ජවිපෙ 1983 ජූලි තහනමින් පසු එහි සන්නද්ධ අංශය 1985 මැද භාගයේදී ආරම්භ කළ අතර ඒ සඳහා බඳවා ගත් අයට අවි පුහුණුව ලබාදීම සඳහා දෙසතියක සන්නද්ධ පුහුණුවක් ලබා දීම සඳහා  කඳවුරු 10 ක් පමණ රටපුරා පවත්වන ලදී. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර 1987 මැයි මස වන විට ජවිපෙ සන්නද්ධ අංශයට සිටියේ 125 ක පමණ කැරලිකරුවන් පිරිසකි. එක් සාමාජිකයෙකු තව සාමාජිකයෙකුගේ පවුලේ තොරතුරු, ජීවත් වූ ස්ථානයන්, සේවා ස්ථානයන් සහ සැබෑ නමද නොඅසා සිටීම ජවිපෙ සන්නද්ධ අංශයේ ව්‍යුහය සකස්විය. එම කලාව ස්පාඤ්ඤයේ බාක්ස් ප්‍රදේශයේ බෙදුම්වාදී ගරිල්ලා ව්‍යාපාරයෙන් ප්‍රචලිත වූ ආකෘතියකි. ඉන්දු - ලංකා ගිවිසුම 1987 ජූලි 29 ආරම්භ කිරීමත් සමඟ 1989 නොවැම්බර් වන විට ජවිපෙ සමඟ ගනුදෙනු කළ බහුතරයම වාගේ සන්නද්ධ ක්‍රියාමාර්ගවලට සෘජුව හෝ වක්‍රව සහභාගි කරවාගෙන තිබිණි.


සන්නද්ධ අංශයට 1987 මැයි මසට පෙර බැඳුණු කැරලිකරුවන් බහුතරයම විප්ලවයට ප්‍රේම කළ, පක්ෂයට ආදරය කළ ජනතාවගේ විමුක්තිය, ප්‍රගතිය සහ ජයග්‍රහණය උදෙසා ඇප කැපවී සිටි දැඩි විනයකට යටත් වූ ගරිල්ලා භටයින් යැයි කිව හැකි පිරිසකි. මර්දනකාරී එජාප ආණ්ඩුවට එරෙහිව ජාතික විමුක්ති අරගලයක් සඳහා ජනතාව පෙළගැස්සවීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යයක් වී තිබිණි. සමාජවාදී විප්ලවය කැරලිකරුවෝ තමන්ගේ එකම අරමුණ වූ අතර ඒ සඳහා උපරිමයෙන් දිවා රෑ වෙහෙසුනහ. එහෙත් 1987 ජූනි මාසයෙන් පසු සන්නද්ධ අංශයට බැඳුණු බහුතරයක්ම වාගේ එවැනි පිරිසක් නොවූහ.


ජවිපෙ 2 වැනි කැරැල්ලේ ප්‍රථම ප්‍රහාරය වූ 1987 අප්‍රේල් 15 පල්ලකැලේ යුදහමුදා කඳවුරට පහර දුන් කණ්ඩායම 14 දෙනෙකුගෙන් සමන්විත වූහ. ඉන් බහුතරයම වාගේ පේරාදෙණිය සරසවියේ සිසුන්ය. ඔවුහු අතර පිටස්තරයින් වශයෙන් සිටියේ දේශපාලන මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර, මධ්‍යම කාරක සභික රුවන්වැල්ල කරවනැල්ලේ කේ. වී. එස්. අමරසිරි හෙවත් තිලක්, කලක් පුහුණු හමුදා සෙබළෙකුව සිටි ජවිපෙ සන්නද්ධ නායකයෙකු වූ වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ පදිංචි රත්නායක පතිරණගේ මහින්ද ජයවර්ධන, නුවර ජයන්ත කුමාර ලාල් හෙවත් අජිත් සහ අධිකාරි හෙවත් කෝසලය. පේරාදෙණිය සිසුන් වූයේ කෘෂි පීඨයේ ලක්ෂ්මන් කිත්සිරි ද සිල්වා, ඉංජිනේරු පීඨයේ ප්‍රේමකුමාර් ගුණරත්නම්, දන්ත වෛද්‍ය පීඨයේ චන්ද්‍රසිරි රත්නුගේ, පශු වෛද්‍ය පීඨයේ ලක්ෂ්මන් රංජිත් අබේරත්න, වෛද්‍ය පීඨයේ වාරියප්පෙරුම දොන් දේවප්‍රිය සිසිර කුමාර, හලාවත අඹකඳවිල ලක්ෂ්මන් බෙනඩික් සමන්කුමාර කොස්තා, කෑගල්ල බටුවත්තේ සෝමරත්න සහ තෝලංගමුවේ රංජිත් වීරසිංහ යන අය වූහ. ප්‍රහාරක කණ්ඩායමට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත් වූ අතර ඔවුන් නම් මහනුවර උසස් බාලිකා විදුහලේ හිටපු ශිෂ්‍යාවක් වූ අචලා ගලප්පත්ති සහ ජවිපෙ පූර්ණකාලීනයෙක් වූ වික්‍රමසිංහ හෙවත් සුද්දාගේ බිරිඳ වූ එක්දරු මවක් වන සන්ධ්‍යාය.


