පසුගිය අගෝස්තු දහසය වැනි දා, එනම් ජනාධිපතිවරණයට ලක ලෑස්තිවන කාලයේ ලංකාදීප කිවිදා දැක්ම සඳහා මා ලියූ ලිපියේ මාතෘකාව වූයේ ගෝඨාභය සාධකයක් ද මෙවලමක් ද යන්නය. ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ උත්සවය පිළිබඳව සංඥාර්ථවාදී නිරීක්ෂණ ඒ ලිපිය සඳහා හේතුපාදක විය. එය එසේ වුවත්, රාජ්‍යවාදී නැතහොත් රාජ්‍ය කේන්ද්‍රීය දෘෂ්ටිවාදී පදනමක සිටින මා හට ඒ සඳහා බලපෑ හේතුව එයම නොවේ. එනම් මේ රට රාජ්‍යයක් නොවේ යන මගේ කියවීම (ඇතැමෙකුට අනුව සාහසික කියවීම) එහිලා අතිශයින්ම ප්‍රබල විය. අසම්බන්ධිත, විසිරුණු, බෙදුණු දේශපාලන, ආර්ථික, පරිපාලන සහ වෙළඳපොළ වශයෙන් වූ ස්වාර්ථකාමී වැයික්කි දේශපාලනය අපේ රට විධිමත්, ශීලාචාර සහ ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් වීම වැළැක් වූ ප්‍රධාන සාධකයෝය.

එසේම ආර්ථිකය වෙනුවට ජාවාරම බලවත්වීම සහ ඒ ජාවාරම දේශපාලනයේ ස්වභාවය තීරණය කොට මෙහෙයවීම නිසා කළල මට්ටමේ තිබුණු රාජ්‍ය ජීවිතය ඉරිතලා ගොස්ය. දේශපාලනය අදේශපාලනික ශරීරකරුවන්ගේ අත්අඩංගුවේය. එවැනි පසුබිමක ගෝඨාභයගේ ආගමනය මේ රට දියුණු රාජ්‍යයක් කිරීමේ මෙහෙයුම් සාධකය විය යුතුය යන්න ඒ ලිපියේ ප්‍රමුඛතම යෝජනාව වූයේ සැක සංකා ද සහිතවය. මන්ද අප හැමදාම ගිනිපෙණෙල්ලෙන් බැට කෑ අයය. අගෝස්තු ලිපියෙන් ගත් මේ උපුටනය බලන්න.

“ගෝඨාභය සාධකයක් ද සහ මෙවළමක් ද යන්න මේ මොහොතේ නැඟිය යුතු වැදගත් පැනයකි. පොදුජන පෙරමුණ තම පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මෙරට සමාජ, දේශපාලන, ආර්ථික විපරිවර්තනයක සාධකයක් වනු ඇතිද නැතහොත් පවතින තත්ත්වයම ඉදිරියට ගෙනයාමට කැමැත්තක් ඇති අයගේ මෙවලමක් බවට පත්වේද යන්න විමසා බැලිය යුත්තේ ඒ විමසා බැලීම රටේ අනාගතය පිළිබඳව තීරණාත්මක වන නිසාය. (2019 අගෝස්තු 16).”

දැන් ගෝඨාභය රාජපක්ෂ අපේ රටේ විධායක බලැති ජනාධිපතිවරයා පමණක් නොවේ. ගෝඨාභය යනු ඉන් එහාට ගිය බහුජන මනෝභාවයක්ය, බලවේගයක්ය, සමාජ විපරිවර්තකයක්ය. අප ඇසිය යුත්තේ ගෝඨාභය යනු කවුරුන්ද කියා නොව ගෝඨාභය යනු කුමක් ද යන්නය. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළත් ජනාධිපති ධුරය භාරගැනීමේ ක්‍රියාවලිය තුළත්, ධුරය භාරගත් සැණින් ගත් තීන්දු තීරණ තුළත් පෙනෙන්නේ ගෝඨාභය කවරෙකුගේ හෝ මෙවලමක් නොවී සමාජ විපරිවර්තනයේ සාධකයක් වන ලකුණුය, මේ රට විධිමත් සමාජ, ආර්ථික, දේශපාලන සංස්කෘතියක් සහිත ශිෂ්ට රාජ්‍යයක් බවට පත් කිරීමේ සාධකය සහ බලවේගය බවට පත් කිරීමේ විභවතාවක් ඇති බවට වූ ලකුණුය.

