ජනපති ආර්යාවන්ගේ පුරාණය - 02

 

 

උඩරට ප්‍රදේශය බි්‍රතාන්‍ය පාලනය යටතේ නොසලකා හරින ලද පෙදෙසක්ව පැවතුණි. 1818 සහ 1848 යනුවෙන් දෙවරක්ම උඩරටින් ජාතික නිදහස් අරගල නැගී ඒම නිසා බි්‍රතාන්‍යයන් තුළ උඩරට වැසියන් කෙරෙහි පැවතියේ දැඩි වෛරයකි. ඒ නිසා කොළඹ හෝ ඒ අවට පැවති දියුණුවේ ආලෝකය සුළු වශයෙන්වත් උඩරට ප්‍රදේශවල පැවතුණේ නැත. පිටිසරබද පෙදෙස්වල පැරණි රාජධානි සමාජ වටපිටාවම පැවතුණි. 


මෙවැනි සමාජ හා ආර්ථික පසුබිමක් පැවති උඩුනුවර පොල්ගහඅංග නමැති දුෂ්කර ගම්මානයක දී මුදියන්සේ විජේතුංග සහ පළිගු මැණිකේ මනම්පේරි යන දෙමාපියන්ට දාව 1916 පෙබරවාරි 15 වැනි දින උපත ලැබූ ඩිංගිරි බණ්ඩා විජේතුංග දරුවා එකල තිබුණු වාතාවරණයට අනුව ගමේ පාසලෙන් සහ පන්සලේ නායක හිමියන් වෙතින් මූලික අධ්‍යාපනය ලබා පසුව ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා ගම්පොළ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයට ඇතුළත් වූ බව කියනු ලැබේ. මෙහි ඉගෙනුමෙන් පසු එකල පැවති ඉංග්‍රීසි පාසල් හැරයාමේ විභාගයේ දී විජේතුංග සමස්ත ලංකාවෙන් පළමු තැන ලබා ගනිමින් සමත් විය. ඒ නිසාම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් හිමි කර ගැනීමටද ඔහු භාග්‍යවන්ත වූවේය. එම විද්‍යාලයෙන් ඉවත් වන කාලය වන විට ඒ යුගයේ දුෂ්කර ප්‍රදේශයක ජීවත්වන ශිෂ්‍යයෙකුට ලැබිය හැකි ඉහළම අධ්‍යාපනය ඩී. බී. විජේතුංගයෝ ලබා සිටියහ. ද්විත්ව සමත්වීම් කීපයක්ම ලබා තිබූ නිසා ඒ වනවිට ඔහු දහසයවන වියේ පසුවිය. වසර කීපයක් පියාගේ වගා කටයුතු ආදියට උදව් කරමින්ද සුළු රැකියාවල නියැලෙමින්ද ගත කළ ඔහු සමුපකාර පරීක්ෂකවරයෙකු ලෙස රජයේ රැකියාවක් ලබාගැනීමට සමත් විය. මේ රටේ විශාල දේශපාලන පිබිදීමක් මෙන්ම රටට නිදහස උදාවන පසුබිමක්ද පැවති මෙම වකවානුවේ උඩරට ප්‍රදේශයෙන් බිහි වූ කීර්තිමත් දේශපාලනඥයෙකු වූ ඒ. රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම් තනතුර මෙම දක්ෂ තරුණයාට හිමිවිය. 1947 දී වත්තේගම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පත් වූ රත්නායක මහතා නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගේ රජයේ ආහාර හා සමුපකාර ඇමති ධුරයට පත් වූවේය.


ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ඩී. බී. විජේතුංග මහතා ප්‍රථම වරට දේශපාලන කටයුතුවලටද සම්බන්ධ විය. එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන කටයුතුවලදී දුම්බර ජනතාවගේ ජීවන ප්‍රශ්න, යටිතල පහසුකම් දියුණු කිරීම ආදී කටයුතු පිළිබදව මනා දැනුමක් ලැබීමටත් කොළඹ අමාත්‍ය කාර්යාලයේදී ඇමතිවරයාට සහායවීමත් ඔහුට පැවරී තිබුණු රාජකාරි විය. තමා පදිංචිව සිටි උඩුනුවර පොල්ගහඅංග ගම්මානයේ සිට කොළඹ යාමට බස් රථයක් අල්ලා ගැනීමට නුවර පාරේ පිළිමතලාවට පැමිණීම අතිශය දුෂ්කර කාරියක්ව තිබුණි. සැතපුම් දොළහක් පමණ ගෙවාගෙන පිළිමතලාව හන්දියට පැමිණීමට නම් පෙර දින මධ්‍යම රාත්‍රියේ සිට සූදානම් වී පැමිණිය යුතු විය. මෙයට පිලිසරණවීමට විජේතුංගයන්ගේ පැරණි මිතුරෙක් ඉදිරිපත් වූවේය. ඒ ඔහු සමග සමුපකාර පරීක්ෂකවරයෙකු ලෙස එකට සේවය කළ මාරපන මහතාය. ඔහු යෝජනා කළේ පිළිමතලාව මංසන්ධියේ පිහිටි නිවසේ නැවතී සිට අවශ්‍ය රාජකාරි කරන ලෙසය. එය කාලෝචිත යෝජනාවක් විය.