හමුදා කඳවුරට පහරදීමේ සැලසුමේ සාකච්ඡාව ආරම්භ වූයේ 1987 අප්‍රේල් 14 පස්වරු 5 ටය. නායකයා වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර එහි ප්‍රධානත්වය ඉසිලීය. සාකච්ඡාව පැවැතියේ පේරාදෙණිය මාර්ස් ශාලාවේ 44 කාමරයේය. එහි නිල නේවාසිකයා වූයේ ජයශ්‍රී ගුණසේකරය. මාර්ස් නේවාසිකාගාරයේ උඩ තට්ටුවේ 44 කාමරය පිහිටි අතර එහි නිත්‍ය නේවාසිකයන් වශයෙන් ජයශ්‍රී සමඟ “ගජේ” ගසාගෙන සිටියේ වෛද්‍ය පීඨයේ මත්තේගොඩ සතරසිංහ, ඇල්පිටියේ සුනිල් කුමාර, දික්වැල්ලේ බන්දු එදිරිසිංහ. ගම්පොල සෙනරත් තෙන්නකෝන් ඇතුළු පිරිසකි. බැල්කනිය රජවත්ත පැත්තට මුහුණලා තිබුණු අතර ඒ අන්තයේ අනධ්‍යයන සේවකයින්ගේ නිල නිවාස පිහිටා තිබිණි. කාමරයේ ඉහළින් අඩි තුනක පමණ ජයශ්‍රී විසින්ම පැන්සලෙන් සිතුවමට  නඟන ලද චේ ගුවේරා ගේ රූපයක් විය. කොරිඩෝවේ ජයශ්‍රී විසින්ම වටපිටින් ගෙන එන ලද බිගෝනියාස් ඇතුළු විසිතුරු මල් පෝච්චි රැසකි. අවුරුදු නිවාඩු සමය හෙයින් වෙනදා “ගජේ” ගසන කිසිවෙකු එදින නොසිටියහ. ආපනශාලාවද වසා දමා තිබූ අතර සරසවිය පාළුවට ගොස් තිබිණි.

 


පේරාදෙණිය සරසවියේ මාර්ස් ශාලාවේ 44 කාමරයේ ඇඳන් 3 සහ මේස දෙකේ වාඩි වී සිටියේ පල්ලකැලේ ප්‍රහාරය සැලසුමේ නායකයා වූ ශාන්ත බණ්ඩාර, 44 කාමරයේ නේවාසිකව සිටින ජයශ්‍රී සමගින් ප්‍රහාරයට එක්ව සිටි 14 දෙනාය. මෙයට සහභාගි වූ පේරාදෙණිය සරසවි සිසුන් බහුතරයම වාගේ සහභාගි වූයේ අවුරුදු නිවාඩු දිනවල “ලොකු වැඩක්” ඇති බැවින් නිවෙස්වලට නොගොස් නවතින ලෙසට ජවිපෙ විසින් කරන ලද ඉල්ලීමක් හේතුවෙනි. වැඬේ කුමක්දැයි ඔවුන් දැනගත්තේ අප්‍රේල් 14 සවස 5 ට ජයශ්‍රී ගේ 44 කාමරයට යෑමෙන් පසුවය. ඔවුන්ට එන විට සිලි සිලි බෑගයක දැමූ අතිරේක කමිසයක් සහ කලිසමක්ද මුදල් පසුම්බිය සහ හැඳුනුම්පත රහිතව රුපියල් 100 ක මුදලක් රැගෙන එන ලෙසද දන්වා තිබිණි. එම සිසුන් බහුතරයම වාගේ කෑගල්ලේ පාසල් වියේදී රංජිතම් ගුණරත්නම් හරහා ජවිපෙට එක්වූ පිරිසකි.