මේ සාධකය සහ බලවේගය ශක්තිමත් කිරීම, නිසි මඟෙහිම තබා ගැනීම සහ රැකගැනීම පිළිබඳ අභියෝගය ජය ගැනීම පොදු ජනයා සතුය. නායකයාගේ සරල බව, විනයානුකුල බව සහ ජාතික ගුණය අතිමුලික වුවත් රටක් විධිමත් දියුණු රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා එයම ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා සරල බවට, විනයගරුක බවට, ජාතික කේන්ද්‍රීයතාවට ජනසමාජයේ ගෞරවය, උනන්දුව සහ පිළිපැදීම අත්‍යවශ්‍යය. එය මහා කැපවීමකි. එය දැඩි කැපවීමකින් යුතුව ජය ගත යුතු අභියෝගයකි.

එසේම ඒ පොදු ජනයාගේ එවැනි කැප කිරීමක් සඳහා වූ මනෝභාවය නො නසා ඉදිරියට නඩත්තු කරගෙන යෑමේ අභියෝගය ජනාධිපතිවරයා ද ජය ගත යුතුය. ඒ සඳහා සාර්ව මට්ටමේ සහ ක්ෂුද්‍ර මට්ටම්වලට අදාළව ගන්නා තීන්දු තීරණ ඉතා වැදගත්ය. ජාතික මට්ටමේ ජාතික අභිලාෂ ඉටුකරගත හැකි වන්නේ ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමේ ආණ්ඩුකරණය අර ජාතික අභිලාෂ සාධනය සඳහා මෙහෙයවිය හැකි ආකාරයෙන් එකී මට්ටම්වල නියෝජනය විධිමත් ලෙස ජාලගත කිරීමෙනි. ඒ සඳහා වූ කුසලතා සහිත වූවන් ආණ්ඩුකරණ වැඩ බිමට කැඳවීම අත්‍යවශ්‍යමය. ඊට දඩයම් න්‍යාය නොව රාජ්‍ය තාන්ත්‍රික න්‍යාය යොදා ගත යුතුය. මට දැනෙන ආකාරයට ඒ ක්‍රියාවලිය ඒ තරම් පහසු නැත. එහෙත් විධිමත් ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනඟා ගැනීම සඳහා නම් එවැනි ක්‍රියාදාමයකට යා යුතුමය. එහිදී රටට ආදරය කරන, රට ගැන ආඩම්බර වන, රට ගැන රාජ්‍යවාදී දැක්මක් තිබෙන නායකත්වයක් යනු ඒ ආකාරයේ දුෂ්කරතා සහ අභියෝග ජය ගැනීමේලා උත්තේජකයක්ය.

මෙවර ජනාධිපතිවරණයේ දී හැටනව ලක්ෂයකට අධික ජනකායක් විසින් ගෝඨාභය ජනාධිපතිවරයා කෙරෙහි තැබූ “මහා විශ්වාසය” සහ ඔහු මගින් සාධනය කර ගැනීමට අපේක්ෂිත “මහා බලාපොරොත්තුව” සුළුපටු එකක් නොවේය. ඒ මහා විශ්වාසය වන්නේ ශ්‍රී ලංකාව විධිමත් දියුණු රාජ්‍යයක් කිරීමට ඔහුගේ නායකත්වයට හැකියාවක් ඇතැයි යන්නය.
ඒ ජනයාගේ මහා බලාපොරොත්තුව වන්නේ දශක අටක පමණ වූ දීර්ඝ කාලයක් තිස්සේ දකින්නට නොලැබුණු විධිමත් දියුණු රාජ්‍යයක තමන්ලාටත් තමන්ලාගේ ඉදිරි පරම්පරාවලටත් නිවී සැනසිල්ලේ ජීවත් වන්නට ඉඩ කඩ ලැබේවා යන්නය. මඟ දිගට කිරිබත් උයා සතුටින් බෙදා හදා ගෙන ජය සමරන ඒ ජනයාගේ ඒ මහා බලාපොරොත්තුව ඉටු කිරීමට නව ජනාධිපතිවරයාට ඉඩකඩ සැලසීම, සහාය දීම සහ එසේ බැරි අය පැත්තකට වී සිටීම සිදුවිය යුතුමය. ඡන්දයකින් පසු තමන්ලා කළ කැපවීමට සරිලන ආකාරයේ තනතුරුවන්දි ඉල්ලීමේ, එනම් දඩයමක් කරගත් පසු එය බෙදාගෙන කෑමේ ගෝත්‍රික සම්ප්‍රදාය ප්‍රති අනුගමනය නොකර, නොදියුණු දේශපාලන සංස්කෘතික පුරුදුවලින්  නව ජනාධිපතිවරයා පීඩාවට පත් නොකිරීමට ඒ කවුරු කවුරුත් වගබලා ගත යුතුය, පරිස්සම් විය යුතුය.

