ඉන්දියාවේ “රෝ”ලංකාවේ “වහෙන්ඔරෝ”වැඩ කළ හැටි-3

 

වසර 1989 මැයි 12 කන්තලේ ත්‍රිමලේ පාරේ බිම් බෝම්බයක් මගින් ඉන්දීය හමුදා ට්‍රක් රථයක් පුපුරුවා හැරීමෙන් ඉන්දීය හමුදා මේජර්වරයෙකු ඇතුළු සෙබළු 13 ක් ඝාතනය කර ඔවුන්ගේ සියලු ආයුධ පැහැර ගැනීමට ද ජවිපෙ කැරලිකරුවෝ සමත් වූහ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ බළකාය 1989 මැයි 14 එහි වගකීම භාරගෙන පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දේශය නිදහස් කර ගැනීමේ අරගලයේ ඓතිහාසික පියවරක් ඉදිරියට තබමින් බිම් බෝම්බ තාක්ෂණය උපයෝගී කොටගෙන සිය සංවිධානයේ නැගෙනහිර පෙරමුණු බළඇණිය විසින් මෙය සිදුකළ බවය. අවසන් ඉන්දියන් සෙබළාත් පලවා හැර මාතෘ භූමියේ උතුම් නිදහස ස්ථාපිත කරන තුරු අරගලය ඉදිරියට ගෙන යන බව ද එහි වැඩිදුරටත් සඳහන් විය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජවිපෙ කැරලිකරුවන් විසින් දෙවැනි කැරලි සමයේදී සිදුකළ ප්‍රහාරවලින් මියගිය ඉන්දීය හමුදා භටයින්ගේ සංඛ්‍යාව 29 කි.

ඉන්දීය රෝ නිලධාරීන් එම ප්‍රහාරය ජවිපෙ කළ බව දැනගත් වහාම එය නතර කරන ලෙසට ජවිපෙ ඉහළ නායකත්වයෙන් ඉල්ලා සිටි බවද ජවිපෙ එම ආයාචනයට අනුගත වෙමින් ඉන්දීය හමුදාවට එරෙහි නැගෙනහිර සියලු ප්‍රහාරයන් නතර කළ බවට ප්‍රචලිත මතයකි. එහෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුල් පෙළේ සන්නද්ධ කැරලි නායකයෙකු ලේඛකයා සමග පැවසුවේ ප්‍රහාර නතර වූයේ ප්‍රේමකුමාර් සහ දෙහිවත්තේ කුරේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව බවය.


එකල ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දකුණ ඇතුළු පළාත් 7 භාර දේශපාලන ලේකම්වරයා ලෙස මහ කොමසාරිස් ඩික්සිත් විසින් පත්කර තිබුණේ සික් ජාතිකයෙක් වූ ගුරුජික් සිංය. උතුරු - නැගෙනහිර භාරව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන ලේකම් ලෙස කටයුතු කළේ දෙමළ බ්‍රාහ්මණ වංශිකයෙකු වන එස්. අයි. ශංකර්ය. කේරල ජාතික කතෝලිකයෙකුවූ මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් වූයේ රෝ සංවිධානය සමග සම්බන්ධීකරණ කටයුතුවල නිරත වූ ජෝෂොප් තරිලාල්ය. නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වූයේ නිරුපන් සෙන්ය.


ප්‍රේමකුමාර් ගුණරත්නම් 1989 සැප්තැම්බර් 24 ශ්‍රී ලාංකික හමුදා අත්අඩංගුවට පත් වන්නේ පාලම් පොට්ටවුර් හිදීය. එයට පෙර 1987 ඔක්තෝබර් 25 ජවිපෙ මගින් මහනුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ජවිපෙ ඩී. එම්. ආනන්ද ඇතුළු ඉහළ පෙළේ නායකයින් දෙදෙනෙකු කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ රෝ නියෝජිත ජෝෂප් තරිලාල්, දකුණු ඇතුළු පළාත් ලේකම් ගුරුජිත් සිං සහ නියෝජ්‍ය මහ කොමසාරිස් නිරුපන් සෙන් සමග සබඳතා ගොඩනගා ගෙන තිබුණ බව කියති.


ඩී. එම්. ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර ප්‍රධාන සම්බන්ධකම ගොඩනගන ලද්දේ කීර්තිධර මාධ්‍යවේදී රිචඞ් සොයිසාගේ මැදිහත්වීමෙනි. ජවිපෙ සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දු ආරක්ෂක හමුදා මගින් 1989 දෙසැම්බර් 27 රාත්‍රී නාවල කොස්වත්තේදී අත්අඩංගුවට ගනු ලැබුවේද රිචඞ් ද සොයිසා විසින් සොයාදුන් කුලී නිවසක සිටින විටය. සෝමවංශ අමරසිංහට සහ ඔහුගේ දරු පවුලට කැලණිය ප්‍රදේශයෙන් රහසිගතව ජීවත්වීමට 1989 අවසාන භාගයේදී නිවසක් සොයා දුන්නේද රිචඞ් ද සොයිසාය. ජවිපෙ රෝ කපුකම කළ වරදට අවසානයේදී 1990 පෙබරවාරි 18 අලුයම 3.30 ට නාවල වැලිකඩ වත්තේ නිවසින් රිචඞ් ද සොයිසා ආරක්ෂක අංශ මගින් පැහැරගත් අතර ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 19 පස්වරු 4 ට මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසල මුහුදු වෙරළින් මතුවිය.


ජවිපෙ දේශපාලන සභික සෝමවංශ අමරසිංහට ඉන්දියාවට යාමට වීසාද ඉන්දීය තානාපති කාර්යාලය මගින් 1989 දෙසැම්බර් මස ලබාදෙන ලදී. සෝමවංශ ඉන්දීය තානාපති කාර්යාලයට ඒ සඳහා ගියේ ඊශ්වර් බ්‍රදර්ස්හි තොග කළමනාකරුවෙකු වශයෙන් කලක් සේවය කළ කොටහේන අල්විස් ඇවනිව්හි පදිංචි මාතලේ වික්‍රමසිංහම් හෙවත් සෙල්වා සමගය. සෝමවංශ අමරසිංහ විසින් කුරුණෑගල ලිපිනයක පදිංචි මුදියන්සේලාගේ නිමල් බණ්ඩාර දිසානායක නමින් 1989 නොවැම්බර් 23 මෙම ගුවන් බලපත්‍රය සියලු රටවල්වලට වලංගු පරිදි ලබාගත්තේ හැඳුනුම්පත් 470721049ඩ මගිනි. එහෙත් ඉන්පසු ආරක්ෂිත පියවරක් ලෙස ඉන්දියාවට බෝට්ටුවක් මගින් පලායන සෝමවංශ සෞදි අරාබියේ සේවය කරන ඉන්දියානුවෙකුගේ නිවසේ රැකවරණය ලැබීය. 
සෝමවංශගේ බිරිඳ සහ දරුවා ද කලින් එහි ගොස් තිබිණි. ජවිපෙ 2 වැනි කැරැල්ලේ පරාජයෙන් පසු 1989 දෙසැම්බර් සිට 1990 මාර්තු දක්වා ඉන්දියාවට ගිය ජවිපෙ ක්‍රියාකාරිකයින් 400කට ආසන්න පිරිසකට තාවකාලික රැකවරණය ලබාදීමට ඉන්දියාව කටයුතු කරන ලදී. එම ජවිපෙ ක්‍රියාකාරීහු පසුව යුරෝපයේ රටවල්වලට විවිධ මාර්ගවලින් සංක්‍රමණය වූහ.


අබ්දුල්ලා වෙනුවෙන් මාලදිවයිනේ බලය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්ලොට් සංවිධානය 1988 නොවැම්බර් 3 මාලදිවයිනට කළ සංවිධානාත්මක ප්‍රහාරය සිදු කළේ ද රෝ සංවිධානයේ සැලසුමක් අනුවය. ඒ සඳහා ප්ලොට් සංවිධානයට ගෙවන ලද මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හය හමාරකි. එය පරාජය කිරීමට අවසානයේ හැකිවූයේ එයට පසුදින ඉන්දියානු ගුවන්යානාවලින් මාලදිවයිනට පැමිණි ඉන්දීය පැරෂුට් භටයින් 150 කගේ කණ්ඩායමකටය. එම ප්ලොට් සාමාජිකයින් මාලදිවයින ආක්‍රමණය සඳහා පිටත්ව ගොස් තිබුණේ කල්පිටිය සහ මන්නාරම මුහුදු තීරය ඔස්සේ බහුදින යාත්‍රා මගිනි.


එකල ප්ලොට් සංවිධානයේ කඳවුරක් පිහිටා තිබුණේ පුත්තලම මන්නාරම පරණ පාරේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරිච්චිකට්ටියේය. එකල මාලදිවයිනේ සිටියේ 1200ක පමණ වූ සිවිල් ආරක්ෂක බළකායේ පිරිසකි. දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියානු රෝ භූමිකාව කොතරම් සංකීර්ණ දැයි මින් පැහැදිලිය.


ජගත් දේශපාලනයේ ප්‍රතිවිරෝධයන්ට අනුරූපීව කලාපීය දේශපාලනය තුළ බලවේගයන්ගේ හැසිරීම සිදුවේ. කලාපීය බලවතා වශයෙන් ඉන්දියාවේ බලහත්කාරී දේශපාලන භූමිකාව තහවුරු කරන බොහෝ සාධක ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳ ඉන්දියාව සිදුකළ මැදිහත්වීම් තුළ ඉතා පැහැදිලිව විද්‍යාමාන විය.