ශාන්ත බණ්ඩාර ප්‍රහාරක කණ්ඩායමේ සාමාජිකයන්ට කියා සිටියේ ඉන්දු - ලංකා ගිවිසුම රජය මගින් අත්සන් කිරීමට නියමිත අතර ඒ යටතේ පැමිණෙන ඉන්දීය හමුදාවට සහ ආණ්ඩුවේ නීති විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව අවි ආයුධ අවශ්‍ය බැවින් මෙම ප්‍රහාරය සිදුකරන බවය. කවදා හෝ දිනක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම ප්‍රයෝජනවත් වනු ඇතැයි රෝහණ විජේවීර කර ඇති ප්‍රකාශයක්ද ඔහු අවධාරණය කළේය. එහිදී පැවති දීර්ඝ දේශනයේදී ශාන්ත බණ්ඩාර කියා සිටියේ අද රෑ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට පහර දෙන බවත් ජාතික විමුක්තිය සඳහා දිග්ගැස්සුන ගරිල්ලා යුද්ධයක් හෙට අළුයම සිට ඇරඹෙන බවත්ය. පල්ලේකැලේ හමුදා කඳවුරේ විශාල සිතියමක් පෙන්වමින් ඔහු ප්‍රහාරය සඳහා යන ස්ථාන පෙන්වා දුන්නේය. ප්‍රහාරයේ නායක හිටපු හමුදා සෙබළ මහින්ද කඳවුර පිළිබඳව නිසි අවබෝධයකින් පසුවිය. දෙදිනකට පෙර මිතුරෙකු හමුවීමට මහින්ද කඳවුරටද ගොස් තිබිණි.


මෙහිදී ශාන්ත බණ්ඩාර පෙන්වා දුන්නේ පල්ලේකැලේ කඳවුරට අලුතින්ම ටී - 56 ඇතුළු ආයුධ 300 ක් පමණ ගෙනවිත් ඇති බවත් ඒවා පැහැරගත් විගස වෙනත් රථ දෙකකින් මාතලේ සහ ගම්පොල ග්‍රාමීය ප්‍රදේශයකට ගෙන ගොස් එම අවි රහසිගතව ගබඩා කිරීමට කොන්ක්‍රීට් වළවල් හෙවත් ආමරි තනා ඇති බවත්ය. කාමරයේ මේසය උඩ විශාල බිස්කට් පෙට්ටි දෙකක එක පෙට්ටියක බෝම්බ 12 ක්ද අනෙක් පෙට්ටියේ බෝම්බ 13 ක් බැගින් විය. එම බෝම්බ තනා තිබුණේ අඟල් 2 එස්ලෝන් බට අඟල් 6 දිග කෑලිවලට කපා දෙපැත්තේ පියන් දෙක ඇලවීමෙනි. මැදට බෝම්බ නිෂ්පාදන ද්‍රව්‍ය දමා ජෙලග්නයිට් කූරු පුරවා සීල්කර තිබිණි. වෝල්ට් 9 බැටරියක් ඇතුළත හයිකර තිබූ අතර එයට ජැක් එකක් ගසා අතින් තද කළ විට ක්‍රියාත්මක කිරීමට සකස් කර තිබිණි. මෙය ප්‍රාථමික නිෂ්පාදනයක් වුවද එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ශාන්ත පිරිසට පැහැදිලි කළේය.
සහභාගි වන කිහිප දෙනෙක් බෝම්බ නිෂ්පාදනය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව එක්දින පුහුණුවකටද මෙයට මාස කිහිපයකට පෙර ජවිපෙ විසින් යොමුකර තිබිණි. එම එක්දින පුහුණු බෝම්බ පාඨමාලා දඹුල්ල සහ නාවලපිටිය කැලෑ ප්‍රදේශයක 1986 මුල් භාගයේ සිට ආරම්භ වී තිබිණි. වරකට 12 බැගින් එහි පුහුණුවීම් පවත්වා තිබිණි.


සාකච්ඡාව නිමා වූයේ උදෑසන දෙකටය. රාත්‍රී ආහාරයට බිස්කට් කා ජලය පානය කරන ලදී. ජයන්ත හෙවත් අජිත් විසින් මහනුවරින් රාත්‍රී 10.15 ට පැහැරගෙන ආ හයිඑස් වෑන් රථයක් ප්‍රහාරය සඳහා යෑමට සූදානම් කර තිබිණි. එහි රියදුරුගේ අත්පා සහ කට බැඳ එම වාහනයේ බිම දිගාකර තිබිණි. ජයන්ත යනු කැලෑබොක්ක වතුයායේ වැටුප් පැහැර ගැනීමේ කණ්ඩායමේද ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. වෑන් රථය මාර්ස් නේවාසිකාගාරය අසලට ගෙන ආවේ සරසවිය හරහා නොව පිටත පාරෙනි. හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් වාහනයට පටවාගත් අතර ඒවා මගදී ඇඳ ගැනීමට තීරණය විය. පොලිස් මාර්ග බාධක පිළිබඳව වෑන් රථයට ඉදිරියෙන් යතුරුපැදියෙන් ගොස් විපරම් කළේ පේරාදෙණිය දෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ කෑගල්ල තෝලංගමුවේ රංජිත් වීරසිංහය. ප්‍රහාරයෙන් පසු රංජිත්  යටිබිම්ගතව ජවිපෙට ක්‍රියාකාරීව එක්විය. වෛද්‍ය උපාධිය සම්පූර්ණ නොකළ ඔහු වර්තමානයේ කොට්ටාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ප්‍රහාරක කණ්ඩායම ගිය පසු ශාන්ත සහ අමරසිරි මාර්ස් ශාලාවෙන් නික්ම වෙනත් කටයුත්තකට බැහැර වූහ.


කඳවුර ආක්‍රමණය කළ ජවිපෙ කණ්ඩායමේ නායකයා වූයේ කලක් හමුදා සෙබළෙකු වූ මහින්දය. ඔහු එක් කණ්ඩායමක නායකයෙකු විය. අනෙක් කණ්ඩායමේ නායකයා ජයන්තය. ජයන්ත සමඟ කාන්තාවන් දෙදෙනා වූ අචලා සහ සන්ධ්‍යා එක්වූහ. කඳවුරේ භටයින් එදින රෑ අවුරුදු සාදයක් පවත්වා තිබූ බැවින් අළුයම 3ට පමණ ප්‍රහාරක කණ්ඩායම වෑන් රථයෙන් එන විට කඳවුරේ සෙබළුන් කිහිප දෙනෙකු ඒ ඉදිරිපිට ගඟේ නාමින් සිටිනු දක්නට ලැබිණි. එබැවින් ඔවුන් කඳවුරට යනතුරු විනාඩි 30 ක් පමණ ප්‍රමාද කරන ලදී.


ප්‍රහාරක කණ්ඩායමට කඳවුරට ඇතුළු වන විට අළුයම 3.30 පමණ විය. ප්‍රථමයෙන් කතුන් දෙදෙනා ඇතුල්වන ආරක්ෂක කුටිය අසලට ගොස් එහි මුරට සිටි සෙබළුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදිණි. වහා පැමිණි ජයන්ත සහ තව අයෙකු මුරට සිටි දෙදෙනා යටත් කරගෙන ඔවුන්ගේ අත්පා සහ කට බැඳ ඔවුන් සතු ගිනි අවි 2 ක් ප්‍රහාරයට ගෙන ආ අතර සියල්ලන් අතර පිහි සහ ලණු කැරලි විය. අත්‍යවශ්‍ය මොහොතකදී හැර කිසිදු හමුදා භටයෙකු ඝාතනය නොකරන ලෙසට උපදෙස් දී තිබිණි. මහින්දගේ නායකත්වයෙන් අනෙක් කණ්ඩායම පල්ලේකැලේ හමුදා කඳවුරේ වෙනත් දිසාවකින් කම්බි පහත් කර ඇතුළට ගියේය. මහින්ද සුදු ටී ෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසී විදුලි පන්දමක් අතැතිව සිටියේය. සෙසු අය හමුදා ඇඳුමෙනි. ඇතැමෙකු පැලඳ සිටියේ සපත්තු නොව සෙරෙප්පුය. එම දිසාවේ මුරට සිටි භටයා නින්දේ පසුවූ අතර “සෙන්ටි්‍ර, උඹ නිදිනේද?” යැයි කියා මහින්ද පහරක් ගැසීය. “සොරි සර් කියා සෙබළා කියන විටම ඔහු යටත් කරගෙන බැඳ දමන ලදී. පසුව ප්‍රධාන ආරක්ෂක කුටියේ සෙබළුන් 3 ක් යටත් කරගෙන එහි දම්වැල් දා ඉබි යතුරු දා තිබූ ටී - 56 ස්වයංක්‍රීය අවි 13 ක් ඔවුන්ටම කියා ඉබි යතුරු විවෘත කර ලබාගන්නා ලදී.


