ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍යයේ නායකයා, විධායකයේ නායකයා, ආණ්ඩුවේ නායකයා සහ සන්නද්ධ සේවාවල ප්‍රධාන අණදෙන නිලධාරියා වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වූ ජනාධිපතිවරණය තව සතියකින් එනම් එළඹෙන 16 දා පැවැත්වේ. ජනාධිපතිවරයා වූ කලී 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරන ලද ද්විත්ව විධායක ක්‍රමයේ ඉහළ ස්ථරය වේ. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පහළ ස්ථරය වේ.

ආණ්ඩුක්‍රමයේ ඉහළ ස්ථරය වන ජනාධිපතිවරයාට 1978 මූලික ව්‍යවස්ථාවෙන් ඉහත දැක්වූ බල ක්‍ෂෙත්‍ර හතර යටතේ පවරන ලද බලතල සහ වගකීම් 2015 වර්ෂයේදී ව්‍යවස්ථාවට කරන ලද 19 වන සංශෝධනය මගින් යම් යම් මට්ටම්වලින් කප්පාදු කළද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ තවමත් ආණ්ඩුක්‍රමය තුළ ජනාධිපතිවරයා සැලකිය යුතු බල අධිකාරියක් භුක්ති විඳින බවය. සමහරවිට බලයට පත්වන ජනාධිපතිවරයා අයත් දේශපාලන පක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් හිමිව තිබෙන්නේ නම් සහ එම පක්‍ෂයේ සාමාජිකයන්ගෙන්ම පමණක් අගමැති සහ කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ නම් ආණ්ඩුක්‍රමය තුළ බලවත්ම සහ ශක්තිමත්ම විධායක තනතුර ජනාධිපතිවරයාවීම වැළැක්විය හැකි නොවේ. මෙයින් පෙනී යන්නේ රටේ ජීවත්වන දෙකෝටි විසි ලක්‍ෂයකට මඳක් වැඩි ජනතාවගේ අනාගත ඉරණම කුමක් විය හැකිද යන්න තීරණයවීම සම්බන්ධයෙන් නොවැම්බර් 16 දින තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සහ ක්‍රියා කලාපය බෙහෙවින්ම තීරණාත්මක වන බවය.

රටේ ජාතික ආරක්‍ෂාව තහවුරුකොට පවත්වාගෙන යන්නේ කෙසේද, රටේ ආර්ථික අභිවෘද්ධිය ඉහළ මට්ටමකට ගෙන යන්නේ කෙසේද, ජනතාවගේ සමාජ සුබසාධනය හෙවත් ජාතික සුබසාධන මට්ටම ඉහළ නංවන්නේ කෙසේද, වාර්ගික ජන කොටස් අතර සංහිඳියාව වර්ධනය කරමින් රාජ්‍ය සහ ජාතිය ගොඩ නංවන්නේ කෙසේද, රටේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කරන්නේ කෙසේද සහ අවසාන වශයෙන් යහපාලනය පදනම් කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ශක්තිමත් කරමින් නිදහස් ජන සමාජයක නිදහස් මිනිසුන් හැටියට ජීවත්වීමට අවශ්‍ය අවකාශය තහවුරුකොට පවත්වාගෙන යන්නේ කෙසේද?

මේ එකදු ප්‍රශ්නයක්වත් හුදකලා ප්‍රශ්න නොවේ. ඒවා අන්‍යොන්‍ය වශයෙන් එකට බැඳී තිබෙන අතර එකක් අනිකෙන් වෙන් කළ හැකි නොවේ. නිදසුන් ලෙස රට තුළ දේශපාලන ස්ථාවරභාවය පැවතීම ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යම කොන්දේසිය වේ. ජාතික සුබසාධනය ඉහළ නැංවීමට හැකි වන්නේ ජාතික ආර්ථිකය වර්ධනය කළහොත් පමණි. මෙයාකාරයටම ජාතික ආරක්‍ෂාව තහවුරුකොට පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් මෙන්ම රටේ විදේශ ප්‍රතිපත්තිය නිසිලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්ද දේශපාලන ස්ථාවරභාවය තීරණාත්මක සාධකය වේ. දේශපාලන ස්ථාවරභාවය ගොඩනඟා ගැනීම සම්බන්ධයෙන් වැදගත් වන්නේ වාර්ගික සංහිඳියාවය.

බහුවාර්ගික ජන සමාජයක වාර්ගික සංහිඳියාව ඇතිකර ගැනීම සම්බන්ධයෙන් බලපාන කරුණු අතරින් එකක් වන්නේ රාජ්‍ය පාලනයේදී රාජ්‍යය අපක්‍ෂපාතී බේරුම් කරුවකු ලෙස ක්‍රියා කිරීමය. දෙවන වැදගත් කරුණ වන්නේ රාජ්‍යය විසින් සමාන පුරවැසියන් හා සමාන ඉඩප්‍රස්ථා යන සිද්ධාන්තය අකුරට ක්‍රියාවට නංවනු ලැබීමය.

මෙයින් එක් දෙයක් තේරුම් ගත යුතුය. එනම් දේශපාලනය හා රාජ්‍ය පාලනය එකක් නොවන බවත් දේශපාලනය කරන තරම් ලෙහෙසියෙන් හා පහසුවෙන් රාජ්‍ය පාලනය කළ නොහැකි බවත්ය.  ලබන 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්න මේවා වේ. ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී සලකා බැලිය යුත්තේ මෙම ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රශස්ත විසඳුම් ඉදිරිපත් කර තිබෙන්නේ කුමන ජනාධිපතිවරණ අපේක්‍ෂකයාද සහ එම විසඳුම් ආණ්ඩුකරණය හරහා ප්‍රායෝගික වශයෙන් යථාර්ථීකරණය කර ගැනීමට හැකියාව තිබෙන්නේ කුමන ජනාධිපති අපේක්‍ෂකයාටද යන කරුණය.  
කවුරුත් දන්නා පරිදි ජනාධිපතිවරණ තරගයේදී ඉදිරියෙන් සිටින්නේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්‍ෂ යන දෙදෙනා පමණි. ව්‍යාජ වුව ද නැතිනම් සත්‍ය වූව ද වාර්තාවී තිබෙන මැතිවරණ සමීක්‍ෂණවලින් පෙන්නුම් කරන්නේ මෙම තත්ත්වයයි. මෙම ප්‍රධාන අපේක්‍ෂයන් දෙදෙනා අතුරින් ජනාධිපති ධුරයට තෝරා පත්කර ගත යුත්තේ කවුරුන්ද?

16 දින ජනතාව ඉදිරියේ ඇති උභතෝකෝටිකය වන්නේ මෙයයි. මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී ඡන්දදායකයන් සලකා බැලිය යුත්තේ අපේක්‍ෂකයන් ඉදිරිපත් කර තිබෙන මැතිවරණ ප්‍රකාශනය.
ජනාධිපතිවරණ අෙප්ක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන මැතිවරණ ප්‍රකාශනවලින් පෙන්නුම් කරන්නේ ඉහත දැක්වූ ප්‍රශ්න ඒ ඒ අපේක්‍ෂකයා තේරුම්ගෙන තිබෙන ආකාරය සහ ඔවුන් එම ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් කරන විසඳුම් මොනවාද යන්නය. සමස්තයක් ලෙස ගත්විට මෙම ප්‍රකාශන පිරික්සීමේදී පෙනී යන්නේ සෑම අපේක්‍ෂකයකුම වැඩියෙන් අවධානය යොමුකර තිබෙන්නේ ජාතික සුබසාධනය ඉහළ නැංවීම යන කරුණු කෙරෙහි බවය. ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාම ඡන්දදායකයන්ට දී ඇති පොරොන්දු සම්භාරයෙන් පෙනී යන්නේ ප්‍රතිපත්ති දේශපාලනය අභිබවා යමින් පොරොන්දු දේශපාලනය ඉදිරියට පැමිණ තිබෙන ආකාරයයි.

පොරොන්දු දේශපාලනය මැතිවරණයකදී ඡන්දදායකයන් වසඟ කරවා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වූවද රාජ්‍ය පාලනයේදී එය එතරම් යහපත් දෙයක් ලෙස සැලකිය නොහැක. හේතුව බලයට පත් වූ පසුව එම පොරොන්දු පොරොන්දු වූ අයුරින්ම ඉටු කිරීමට නොහැකි වුවහොත් ඡන්දදායකයන් ආණ්ඩුව කෙරෙහි කලකිරී ආණ්ඩුවට එරෙහිව කැරැලි ගැසීමට පෙළඹීමය. මෙයින් පෙනී යන්නේ පොරොන්දු දේශපාලනය ඡන්දදායකයන් වසඟ කරවා ගැනීමට මෙන්ම ඡන්දදායකයන් කැරැලිකරුවන් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන්ද බලපෑ හැකි බවය.


පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට ගොස් ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා ඉදිරිපත් කර තිබෙන මැතිවරණ ප්‍රකාශන දෙස බැලුවහොත් දැකිය හැකි ලක්‍ෂණය වන්නේ ඉහතින් සඳහන් කළ ප්‍රශ්න අතුරින් ජාතික සංහිඳියාව ගොඩනැගීම සහ යහපාලනය පදනම් කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සවි ශක්තිමත්කොට පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කර තිබෙන මැතිවරණ ප්‍රකාශනයේ වඩාත් සාධනීය ලක්‍ෂණ අන්තර්ගත වන බවය.