එදා ඇමති ලේකම්වරුන්ට ලැබුණු වරප්‍රසාදයන් ගැන මේ අනුව අවබෝධයක් ඇති කර ගත හැකිවනු ඇත. ඇමති ලේකම්වරයා මාරපන මහතාගේ නිවසේ නේවාසිකවීම දෛවෝපගත සිදුවීමක් විය. එහිදී ඔහුට මාරපන මහතාගේ සොයුරිය වූ විමලා කුමාරිහාමි මාරපන මෙනවිය හඳුනාගන්නට ලැබුණි.  


ගමනාගමන පහසුව සලසා ගැනීම සඳහා පිළිමතලාවේ නවාතැන් ගත් ඩී. බී. විජේතුංග මහතා ස්ථිර ලෙසම එහි නවතින්නට කැමති බවක් ටිකින් ටික ප්‍රදර්ශනය වූවේය. උඩුනුවර මැණික්හින්නේ වලල ග්‍රාමයේ මුතුකුඩ වලව්වේ නිලමෙ තුමාගේ දෙටු දියණිය වූ විමලා කුමාරිහාමි සියලු අතින්ම ඩිංගිරි බණ්ඩා විජේතුංගයන්ට ගැළපෙන තරුණියක බව ඒ. රත්නායක ඇමතිතුමාද වටහාගෙන තිබුණි. පිළිමතලාව නිවසේදී නිතර දැකීමෙන් සහ කතාබහේ නිරතවීමෙන් වැඩී ගිය සෙනහසක් ඇතිව සිටි මෙම යුවළ 1954 වසරේදී අතිනත ගත්තේ රන් රස සේ ගැළපෙන ආදර බර යුවතිපතීන් ලෙසය. මෙම යුවළ විවාපත්වීමෙන් පසුව ස්ථිර ලෙසම පිළිමතලාවේ මාරපන නිවසේ පදිංචි වී සිටිමින් සිය කටයුතු දිගටම පවත්වාගෙන ගියහ. 


මෙසේ තමාගේම දේශපාලන ගමනක් සකස් වෙමින් සිටියදී 1965 මහා මැතිවරණයේදී උඩුනුවර එ.ජා.ප මන්ත්‍රීවරයා ලෙස තෝරා ගනු ලැබුවේ ජනතාව කෙරෙහි පැවති කරුණාව, දයාව, ඇහුන්කන් දීම මෙන්ම සමාජ සේවය යන යහගුණාංග පමණක්ම නොව සිය ඇඹණියගේ යහපත් ඇවතුම් - පැවතුම් සුහදශීලි බව ආදී මානුෂීය ගති සොබාද හේතුකොටගෙනය. දීර්ඝ කාලයක් වෙහෙස වී අමාරුවෙන් තැනකට නැග ගන්නා සැමියන්ගේ ප්‍රතිරූපය ඉතා පහසුවෙන් කෙටි කලක් තුළ විනාශ කර දමන දේශපාලන අඹුවන් ගැන අපි බොහෝ සෙයින් අසා ඇත්තෙමු. එහෙත් විජේතුංග ජනාධිපතිවරයාගේ (පසු කලෙක) ආර්යාව වූ විමලා කුමාරිහාමි එසේ ක්‍රියා නොකළාය. තාන්න මාන්න තවදුරටත් ලැබෙන විට තව තවත් නිහතමානි වූ ඇය නිරන්තරයෙන්ම සිය ස්වාමියාට ශක්තියක්ම වූවාය. 


එක් දහස් නවසිය හැත්තෑ හතේ මැතිවරණයේදී යළිත් උඩුනුවර ආසනය දිනා මැතිසබයට පැමිණි ඩී. බී. විජේතුංග මහතා වරින් වර එම රජයේ බලවත් අමාත්‍ය ධුර දැරුවේය. රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 1989 පෙබරවාරි ඡන්දයට ඉදිරිපත්වන ලෙස එතුමා විසින් කරන ලද ආරාධනය පිළිගෙන නැවතත් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග වැදී එම පක්ෂ අපේක්ෂක ලැයිස්තුවේ ප්‍රමුඛයා වශයෙන් මනාප ඡන්ද ලබා නැවතත් මැති සබයට පැමිණියේය. ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සලකා අග්‍රාමාත්‍ය පදවිය පිරිනැමුවේය. අතිශය විශ්වාසවන්ත සගයෙකු වූ එතුමා කිසිම දිනක ඉහළ තනතුරකට යාම පිණිස කුමන්ත්‍රණවලට සම්බන්ධ නොවූයේය. ප්‍රේමදාස ඝාතනයෙන් පසු ජනාධිපති තනතුරට පත් මෙතුමා මෙන්ම අවංක හා නිහතමානී ගතිගුණවලින් යුක්ත වූ සිය බිරිද වූ විමලා කුමාරිහාමි විජේතුංග මහත්මිය කිසි විටෙක ජනාධිපති නිවහනේ පදිංචියට නොපැමිණියා පමණක් නොව කිසිදු රාජ්‍ය සංචාරයකට සහභාගි නොවූවාය. ඔවුන්ගේ දියණිය වූ චිත්‍රාංගනී කුමාරි විජේතුංග මෙනවියද කිසිදු අවස්ථාවක දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළත්වීමට උනන්දුවක් නොදැක්වූවාය. ජනාධිපති ආර්යාවන් ගැන වූ මාතෘකාවට අදාළව ලියවෙන මෙම ලිපියේදී මෙම කුල කාන්තාවට පිදෙන ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ සිය සැමියාගේ අභිමානයට ගෞරවයක් වන ආකාරයට එතුමිය කටයුතු කළ බවයි.

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි