ප්‍රතිරූපය බිඳ දැමීමට උත්සාහ කර ඇති බව හෙළිවිය. 
මට හැංගෙන්න බෑ. මං කොහොම හරි ගෙදර යන්න ඕනෑ ෆිලික්ස් පෙරේරා හිතවතුන්ට කීය. සුපුරුදු ලෙස අතුරු පාරවල්වලින් රහසේ නිවසේ පසු දොරකඩ ළඟට සේන්දු වූ අමාත්‍යවරයා බිරිඳ සනහාලමින් සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත් විය. 


ඇත්තෙන්ම මා දුටුවේ කෝපයෙන්  ගිනිගෙන දැවෙන මිනිසුන් රැසක්.

 

නොයෙක් දරුණු වදන්වලින් මට බැණ වදිමින් ආයුධ පෙන්වමින් ඔවුන් ඉල්ලා සිටියේ තනිකරම මාවයි. මා ගෙදර නැහැයි කී විට ගෙය කුඩු පට්ටම් කර ගිනි තැබීමට සූදානම් වුණා. මේ අතර හමුදා නිලධාරීන් පවා සිටින්න ඇති. 


ආරක්ෂක ජංගම දුරකථන පණිවුඩ හුවමාරු වන අයුරු ද ඇසෙන්නට විය. මොහොතකින් සිදුවන ඉරණමකට මුහුණ දීමට සූදානම්වී දෙවියන් වහන්සේට තම ජීවිතය භාර කළ නිවැසියෝ නිහඬ වූහ. 


හිටිහැටියේම එළියේ කලබලය මඳක් අඩුවනු අසන්නට ලැබිණි. ඒ වෙනුවට දුරකථනවලට පිළිතුරු දෙනුද මුණු මුණු ගාන හඬද ඇසිණ. පුදුමයකි! මෙතෙක් යුද පිටියක්වී තිබූ ගෙවත්තෙන් පිරිස පිටව යනු දැනිණි. 


දෙවියෝ අපේ දිහා බැලුවා වගේ. ඒ ගමන කවුරුත් පේන්න නෑ. අමාත්‍යවරයාගේ හිතවත්හු කලඑළියට බැස්සහ. සිදුවූ දේ විමසීමට අමාත්‍ය ෆිලික්ස් ආරක්ෂක අංශ වෙත දුරකථනයෙන් ඇමතුමක් දුන්නේය. 


‘ඇයි ඇමැතිතුමා දන්නේ නැද්ද? චන්ද්‍රිකා මැඩම්ගේ කොළඹ නගර සභා රැස්වීමේ බෝම්බයක් පුපුරලානෙ. සෑහෙන ගාණක් මැරිලා. බර ගාණකට තුවාලයි. මැඩම්ගෙ ඇහැකටත් බෝම්බෙ කෑලි වැදිලා’ 


කොළඹ රැලියේ සිද්ධිය පිළිබඳ දිගට හරහට තොරතුරු ගලා ආවේය. ආරක්ෂක අංශ පවා මුලින් විශ්වාස කළේ ජා-ඇල ලුර්දු පිටියේ රැස්වීමේ බෝම්බ පිපිරුම මගේ වැඩක් කියලා. වාසනාවට නගර සභාවේ බෝම්බ පිපිරුමත් එවේලෙම සිද්ධ වුණු නිසා මේක එල්ටීටීඊය සැලසුම් කරපු බෝම්බ වැලක් කියලා කවුරුත් තේරුම් ගන්න ඇති. ඒ නිසා අපේ ජීවිතයත් දේපොළත් බේරුණා. 


90 දශකයේ සිදුවූ මෙම බිහිසුණු ක්‍රියා නිසා රටේ අනාගතය බබළවන්නට සිටි උදාර ජීවිත රැසක් දැයට අහිමි විය. 


‘මං මරණෙන් හත් අට වතාවක් බේරුණු කෙනෙක්. මේ පාරත් පෙර වාසනාවක් තිබිල වෙන්න ඇති පණ බේරුණේ. මං අදහන ආගම අනුව කියනවානම් මේක දේවාශිර්වාදයක්’ ෆිලික්ස් පෙරේරා මහතා පැවසීය.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි