‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් කටයුතුවල යෙදී සිටිය දී අසුපිටින් වැටී දිවියෙන් සමුගත්තේය. ජාතියම කම්පා කළ මෙම සිද්ධිය නොවුණ නම් එතුමාගේ ආර්ථික දර්ශනය අනුව තවත් වසර කීපයකින් අපගේ දේශයේ සමෘද්ධිය සෞභාග්‍ය උදාවීමට බෙහෙවින්ම ඉඩකඩ තිබුණි.


අම්පාර – ගල්ඔය පෙදෙස්වල සැරිසරමින් ගොවිජනපද ව්‍යාපාර ඇරඹූ ඔහු උතුරු නැගෙනහිර පෙදෙස්වල සිංහල ගොවි බිම් බිහි කළේය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මීගමුව මන්ත්‍රීවරයා වශයෙන්ද, කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන්ද, අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද අනුපමේය සේවයක් කළ මෙම මහකළු සිංහලයා ඉඟිණියාගල සේනානායක සමුද්‍රය තනා මුලු මිටියාවතම ජය ගැනීමට සමත්විය. 1933 දී ඔහු විසින් ඉදිරිපත් කළ ඉඩම් පනත ඓතිහාසික පනතක් වන අතර ගොවි ජනපද ක්‍රමය ගම් පුළුල් කිරීමේ යෝජනා ක්‍රමය, සුළු හා මධ්‍යම පාංතිකයන්ට ඉඩම් ලබාදීම, ඉඩම් අහිමි ජනතාවට වතු පවරා ගෙන ඉඩම් බෙද‌ාදීම ආදී ප්‍රගතිශීලි ව්‍යාපෘති රැසක් එම ඉඩම් පනත යටතේ ඇති කිරීමට එතුමාට හැකි විය. උතුරු නැගෙනහිර ගොවිබිම් ඇති කිරීමේ දී දේශපාලන වශයෙන් ප්‍රායෝගික නොවූ න්‍යයයන් මත පදනම්ව දේශපාලනය කළ අය කීවේ ‘‘ඩී. ඇස්. ඔය මොනවද කරන්නෙ. උඩහ පළාත්වල ගොවිතැන් කරවන්න මිනිස්සු ගිහින් ද‌ාල ඔවුන් මහ වනාන්තරවල දුක් විඳිවන්නේ ඇයි? ඕවයි කපුටො තරම් මැලේරියා මදුරුවො ඉන්නවා’’ ආදී සරදම් හා ප්‍රකෝපකාරී වදන්ය. ඒවායින් නොසැලුණු ඩී.එස්. සේනානායක මැතිඳුන් එම ව්‍යාපෘතිය සාර්ථකව ඉටුකළ නිසාම වර්තමානයේ එහි වැදගත්කම මැනවින් අවබෝධ වේ. ජනතා සිත් දිනා ගැනීමට අවස්ථානුකූලව ක්‍රියා කරනවා වෙනුවට දුර දක්නා නුවණින් ක්‍රියා කළ ආකාරය ඉතිහාසය පෙන්නුම් කරයි.


ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ අභාවයන් සමග අග්‍රාමාත්‍ය පදවියට පත්වූයේ එතුමාගේ පුත් ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතාය. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ දී දැදිගම අසුන ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වී ඇමතිවරයෙකුද වූ එතුමා 41 වැනි වියේ දී අගමැති වී ශ්‍රී ලංකාවේ ලාබාලම අගමැතිවරයා බවට පත්විය. අනුන්ගේ වුවමනාවට පස්සා දොරෙන් අගමැති වුණා යැයි පැතිරී ගිය කථාවක් නිසා කම්පාවට පත් ඩඩ්ලි සේනානායක මහතා වැඩිකල් නොගොස් අගමැති පදවියෙන් ඉවත් වී ඡන්දයකට සූද‌ානම් විය. එහිදී ඉමහත් ජනවරමකින් 1952 වර්ෂයේදීම දෙවැනි වරටත් අගමැති වූ ආකාරය විශේෂයෙන් සඳහන් කළ යුතුය. 


කෙසේ වුවද මෙම කාල පරිච්ඡේදයේ දී එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ බලය ලබා ගැනීම පිළිබඳ යම් යම් මති මතාන්තර ඇතිව තිබූ ආකාරයක් පෙනෙන්නට තිබුණි. පක්ෂයේ ප්‍රබලයෙකු වූ සර්ජෝන් කොතලාවල මහතා අභිභවා නායකත්වයට ඒමේ කෑදරකමක් නොතිබුණත් කොතලාවල මහතා අගමැතිවීම වළක්වා ඩඩ්ලි සේනානායක මහතා එම පදවියට තාවකාලිකව පත්කොට වෙනත් අයෙකු අගමැති පදවිය අපේක්ෂාවෙන් සිටි බවට ද මතයක් පැතිර ගොස් තිබුණි. මේ අතර තවත් පැතිර ගිය කතාවක් වූයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව බණ්ඩාරනායක මහතාට හිමිවන්නට තිබුණු පක්ෂ නායකත්වය එතුමාගෙන් ගිලිහී ගියේ එක්සත් ජාතික පක්ෂයෙන් ඔහු ඉවත් කිරීමට තිබුණු කුමන්ත්‍රණයක් නිසා බවයි. කෙසේ වුවද ඇස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් අාරම්භ කරන ලද සිංහල මහා සභාව 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට පරිවර්තනය වීම ද මෙහිලා සඳහන් කළ යුතුය. කෙසේ හෝ බණ්ඩාරනායක මහතාද මුලදී එක්සත් ජාතික පක්ෂයේ සිටීමත්. ඩඩ්ලි සේනානායක හා ජෝන් කොතලාවල මහත්වරුන්ගේ ක්‍රියාකලාපයනුත් සමග හා විවිධ කරුණු මත ඇති වූ ප්‍රචාර හා සැක සංකා නිසා වරින්වර යම් යම් ප්‍රශ්න ඇති වූ බව පෙනෙන්නට තිබුණි. 


මේ අතර ඩඩ්ලි සේනානායක මහතා ප්‍රබල ජනවරමකින් අගමැති වූ පසු එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයෙකු වූ සර් ජෝන් කොතලාවල මහතා එක් අවස්ථාවක දී ඔටාවා නුවර රාජකාරී කටයුත්තකට දූත මෙහෙවරක යෙදුනේය. ඒ අතරතුර ‘‘සර් ජෝන් එතෙර දී අස් කරයි’’ යනුවෙන් ඔහු කැබිනට් ඇමති තනතුරින් අස් කළ බවට ප්‍රධාන සිරස්තල යටතේ ප්‍රවෘත්ති පළ විය. තම හිතවතුන් මාර්ගයෙන් කොතලාවල මහතාට මේ ප්‍රවෘත්තිය දැන ගැනීමට ලැබුණු වහා ඔහු නැවතත් සිය රටට ඒමට සූදානම් විය. ඔහු සියරටට පැමිණි විගස ඉහළින් පිළිගැනීමට සමහරු සූදානම්  වූ අතර තවත් ළඟම සිටි හිතවත්තු කර ඇරියහ. යමෙකුට කරදරයක් ඇති වූ විට කර ඇරීමේ ගතිය හුරු සමහරු එසේ කරද්දී සමහරු ධජ පතාක බැනර් ආදිය ද සූද‌ානම් කරගත්තේ සර්ජෝන් පිළිගැනීමටය. කෙසේ වෙතත් අති විශාල ජනකායක් රත්මලාන ගුවන් තොටුපලට රැස්වූ අතර එදින දවල් 12.00 ට පමණ සර් ජෝන් ගුවන් තොටුපලට ළඟාවිය. විශාල ජනකාය මහත් හරසරින් හා උත්සවාකාරයෙන් කොතලාවල මහතා පිළිගෙන කැඳවා ගෙන ගිය අතර ඔහුගේ හිතවතුන් ඉතා බලසම්පන්න ආකාරයෙන් සිදුකළ දැවැන්ත පිළිගැනීම හමුවේ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා සසළ විය. ඒ අනුව සාම සාකච්ඡාවක් පැවැත්වීමට ඉටාගත් අගමැතිවරයා ශ්‍රීමත් නිකලස් ආටිගල මහතා මගින් කොතලාවල මහතාට කරුණු පැහැදිලි කර දී නැවතත් වාද භේද දුරලා අගමැතිවරයාත්, කොතලාවල ඇමතිවරයාත් සමගියෙන් වැඩ කිරීමට ගිවිස ගත්හ.


මෙසේ රට ගිය පසු ඇමතිවරුන් අස් කිරීමේ කලාව පිළිබඳව ඉතිහාසය පිරික්සීමේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමති වශයෙන් ජිනීවා ගිය අවස්ථාවේ ඔහු ඇමතිකමින් ඉවත් කිරීම ද මතකයට නැගේ. එසේම මෑත කාලයේත් යම් ප්‍රශ්නයක් ඇති වූ විට පිටරට ගොස් එන රාජ්‍ය නායකයා හෝ ඇමතිවරයා පිළිගැනීමට කටුනායකට සෙනඟ බහුල වශයෙන් රැගෙන යාමේ කලාව එක්දහස් නවසිය පනස් ගණන්වල පවා තිබූ බව ද මින් පැහැදිලි වේ. එසේම එකම පක්ෂයේ නායකයන්ගේ ගැටුම් මෙකල මෙන් එකලද තිබූ පොදු ලක්ෂණයක් බවද මෙයින් මොනවට පැහැදිලි වේ. 1952 දී දෙවැනි වරටත් විශාල මහජන ප්‍රසාදයකින් ඡන්දයෙන් බලයට පත් ඩබ්ලි සේනානායක මහතා අවුරුද්දක් වැනි සුලු කාලයක දී නැවතත් පදවිය අත් හැරියේය. 1953 මුදල් ඇමතිවරයා වශයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතර ඔහු එහි දී හාල් මිල වැඩි වන බවට කිසිදු ඉඟියක් නොකොට වැඩිකල් යන්නට පෙර හාල් මිල වැඩි කිරීමට කටයුතු කරමින් සිටියේය.

ඒ ගැන සැලකිලිමත් වූ අගමැතිවරයා තම ඥ‌ාති සොයුරු ආර්. ජී. සේනානායක වෙළද ඇමතිවරයා චීනයට යවා රබර් - සහල් ගිවිසුම අත්සන් කරවා හාල්සේරුව ශත 25 කට ලබා දී ජනතාවට සහන සැලසීමට ක්‍රියා කළේය. එසේ වුවද චීන කොමියුනිස්ට් ජනරජය සමග ඇතිකරගත් ගිවිසුම පිළිබඳව නොසතුටු වූ ඇමරිකාව ලංකාවට ආධාර නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට විය. මෙබඳු කරුණු මත චීන හාල් ලැබුණත් මිල වැඩි නොකර සිටීමට නොහැකි වූයේ රටේ ආර්ථික පරිහානියක් ඇතිවීම වළක්වා ලීමටය. මෙම කාලය වන විට ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති වශයෙන් සිටියේ ජෝන් එක්ස්ටර් මහතාය. ඔහුගේ පස් අවුරුදු සේවා කාලය නිමවා සමු ගැනීම සඳහා අගමැතිතුමා හමුවීමට අරලියගහ මැදුරට  ගිය අවස්ථාවේ ඔහු ද අගමැතිවරයාට කීවේ ‘‘රටේ ආර්ථිකය ගොඩගන්නට හාල්මිල වැඩි කළ යුතුමයි’’ කියාය. එය ඇසූ අගමැතිවරයා ප්‍රකාශ කළේ රට වෙනු වෙන් කළ යුතු හැම පියවරක්ම ගන්නට මම පසුබට වන්නේ නෑ. හැබැයි මං හාල් මිල වැඩි කලාට පසු ඔබ නැවත වරක් හය මසකින් ලංකාවට ආවොත් මේ පුටුවෙ ඉන්නෙ මං නෙවෙයි. වෙන අයෙක්’’ කියාය. එසේ වුවද හාල් මිල වැඩිකිරීමට මුදල් ඇමතිවරයාට යම් යම් පියවරවල් ගැනීමට සිදු වූ අතර එයට විරුද්ධව රැස්වීම් උද්ඝෝෂණ හා විරෝධතා රැළි රටපුරා පැතිරී ගියේය. මෑතක් වනතුරුම ‘‘හාල්’’ හා ‘‘පාන්’’ රටේ දේශපාලනයට තදින් බලපෑ අතර පනස් ගණන්වල හැට ගණන්වල හා හැත්තෑ ගණන්වල එය තදින්ම ජන ජීවිතයට හා දේශපාලනයට බලපෑවේය. මේ අනුව විවිධ කණ්ඩායම් හා මාක්ස්වාදී විරෝධතාකරුවන් හිංසාකාරී ව්‍යාපාරවල පවා නිරත වූහ. දුම්රිය පෙරළීම – රේල් පීලි ගැලවීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල පවා සමහරුන් යෙදුණු අතර හදිසි නීතිය උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපල විනාශ කිරීම වැනි දරුණු වැඩවල යෙදුනු අවස්ථාවල දී කිහිප දෙනෙකු​ගේ ජීවිත ද නැති වී ඇති බව එකල පළ වූ පුවත් වාර්තා පෙන්නුම් කරයි. 1953 අගෝස්තු හර්තාලය වශයෙන් ද හඳුන්වන මේ තත්ත්වය යටතේ හා පක්ෂයෙම සමහරුන් ඒවා සමනය කිරීමට සහාය දීමට අව්‍යාජව ඉදිරිපත් නොවීම නිසා කල කිරීමට පත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමා අගමැති පදවියෙන් අස්වීමට කල්පනා කලේ එතුමා සිත දැඩි පුද්ගලයෙකු නොවන නිසාත්, ජීවිත කිහිපයක් නැතිවීම නිසා ඇති වූ කම්පනයත් බල ලෝභයෙන් කෙසේ හෝ බලය රැක ගෙන විරාජමාන විය යුතුය යන ආර්ථකාමී බලලෝභී හැඟීම එතුමා තුළ නොතිබුණු අවංක නායකයෙකු වූ නිසාත්ය, යන්න දේශපාලන විචාරකයන්ගේ අදහසයි. ඒ අනුව කල්මැරිමකින් තොරව අගමැති පදවියෙන් ඉල්ලා අස්වී සර් ජෝන් කොතලාවල මහතාට අගමැති පදවිය ලැබෙන සේ ක්‍රියා කළේය.