(කෝවිද ගුණසේකර)

කොළඹ කන්දක් තිබේදැයි ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක් වනු ඇතිද? ඔබ පිට පළාතක අයකු නම් නොඅනුමානවම කොළඹ මොන කඳු ද? යැයි පෙරළා අසනු ඇත.කොළඹම වාසය කරන අයකු නම් මඳක් කල්පනා කර මෙසේ පවසනු ඇත.‘කන්දක් කියලා තියෙන්නේ අර කුණු කන්ද තමයි‘යැයි පවසනු ඇත.

සැබැවින්ම කොළඹ, මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඇති කුණු කන්දට, දිවයිනේ වෙනත් පෙදෙස්වල ස්වභාවිකවම පිහිටා ඇති කඳු පරාදය.වසර ගණනක් තිස්සේ ගොඩගැසී ඇති කුණුවලින් දැනටමත් මීටර ගණනක් උසට නැගී ඇති කන්ද, විමසුමක් නොමැතිව අදටත් ගොඩගසන කුණුවලින් තව තවත් ඉහළට නැගෙමින් පවතී.ඉවත් කරන බවට, ප‍්‍රතිචකි‍්‍රීකරණය කරන බවට, ආදී ලෙස විවිධ තනතුරු හොබවන පුද්ගලයෝ කලින් කළට පොරොන්දු පිට පොරොන්දු දුන්නද කන්ද තවමත් එතැනම ය.

කොළඹ වුවත්, නගරයෙන් දුරස්ව වෙසෙන අප බොහෝ දෙනකුට කන්ද තිබුණාද නැතිය කියා වෙනසක් නැත.නමුත් කන්ද අවට වාසය කරන දහස් ගණනක් දෙනාගේ ඉවසීම දැන් කෙළවරට ආසන්න වන්න ඔන්න මෙන්න ය.පැය 24 පුරාම නැගෙන දුර්ගන්ධයත්, කපුටන් ආදී සතුන් කසළ ඇද දමමින් සිදුකරන විනාශයත්, වාතය, ජලය, පස ආදී සියලූ සංඝඨක දූෂණය වීම නිසා ඇතිව තිබෙන සෞඛ්‍යය ගැටලූත් වසර ගණනක් තිස්සේ දරාගෙන, ඉවසාගෙන සිටින ඔවුන්ගෙන් තවත් කාලය ඉල්ලා සිටිය නොහැකිය.

කන්දෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ කොළොන්නාව,  දහම්පුර ග‍්‍රාම නිලධාරී වසමේ, 101 වත්ත ප‍්‍රදේශයට අයත් වන ජනතාව ය.පසුගියදා ගංවතුර උවදුරෙන් දරුණු ලෙසම බැට කෑ ඔවුන්ගෙන් බහුතරය මෑතක් වන තුරුම සිටියේ අසළ පිහිටි කී‍්‍රඩාංගණයක ඉදිකළ තාවකාලික කූඩාරම්වලය.වර්ෂාව අවසානයේ ජලය බැස ගිය පසු, බලධරයින්ගේ ඉල්ලීම මත ඔවුහු නැවත තම වාසස්ථාන බලා ගියමුත්, ඔවුන්ව පිළිගත්තේ කැඞී බිදී විනාශ වී ගිය, අවුරුදු ගණනක් දුක් මහන්සිව උපයාගත් බඩු බාහිරාදිය තැන් තැන්හි විසිර තිබූ දසුනකි.

නැවත නැගිටින්නට ඔවුනට රජයේ සහය අත්‍යාවශ්‍යම විය.එනිසා ඔවුහු ඉල්ලීම් ඉදිරිපත් කළහ.ඒ අනුව නිවෙස් නැවත ගොඩනගාගැනීමට රුපියල් දස දහසක් අනුමත විය.විනාශ වූ නිවසක් රුපියල් දස දහසකින් නැවත පිළිසකර කිරීම යනු වත්මන් භාණ්ඩ හා සේවා මිල සැළකීමේදී අතිශයින් අපහසු දෙයකි.නිවෙස් පිළිසකර කිරීමට යැයි එම මුදල ලබාදෙන්නට නියමිතව තිබුණද, එදිනෙදා ජීවන කටයුතු වෙනුවෙන් මුදල් යෙදවීමට සිදුවීමද නිසා, රුපියල් දසදහසක් කළමනාකරණය කරගැනීම ඔවුනට බැරෑරුම් රාජකාරියක් විය.