මේ වන විට ප්‍රහාරක කණ්ඩායම සතුව ටී 56 ගිනි අවි 12 ක් සහ සබ් මැෂින් ගන් 7 ක් විය. එවිට විනාඩි 20 ක් පමණ ගතවී අවසන්ය. යටත් කරගෙන අත්පා බැඳගෙන සිටි සෙබළුන් සංඛ්‍යාව 6 කි. ඔවුහු ස්ථාන 2 ක වූහ. එක්වරම ජයන්ත කියා සිටියේ දෑත් බැඳ තිබූ සෙබළෙක් පැනගිය බවය. වහාම පසුබසින ලෙසට මහින්ද නියෝග දුන් අතර විනාඩි 5 කට පමණ පසු කඳවුරේ සීනුව නාද විය. ප්‍රහාරක කණ්ඩායම වෙන් වෙන්ව කඳවුරෙන් පලා ගිය අතර කඳවුර තුළින් නොකඩවා වෙඩි ප්‍රහාර එල්ල විය. එවිට වේලාව අළුයම 4 පමණ වන්නට ඇත. යළි ඇඳුම් මාරු කරගත් ප්‍රහාරක කණ්ඩායම අවි 19 ඔසවාගෙන මඟට පැමිණියද අනෙක් වෑන් රථය පැමිණ තිබුණේ නැත. අවට කැලෑවේ සහ නිවෙස් අසලද අවි සැඟවූ පිරිස වෙන් වෙන්ව අවි කිහිපයක්ද රැගෙන පලා යෑමට සමත් වූහ. කැරලිකරුවන් විසින් ප්‍රහාරයෙන් පසු ලබාගත් අවි 10 ක් එදිනම අළුයම මහමඟ ගමන් කරමින් තිබූ රථයක් පැහැර ගනිමින් එයට පටවා වෙනත් තැනකට ගෙන යෑමට සමත් වූහ. කිසිවෙකු හසුවූයේ නැත.


දිනය 1987 අප්‍රේල් 15 වැනිදාය. උදෑසන 6 පමණ විය. ප්‍රහාරකයින් රැගෙන ගිය ගිනිඅවි 2 ක් කඳවුර අවට සෝදිසි මෙහෙයුමේදී හමුදාවට හමුවිය. අවසානයේ ගම්මානයම කැලැඹී තිබුණුද හමුදා සෝදිසි මෙහෙයුම ඇරඹුණේ උදෑසන 7 ට පමණය. කොස්තා පමණක් හමුදා අත්අඩංගුවට පත්ව පැය කිහිපයකින් නිදහස් කර තිබිණි. ඔහු කියා සිටියේ තමා තේ කොළ වෙළඳාමේ නිරතවන අයෙකු බවය. සියලු දෙනාම පමණක් නොව හමුදාව සහ රජයද සිතා සිටියේ මෙය දෙමළ බෙදුම්වාදී ඊරෝස් සංවිධානයේ වැඩක් බවය. එහෙත් කිසිවෙකු ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ නැත. කුඩාඔය කඳවුරටද පහරදීම නිසා ඊරෝස් සංවිධානය වෙත සැකය තවත් ප්‍රබලව එල්ල විය. රහස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලදී. සඟවා තැබූ ස්වංක්‍රීය අවි 7 ක් ජවිපෙ කැරලිකරුවන් මගින් යළි පසුදින පස්වරුවේ එම සඟවා තැබූ ස්ථානවලින් රැගෙන යෑමට සමත් විය.


ජවිපෙ විසින් පල්ලකැලේ හමුදා කඳවුරට පහරදී අවි පැහැර ගැනීමට අමතරව එදිනම එනම් 1987 අප්‍රේල් 15 රට පුරා ප්‍රහාර 5 ක් සංවිධානය කර තිබිණි. ඒවා නම් දියතලාව හමුදා කඳවුරේ කොටසකට පහරදී ආයුධ පැහැර ගැනීම සහ එහි පැමිණීමට නියමිත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, අවිස්සාවේල්ල සාලාව හමුදා අනුඛණ්ඩයට පහරදී අවි පැහැර ගැනීම, ගාල්ල කොටුවේ  හමුදා අනුඛණ්ඩයෙන් ආයුධ පැහැර ගැනීම, වැල්ලවාය කුඩාඔය හමුදා පාසලට පහරදී අවි පැහැර ගැනීමය. දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකු මෙහි වගකීම් ගත් තර එම ප්‍රහාර එල්ල කිරීමට ගත් තීරණ අවසන් මොහොතේදී කල් දැමිණි. එයට හේතුව බුද්ධි අංශවලට යම් හෝඩුවාවක් ලැබී තිබීමය. එහෙත් පල්ලේකැලේ හමුදා කඳවුර, කුඩාඔය සහ ගාල්ලේ හමුදා කඳවුරු ප්‍රහාර බාරව සිටි අයට එය සන්නිවේදනය වී නොතිබිණි. පල්ලකැලේ ප්‍රහාරය යම් තරමකට සාර්ථක වූ අතර කුඩාඔය ප්‍රහාරය මුළුමනින්ම මැඩපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකි විය. ගාල්ල කොටුවට පහරදීමට ගිය කණ්ඩායම මීටියාගොඩ පොලිසිය  අසල මාර්ග බාධකයකදී අළුයම 12 ට අත්අඩංගුවට ගන්නා ලදී. එහි නායකයා පොලිස් අත්අඩංගුවේ ග්‍රාමාරක්ෂකයින්ට පහරදී පොලිසියෙන් පැනගිය අතර පිටිගල පියල් විජේසිංහ, කුමාරලාල් මානවඩු, මල්ලියාවඩු ඇතුළු සෙසු අය පොලිසියේ රඳවා පසුව අධිකරණයට ඉදිරිපත් කර මාස 3 කට පසු ඇප ලබාදෙන ලදී. එහිදී ඔවුහු කියා සිටියේ එදිරිවාදී කණ්ඩායමක පිරිසකට පහරදීමට යන බවකි.


පල්ලේකැලේ ප්‍රහාරයට සම්බන්ධ වූ පේරාදෙණිය සරසවි සිසුන්ගේ විස්තර හෙළිවන්නේ අහඹු සිද්ධියකිනි. ඒ ප්‍රහාරයට එක්වූ කෘෂි පීඨයේ පළමු වසරේ සිසුවෙකු වන ලක්ෂ්මන් කිත්සිරි ද සිල්වා 1987 මැයි 17 අත්අඩංගුවට ගැනීමත් සමඟය. පින්නවල මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියදී රංජිතම් ගුණරත්නම් මගින් ජවිපෙට එක්වූ ලක්ෂ්මන් කිත්සිරි කෑගල්ල පදිංචිකරුවෙකි. උපාධිය සමත්වීමෙන් පසු ඔහු වර්තමානයේ දකුණු පළාතේ රජයේ රෝහලක කථන සහ භාෂා උපදේශකයෙකු වශයෙන් වෙනත් නාමයකින් සේවය කරයි. දෙදරු පියෙකි.

 

ප්‍රහාරය සැලසුම්කල අංක 44 කාමරයේ පිහිටා තිබුණේ පේරාදෙණිය සරසවියේ මෙම මාර්ස් නේවාසිකාගාරයේය.

 