මේ කරුණු දෙක සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අවධානය යොමුකර තිබෙන්නේ තම මැතිවරණ ප්‍රකාශනයේ ජනතාවගේ ව්‍යවස්ථාව යන මාතෘකාව යටතේය. එහි දැක්වෙන ආකාරයට, “දැනට ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුව විසින් ආරම්භ කරන ලද අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාව මත විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වය, බලය බෙදාහැරීම සහ මැතිවරණ ක්‍රම පිළිබඳ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සියලු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ප්‍රමාදයකින් තොරව අවසන් කෙරෙනු ඇත. පරිණාමීය ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත ඔස්සේ අපගේ නොසැලෙන ගමන දිගටම යමින් ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කෙරෙනු ඇත”. එම ප්‍රකාශනයේ වැඩිදුරටත් දක්වා තිබෙන ආකාරයට, “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මත ගොඩනැගෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ වැඩි සිවිල් සමාජ සහභාගිත්වයක් ප්‍රවර්ධනය කිරීම මගින් පත්කරන ලද කොමිෂන් සභාවල ඵලදායිතාව සහ ස්වාධීනත්වය වැඩි කරනු ඇත. සියලුම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වෘත්තිකයන් හෝ වෙනත් කීර්තිමත් පුද්ගලයන්වනු ඇත. ජාතික ලැයිස්තුවෙන් පත්වන නියෝජිතයන්ගෙන් අවම වශයෙන් සියයට 25 ක් කාන්තාවන් බව නියම කිරීමෙන් පාර්ලිමේන්තුවේ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම නීතිගත කෙරේ”.

සජිත් විරෝධී සමහරුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ එමගින් බලය බෙදා හැරීම සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනාව දකින්නේ රට දෙකඩ කිරීමට ව්‍යංගයෙන් කරන ලද ප්‍රකාශයක් ලෙසය. එහෙත් මෙම චෝදනාව සජිත් කොන්දේසි විරහිතව ප්‍රතික්‍ෂෙප කර තිබෙනවා පමණක් නොව ඒකීය රාජ්‍ය ක්‍රමය කිසිදු ආකාර වෙනසකට ලක් නොකරන බව අවධාරණයෙන්ම කියා සිටී. මැතිවරණ ප්‍රකාශනයේ ‘ජනතාවට බලය’ යන මාතෘකාව යටතේ සජිත් ප්‍රකාශ කර තිබෙන ආකාරයට, “අපගේ මව්බිමේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ දේශපාලන ස්වාධීනත්වය අපි ආරක්‍ෂා කරන්නෙමු. රජයේ තීරණ ගැනීම අපි ජනතාවට සමීප කරවන්නෙමු. නොබෙදුණු හා වෙන්කළ නොහැකි ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා හැරීමක් ක්‍රියාත්මක කෙරේ. එහිදී බලය බෙදා හැරීම අර්ථවත් වනු ඇති අතර, කාර්යක්‍ෂමතාවය වැඩිවී නාස්තියද අඩුවේ. බලය බෙදා හැරීම නිසා නීතියෙන් හා ප්‍රායෝගිකව පමණක් නොව හදවතින්ද සියලු ශ්‍රී ලාංකිකයින් අතර සැබෑ සමගිය ඇති කිරීම අප විසින් සහතික කෙරෙනු ඇත”.

සජිත්ගේ මැතිවරණ ප්‍රකාශනයේ අන්තර්ගත ඉහත සඳහන් කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ ජාතික සංහිඳියාව ඇති කිරීම හරහා ජාතිය ගොඩ නැංවීම සහ රාජ්‍යය ගොඩ නැංවීම යන කරුණ කෙරෙහි ඔහු කොතරම් කැපවී සිටිනවාද යන්නය. අපේ රට ආර්ථික හා සමාජයීය වශයෙන් ඉදිරියට යාමට නම් විසඳා ගතයුතු පළමු සහ වැදගත්ම ප්‍රශ්නය වන්නේ ජාතික සමගිය ගොඩනඟා ගැනීමය. එය නොමැතිව දේශපාලන ස්ථාවරභාවය ගොඩ නැඟිය හැකි නොවේ. දේශපාලන ස්ථාවරභාවය නොමැතිව අනෙක් කිසිදු ප්‍රශ්නයක් විසඳිය හැකි නොවේ.

පසුගිය දසක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ අප රට මුහණදී තිබෙන ඛේදවාචකයෙන් පෙන්නුම් කරන්නේ මෙම යථාර්ථයයි. මීට ඉහතින්ද දැක්වූ පරිදි සජිත්ගේ මැතිවරණ ප්‍රකාශනයෙන් අවධාරණය කරන අනෙක් වැදගත් කරුණ වන්නේ රට තුළ යළිත් වරක් ආඥාදායක පාලන ක්‍රමයක් ඇතිවීමට ඉඩ තොතබන බවය. මෙය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනාගේම පැසසුමට ලක් වූ කරුණක් වේ. මිනිසුන්ට අවශ්‍ය වන්නේ නිදහස් සමාජයක නිදහස් පුරවැසියන් ලෙස ජීවත්වීමට මිස රාජාණ්ඩු පාලන ක්‍රමයකට යටත්වී වහලුන් ලෙස ජීවත්වීමට නොවේ. නිදහස් සමාජයක ජීවත්වීමට සෑම ඉඩකඩක්ම ඇතිකරන බව සජිත් ප්‍රකාශ කර ඇත. සජිත්ගේ මැතිවරණ ප්‍රකාශනයේ අන්තර්ගත අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙයයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය
එම්.ඕ.ඒ. ද සොයිසා