‘රුපියල් දසදාහකින් පුළුවන්ද මේ ගෙදරක් හදාගන්න? ඉතින් අපි ඉල්ලා හිටියා වැඩිපුර මුදලක් ලබාදෙන්න කියලා.කොහොම හරි රුපියල් 25,000 ක් වෙනකන් මුදල ඉහළ දාන්න එයාලා කැමති වුණා.මේ දේ කරගන්න අපිට කොච්චර රස්තියාදු වෙන්න වුණාද කියලා දන්නේ අපිම විතරයි.‘ වැසියෙක් පැවැසුවේය.

කෙසේවුවත් වත්තේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගැනීමේදී රුපියල් 25,000 ක් තබා රුපියල් ලක්ෂ ගණනකින් හෝ ඔවුනට නැවත ජීවිතය ආරම්භ කිරීමට හැකිවේදැයි යන්න ගැටලූවකි.ගංවතුර උවදුරින් පරිසරයට සිදුව ඇති හානි තවමත් එසේමය.විටින් විට නිවෙස්හි ගෙබිමින් මතුවන දිය උල්පත් එවැන්නකට උදාහරණයකි.මෙවැනි තත්ත්වයක් වැසි සමයට පෙර දැකගත නුහුණු බව නිවැසියෝ පවසන්නෝය.

ලෑලි ගසා ඉතාම ප‍්‍රාථමික ලෙස තනා ඇති නිවෙස්වල පාදම ජල ගැල්මට හසුව ඉතාම දරුණු ලෙස හානියට පත්ව ඇත.ඒ මත තනා ඇති බිත්ති පවතින්නේ පෙරළීමට ඔන්න මෙන්න ස්වභාවයකිනි.

‘ගංවතුර හින්දා මේ ගෙවල් දැන් සෑහෙන දුරකට විනාශ වෙලා තියෙන්නේ.අත්තිවාරම එහෙම ගන්න දෙයක් නැහැ.මේ පේනවානේ බිත්තිය අල්ලපුවහම හෙළවෙන හැටි.‘ ගංවතුරින් හානියට පත්වූ නි‍වෙසක් නැරඹීමට ගිය අවස්ථාවේදී එහි නිවැසියෝ පැවසූහ.

අත්තිවාරම් පමණක් නොව බිත්තිවලට යොදා තිබෙන ලෑලි ද ජලයෙන් පෙඟී පුස් බැදී විනාශව යමින් ඇත.මෙවන් විනාශයක් රුපියල් 25,000 ක මුදලකින් යථා තත්ත්වයට පත්කළ හැකිදැයි යන්න ඇත්තෙන්ම ගැටලූවකි.යථාර්ථය සැළකුවහොත්, බොහෝ දෙනකුට රැකියාව ඇතුළු දෛනික ජීවන කටයුතු සියල්ල මුල සිටම ආරම්භ කිරීමට සිදුව ඇති නිසා ලබාදී ඇති රුපියල් 25,000 ක මුළු මුදලම නිවෙස් අලූත්වැඩියාවට යොදවන්නට හැකියාවක් ඇතිදැයි යන්නද විමසිය යුතු කරුණකි.

නිවෙස්වලට මීටර ගණනක දුරින් පිහිටා තිබෙන්නේ කුණු කන්ද නිසා වත්ත අවට පරිසර දූෂණය කුමන තත්ත්වයක පවතීදැයි යන්න කීමට අටුවාටීකා අවැසි නැත.නමුත් එහි වැසියෝ පුළු පුළුවන් අයුරින් යහපත් සෞඛ්‍යය පුරුදු අනුගමනය කිරීමට පුරුදුව සිටීම අගය කළ යුතුය.නමුත් වත්ත අසබඩින් ගලා බසින ඇළ මාර්ගය, කැළි කසළින් පිරී අවහිරව, අපවිත‍්‍ර ජලයෙන් පිරී තිබීම නිසා කුමන සෞඛ්‍ය පුරුදු අනුගමනය කළද ඒවා සාර්ථක වන්නේ යම් මට්ටමකට පමණි.

‘හවසට මදුරු කරදරය ඉවසන්න බැහැ.ඒ වගේම මේ වත්තේ තියෙන ගෙවල්වල වැසිකිළි නළ යොමු කරලා තියෙන්නේ මේ ඇළට.ඉතින් ඇළ අවහිර වෙනවා කියන්නේ ඔක්කොම විනාසයි කියන එක.ගොඩක් වෙලාවට මේ වැසිකිළි නළත් අවහිර වෙනවා.ඒ වෙලාවට තත්ත්වය මොන වගේද කියලා කියන්න වුවමනා නැහැ නේද ?, බැලූවහම පේනවනේ.‘ කාන්තාවක් ඇයගේ නිවෙසේ තත්ත්වය පෙන්වමින් පැවැසුවාය.

ඇත්තෙන්ම සනීපාරක්ෂක කටයුතුවල තත්ත්වය ඇත්තේ ඉතාම දරුණු මට්ටමකය.පොළොවින් ඉහළට නිරාවරණයව ඇති වැසිකිළි නළ බොහෝ අවස්ථාවල තිබෙන්නේ උතුරා යමිනි.කුණු කන්ද පරදන දුර්ගන්ධයක් ඒවායින් නැගේ.සහනයට කිසිවකුත් නොපැමිණෙන තැන එයද විද දරාගෙන සිටීමට වැසියන්ට සිදුව ඇත.

‘මේ පැත්තට කවුරුවත් එන්නේ නැහැ.ආවත් සුද්ද කරවන්න  ඕනේ අපේ අතින් ගාණකුත් එයාලට දීලා.ඉතින් ගොඩක් වෙලාවට දෙයක් කරගත්තොත් ඒ අපිම තමයි.‘ තවත් නිවැසියෙක් කීවේය.

මෙතරම් ගැටලූ ඇති තැනක තවදුරටත් රැඳී සිටින්නේ ඇයි? විමසූ විට ඔවුන් එකාවන්ව දුන්නේ මෙවැනි පිළිතුරකි.

‘අපි නම් කොහොමත් මෙතන රැඳිලා ඉන්න කැමති නැහැ.අපිට වුවමනා මෙතනින් යන්න.‘

කුණු කන්ද හා ඒ එවට ජනතාව සම්බන්ධයෙන් රටේ අනෙක් ජනතාව අතර ඇත්තේ පොදු මතයක් බව සඳහන් කිරීමේ වරදක් නැත.මේ කියවන ඔබද, ලියන අපද ඇතුළුව සියලූදෙනාගේ සිහියට කුණු කන්ද හා ඒ අවට ජනතාව ගැන මතක් කළ සැනෙන් නැගෙන්නේ අවිනීත, අශ්ලීල, ගුණධර්මයන්ගෙන් පිරිහුණු, අධ්‍යාපනය හීන, පිරිසක්ය.නමුත් මෙය යථාර්ථයෙන් බොහෝ දුරය.101 වත්ත වැසියන්ටද ඔවුනටමය කියා සිහින ඇත.දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම එයින් ප‍්‍රධානය.හොඳ ජීවන තත්ත්වයක් ගොඩනගා ගැනීම, හොඳ නිවසක් තනා ගැනීම, ආදී අප ද මවන සිහින ඔවුනට එළෙසම ඇත.

මොවුන් මෙතැනින් ඉවත් කරනු වස් රුපියල් ලක්ෂ 15 බැගින් නිවැසියන්ට වන්දි දී සිය කැමැත්තෙන්ම ඉවත් වීමට අවස්ථාව ලබාදී ඔවුන්ගේ නිවාස කඩා ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් රජය කි‍්‍රයාත්මක කර ඇතත් එහි ප‍්‍රගතිය බැලූ බැල්මට ගැටලූකාරීය.ඇතැම් තැන්හි නිවෙස් කඩා දමා ඇති අතර එම නිවෙස් ආසන්නයේම පිහිටා තිබෙන අනෙක් නිවාස කඩා දමා නැත.නැවත මදක් ඈතට වන්නට පිහිටි නිවාස පේළියක් කඩාදමා ඇත.

‘ඡන්ද නාම ලේඛනයේ නම් තියෙන හැටියටලූ ඔය ගෙවල් කඩන්නේ.එහෙනම් ඉතින් මෙතන අවුරුදු ගණන් හිටපු අයගේ මුලින්ම අයින් කරන්න  ඕනේ.නමුත් අලූතින් ආපු අය යද්දී පරණ අය එහෙමම ඉන්නවා සමහර තැන් වල.නම නැත්නම්, වන්දි නැහැ.‘ නිවැසි කාන්තාවක් කීවාය.

රජයේ පාර්ශ්වයෙන් මෙසේ කටයුතු කිරීමේ පදනමක් තිබුණද, වසර ගණනක් 101 වත්ත ප‍්‍රදේශයේ වාසය කරන, ලිපින ඇති නිවාස හිමි, නමුත් අතපසුවීමකින් ඡන්ද නාම ලේඛනයට නම් ඇතුළත් කරගත නොහැකිවුනු පුද්ගලයින්ට එයින් සිදුවන්නේ අසාධාරණයකි.

‘ අපි නම් කියන්නේ රජයේ නිලධාරීන් මීට වඩා අපිත් එක්ක සමීපව කටයුතු කරන්න වුවමනායි කියලා.ඒ අය අපි ළඟටවත් එන්නේ නැති නිසා අපි තමයි හැම වෙලාවෙම ඒ අය ගාවට යන්නේ.එහෙම ගියාට අපිව ගණන් ගන්නේවත් නැහැ.අපි මෙතන අනවසරයෙන් ඉන්න අය නෙවෙයි.වන්දි හරියට දෙනවානම් අපි අද වුණත් ලැහැස්තියි මෙතනින් පිටවෙලා වෙන තැනකට යන්න.ගංවතුරින් පස්සේ මෙතන දැන් හොඳටම නරක අතට හැරිලා තියෙන්නේ.‘ කුඩා දරුවන් දෙදෙනකුගේ පියකු වන නිවෙස් හිමියෙක් පැවසුවේය.

වන්දි ලබාගත් ඇතැම් පුද්ගලයෝ වෙනත් අනන්‍යතාවන්ගෙන් පෙනී සිටිමින් තවමත් වත්තේ රැඳී සිටින බවත්, එනිසා ක‍්‍රමානුකූලව වන්දි ලබාදීම දුෂ්කර වී ඇති බවත් බලධරයින්ගේ පාර්ශවයෙන් නැගෙන චෝදනාවයි.වත්තේ වැසියන් එයට දෙන්නේ මෙවැනි පිළිතුරකි.

‘ ඉතින් එයාලා දන්නවානම් කවුද වන්දි අරගෙන තවමත් ගමේ ඉන්නේ කියලා ඇයි පියවර ගන්නේ නැත්තේ ඒ අය ඉවත් කරන්න? ඒකට අයිතිය තියනවානේ? එහෙම නැතිව හැමෝටම චෝදනා කරන එක වැරදියි.සමහර අය මෙතන වෙන වෙන දේවල් කළාට, අපි ගොඩක් දෙනෙක්ට වුවමනා මෙතනින් ඉක්මනටම පිටවෙලා යන්න.ඒක කරන්න උදව් කරන්න අපිට.‘ ඔවුහු ඉල්ලන්නෝය.

වන්දි ලබාදීමේදී පිළිගත් සම්ප‍්‍රදාය වන්නේ එම වන්දි ලබාගත් පුද්ගලයන්ගේ ප‍්‍රගතිය පිළිබදව පසුවිපරමක් සිදුකිරීමය.නමුත් අප රට සැළකූ විට වන්දි හා දීමනා ඇති පමණින් ලබාදෙතත්, පසු විපරමක් සිදුවන්නේ ඉතාම අවම මට්ටමකිනි.මෙයින් වාසි සැලසෙන්නේ වංචනිකයින්ටය.නමුත් එසේය කියා සියලූම දෙනා එකම මිම්මෙන් මැනීමෙන් බලධරයින් වැළකී සිටිය යුතුය.එය වෘත්තිකයකුට ඔබින හැසිරීමක් නොවේ.

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන් නාගහමුල වැසියන්ට මුහුණදීමට සිදුව ඇති අලූත්ම ගැටලූව වන්නේ කුණු කන්ද සෙමෙන් සෙමෙන් නිවාස ඉදිකර ඇති පෙදෙසට ගොඩ කරමින් තිබීමය.දුගඳ හාත්පස සිසාර යමින් ඇත.පසුගිය දින කිහිපයේදීම බැකෝ යන්ත‍්‍ර කන්ද මුදුනේ සිට වත්ත පෙදෙසට කුණු කපමින් ගොඩගැසූ බව වැසියෝ පවසති.

’ තවත් කැපුවොත් කන්ද නවතින්නේ ගෙවල් උඩින්.ඇයි මෙහෙම කරන්නේ කියලා අපි දන්නේ නැහැ.පහුගිය දවසක අපි එක්තරා මාධ්‍ය ආයතනයකට කතා කළා මේ ගැන කියන්න.ඒ අය එද්දී, බැකෝ යන්ත‍්‍ර ඔක්කොම කන්දෙන් ඉවත් වුණා එක සැරේට.‘ නිවැසියෙක් කීවේය.

රටේ වත්මන් ප‍්‍රවණතා හමුවේ රුපියල් ලක්ෂ 15 බැගින් එකිනෙකාට මුදල් ලබාදීම දුෂ්කර බව පිළිගන්නට තරම් ඔවුහු නිහතමානී වූහ.නමුත් එසේ යැයි කියා තමන්ව නොසළකා හැරීම සුදුසු නොවන බවත්, විසඳුමක් ලැබෙන තෙක්ම අරගල කිරීමට සූදානමින් සිටින බවත් ඔවුහු අවධාරණය කළහ.

‘ මේ දේ හරි කරන්න.අඩුම තරමේ ඔය ලොකු ලොක්කෙක් අපි එයා ගාවට එනකන් බලන් ඉන්නේ නැතිව, අපි ගාවට ඇවිල්ලා පොඞ්ඩක් කතා කරන්න.අපි විදින දුක තේරුම් ගන්න පුළුවන් එතකොට.ඇත්තම කතාව නම් කවුරුවත්ම මෙහෙට එන්නේ නැහැ.එයාලා එයාලගේ කාර්යාලවල.‘ නිවැසි කාන්තාවක් අදහස් දැක්වූවාය.

එකම අවස්ථාවේ වන්දි ලබාදී මෙම පුද්ගලයන්ව ඉවත් කිරීමට බලධරයින්ට හැකියාවක් නොමැති බව සැබෑය.එය කිරීමට නිසි ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත්, කල්ගතවීම ස්වභාවික බවත් සැබෑය.නමුත් එසේ යැයි කියා තවත් කල් මැරීමට ඔවුනට අයිතියක් නැත.ඒ මෙම ගැටලූව අද ඊයේ මතුවූවක් නොවන නිසාය.එනිසා මෙවර හෝ දැනෙන වෙනසක් සිදුකිරීම ඔවුන්ගේ වගකීම වන්නේය.ඒ අතරවාරයේ කුණු කන්ද අවට වැසියන් හමුවට ගොස් ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන, ඒවා හැකි පමණින් ඉෂ්ට සිද්ධ කරදීමට පියවර ගැනීමද සිදුවිය යුතුය.අමතක නොකර පසු විපරමක්ද සිදුකළ යුතුය.

 

තවද මුදල් හා වන්දි ලබාදීමේ කටයුතු වලදී, වියදම් කළ යුතු හා නොයුතු දේ වටහාගැනීම සදහා මූල්‍ය සාක්ෂරතාව පිළිබද පුහුණුවක් අදාළ ජනතාව වෙත ලබාදීමට කටයුතු කිරීම වටී.මෙම අවස්ථාවේ වුවද ලබාදුන් රුපියල් 25,000 ක මුදල ඔවුන් වැඩි වශයෙන් වියදම් කර ඇත්තේ නිවස සාදාගැනීමට නොව එදිනෙදා කටයුතු වලටය.එහි ඇත්තෙන්ම වරදක් නැත.නමුත් නිසි මඟපෙන්වීමක් ලැබුණි නම් තත්ත්වය මෙයට වඩා වෙනස් වීමට හොඳින්ම ඉඩකඩ තිබුණි.

දැන් ඇතිය.කුණු කන්ද ගැන වුවමනාවටත් වඩා වාර්තා පළවී, එකිනෙකාට චෝදනා කර, එයිනුදු නොනැවතී කුණුත් ගසා අවසන්ය.දැන් අවැසි වන්නේ ඉදිරියට පියවර ගැනීමක්ය.දුකට පත්ව සිටින 101 වත්ත ජනතාව ඇතුළු සියලූම දෙනාට ඔවුන් ඉල්ලා සිටින සහනය ලබාදීමක්ය.එය එළෙසම සිදුකිරීමට අවැසි සහය ලබාගත හැකි වෘත්තියකයින්, විද්වතුන් මෙන්ම දේශපාලඥයින්ද අපට වුවමනා තරම් සිටී.අවශ්‍ය වන්නේ සැබෑ කැපවීමක් පමණක්ය.

(ඡායාරූප-කෝවිඳ ගුණසේකර)