දේශපාලනය කරන්නන් එය කරන්නේ විවිධ අරමුණු මත පදනම්වය. පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට එනම් ස්වාර්ථ සාධනයට දේශපාලනය කිරීම ඉන් එකකි. එහි දී තමා සහ පවුල කේන්ද්‍රීය වීම සාමාන්‍ය දෙයකි. අපේ රටේ දේශපාලනය කරන්නන් බොහොමයකගේ අරමුණ එයය. ඡන්දයක දී පෙරමුණ ගන්නා බොහෝ දෙනකුගේ අරමුණු අර මුලින් කී දඩයම් සම්ප්‍රදායට සමානය. රට මේ සා වූ විනාශයකට ඇද වැටී ඇත්තේ ඒ නිසාය. ඒ සම්ප්‍රදාය නැවත නැවත ප්‍රති-නිෂ්පාදනය විය යුතු නැත. වුවමනාවක් ඇත්නම් ඒ ප්‍රතිනිෂ්පාදනය නැවැත්විය හැක්කේ නව ජනාධිපතිටමය. ඉන් එහාට මේ රටේ ජනයා බලාපොරොත්තු වන්නේ කාගේ නායකත්වයද? මට නම් එය ගැටලු සහගතය. මන්ද හැට නව ලක්ෂයකගේ මා ඉහත කී “මහා බලාපොරොත්තුව” ඉටු නොවුණොත්, සමාජය තුළ ඇතිවන අපේක්ෂා භංගත්වය ප්‍රගතිශීලී නව ආරම්භයකට යොමු කිරීමේ මහා බලවේගයක් රට තුළ මතුවේ දැයි සැක හිතෙන නිසාය.  

කුඩා කණ්ඩායම් ලෙස සාමුහික වී දේශපාලන වශයෙන් ගැඹුරු දාර්ශනික සහ න්‍යායික තර්ක විතර්ක ඉදිරිපත් කරමින් සමාජය සහ ලෝකය විග්‍රහ කිරීම අරමුණු කරගත් දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයෝ සිටිති. ඔවුන්ට බිය විය යුතු නැත. ඔවුන්ට කරදර කළ යුතු ද නැත. ඔවුන්ගෙන් ලස්සනක් මිස රටකට සිදුවන හානියක් නැත. දියුණු සමාජ-, දේශපාලන, සංස්කෘතියක රාජ්‍යයක ලක්ෂණය වන්නේ එවැන්නන් සඳහා සලසන ඉඩකඩ සහ පහසුකම්ය. ඉන් පාඩුවක් නැත්තේ මේ වැන්නන්ගේ අදහස් සහ මත නිසා සමාජයක සමාජ දේශපාලන පරිණතභාවය ක්‍රමානුකූලව වර්ධනය වන නිසාය.

ජාතික නැතහොත් රාජ්‍ය පරමාර්ථ සාධනය සඳහා රාජ්‍ය කේන්ද්‍රීය දේශපාලනයක නිරත වීම තවත් අරමුණකි. අමාරුම එහෙත් අත්‍යවශ්‍යම දේශපාලනය එයය. එය දඩයම් සම්ප්‍රදායට වඩා වෙනස්ය. එය සාර්ව සහ ක්ෂුද්‍ර මට්ටමින් රටක ජාතික අභිලාෂ මත පදනම්ව දේශපාලන ක්‍රියාවලිය මෙහෙයවන රාජ්‍යතාන්ත්‍රික සහ කුසලතාතාන්ත්‍රික සම්ප්‍රදායයි. ලෝකයේ දියුණු සමාජ -දේශපාලන සංස්කෘති පවතින හැම රටක්ම ඒ තත්ත්වයට පත් වූයේ ජාතික සහ රාජ්‍ය කේන්ද්‍රීය පරමාර්ථ සාධනය සඳහා නායකත්වය සැපයූ නායකයන් සහ ඒ නායකත්වයට අනුව සමාජය සංවිධානය කිරීමට ක්‍රියා කළ පුරවැසියන් නිසාය. ගෝඨාභය ජනාධිපති යනු ඒ සම්ප්‍රදායට අයිති සහ අයිති විය යුතු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. අසම්බන්ධිත, විසිරුණු, බෙදුණු දේශපාලන, ආර්ථික, පරිපාලන සහ වෙළඳපොළ වශයෙන් වූ ස්වාර්ථකාමී වැයික්කි දේශපාලනය පැලපදියම් වී ඇති අපේ රට, විධිමත්, සම්බන්ධිත, ශීලාචාර සහ ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් කිරීම සඳහා වූ සාධකයකි. ඒ රාජ්‍යවාදී සාධකය රටේ උන්නතිය සඳහා නිසිලෙස යොදවා ගැනීම සහ මෙහෙයවා ගැනීමට කටයුතු කිරීම කාගේ කාගේත් වගකීමක්ය. සෙස්ස පස්සට.