එම සිද්ධිය මෙසේය. කැරලිකරුවන් විසින් කඳවුරට ප්‍රහාරයට පැමිණි අත්හැර දමා ගිය වෑන් රථයේ ඇඳුම් කිහිපයක් තිබිණි. එයට හේතුව වූයේ පේරාදෙණිය සරසවියේදී සිවිල් ඇඳුමෙන් සැරසුණු කැරලිකරුවන් කඳවුර ආසන්නයේදී වෑන් රථය තුළම සිය ඇඳුම් උඩින්ම හමුදා ඇඳුම් ඇඳගත් බැවින් අනවශ්‍ය ඇඳුම් වාහනය තුළ ගලවා දමා තිබුණි. එහි තිබූ එක් කලිසමක ඇතුළු පැත්තේ එය මසන ලද ටේලර් සාප්පුවේ නාමය “ග්‍රෑන්ඞ් ටේලර්ස් කෑගල්ල” යන රෙද්දකින් මසා තිබිණි. රහස් පොලිසිය ඒ ඔස්සේ කෑගල්ලේ ග්‍රෑන්ඞ් ටේලර්ස් වෙත ගොස් එම කලිසමේ සාම්පලය අඩංගු බිල්පතේ අනු පිටපත් තුනක ලිපිනයන්ට ගියේය. එක් ලිපිනයක පදිංචිකරුවන් අතර පේරාදෙණි කෘෂි පීඨයේ  සිසුවෙක්ද විය. සරසවියෙන් ඒ පිළිබඳව විමසා තහවුරු කිරීමේදී ලක්ෂ්මන් කිත්සිරි විභාගය අතරතුර දින දෙකක් නොපැමිණ යළිත් පැමිණ තිබිණි. පසුව ලක්ෂ්මන් කිත්සිරි අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ විමර්ශන අංශයට ගෙන ඒමෙන් පසු සියලු තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නමින් දන්නා 7 දෙනෙකු තෙමසක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් කළ පොලිස් පරීක්ෂණවල ප්‍රධානියා වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාය. එම කණ්ඩායමට රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ජයසූරිය, සහකාර පොලිස් අධිකාරි කේ. ගජනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ද නුවර, වත්තේගම, කෑගල්ල ඇතුළු පොලිසි කිහිපයක පොලිස් නිලධාරීහුද එක්ව සිටියහ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට වධ බන්ධනවලට මුහුණ දීමට සිදුවූ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා කැරලිකරුවන් අතින් 1987 දෙසැම්බර් 12 ඝාතනයට පත්වීමත් සමග එම වධ බන්ධන බොහෝ දුරට ලිහිල් විය.
පල්ලේකැලේ ප්‍රහාරක කණ්ඩායමේ නායකය වූ කලක් පුහුණු හමුදා සෙබළෙකුව සිටි වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ පදිංචි රත්නායක පතිරණගේ මහින්ද ජයවර්ධන පසුකාලයේ ත්‍රිකුණාමලයේ කල්ලාර් හමුදා 

කඳවුරට 1987 ඔක්තෝබර් 4 ජවිපෙ කැරලිකරුවන් සමඟ කඩා වැදී එහි සියලු ආයුධ පැහැර ගැනීමට නායකත්වය දුන් අතර එහිදී මරුමුවට පත්විය. මහින්දගේ සිරුර කැරලිකරුවන් විසින් පලායන විට රැගෙන විත් වනගත පෙදෙසකදී ආචාරය පුද කරමින් භූමදානය සිදුකළේය. මැදවච්චියේ වික්‍රම ඇතුළු පිරිසක් එයට එක් වූහ.


 

ප්‍රහාරය සැලසුම් කළ පේරාදෙණිය සරසවි මාර්ස් ශාලාවේ 44 කාමරයේ නේවාසිකයාව සිටි ගුණසේකර මුහන්දිරම්ලාගේ ජයශ්‍රී පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුල් වූයේ 1981 ඔක්තෝබර් 5 ය. හැටන්, මල්ලිඅප්පු පදිංචි ජයශ්‍රී 1963 දී ජනවාරි 7 උපන්නේ දික්වැල්ලේ බතීගමය. සොයුරු සොයුරියන් 5 යුත් පවුලක දෙවැනියාය.


පත්මසිරි අබේසේකර ඝාතනය කළ අවස්ථාවේ සාක්කි දුන් අයෙකි. ගම්පහ කලාප නායකයෙකු වශයෙන් අවසානයේදී කටයුතු කළ ජයශ්‍රී විජේවීර ඝාතනයෙන් පසු කුරුණෑගල මහව හේනක ගොවියෙකු වශයෙන් කටයුතු කළේය. මිතුරෙකු හමුවීමට කොළඹට 1990 ජනවාරි 21 පැමිණි අවස්ථාවකදී ලේක්හවුස් ඉදිරිපිට රීගල් සිනමා ශාලාව අසලදී අත්අඩංගුවට පත්ව ඝාතනයට පත්විය.

 

 

 


මතු සම්බන්ධයි.