කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක

බත්කන ගමන් අතේ ඇති කෑම වැටෙන්නට පිඟානට ඇඟිලිවලින් තට්ටු කරන පුරුද්ද බොහෝ අය සලකන්නේ නොහොබිනා පුරුද්දක් ලෙස ය. ඒ පිඟාන කැඩෙන නිසා නොවේ. එසේ කිරීම බත් පතට කරන අගෞරවයක් සහ පව් සිදුවෙන වැඩක් ලෙස කලක සිට පැවත එන විශ්වාසයක් නිසා ය. එහෙත් ඒ ආකාරයෙන් පිඟාන සහ බුදින්නා අතර තිබූ ගෞරවය සහ ආගමික විශ්වාසය මත පදනම් වූ බැඳීම අද පළුදු වී ගොස් ය. තිබුණොත් ඒ කලාතුරකින් ය.

දැනට අවුරුදු තිහ හතළිහකට එහා ලංකාවේ පිඟාන, හැන්ද, කෝප්පය, ගෑරුප්පුව යනු කෑමෙන් පසු නැතහොත් පාවිච්චියෙන් පසු වීසි කරන ඒවා නොව යළි යළි පාවිච්චි කිරීමට පරෙස්සමින් සහ ගෞරවයෙන් රැකගත් ඒවා ය. රනින්, රිදියෙන්, පිත්තලවලින් නොව ලීයෙන් සහ මැටියෙන් සාදා තිබුණත් ඒවාට ඇති ගෞරවයේ අඩුවක් තිබුණේ නැත. පාවිච්චි කොට කිළිටි වැරහැල්ලක් සේ වීසි කරන පුරුද්ද දියුණු යැයි කියන මේ මොහොතේ පුරුද්දක් මිස නොදියුණු යැයි කී පරණ පුරුද්දක් නොවේ. මේ පාවිච්චිකොට වීසි කිරීමේ නොහොබිනා පුරුද්ද සහ පාවිච්චිකොට වීසිකිරීමේ දේශපාලනය රටකට අත් කර දී ඇති ඛේදජනක ඉරණම කෙරෙහි අවධානය යොමු කිරීම මෙවර ලිපියේ අරමුණයි.

රට මේ මොහොතේ මැදි වී ඇත්තේ අති දැවැන්ත, බරපතළ ජාතික සහ ප‍්‍රාදේශීය ආණ්ඩුකරණ අර්බුදයකට ය. පරිපාලන, මූල්‍ය කළමනාකරණ සහ නීතිය සහ පිළිවෙළ රැකීමේ අර්බුදයක් ලෙස පෙනෙන එය රටේ ආර්ථිකයට, දේශපාලනයට, ආහාර, වතුර, සෞඛ්‍යය, ගමන් බිමන් සහ අධ්‍යාපනය යන පොදුජන දෛනික ජීවිතයට අදාළ අංශවලට සිදු කොට ඇති හානිය සුළුපටු නැත. එහෙත් ඊට පිළියම් සෙවීමට ආණ්ඩුවට හදිස්සියක්, වුවමනාවක් සහ හැඟීමක් හෝ අනාගතවාදී වැඩපිළිවෙළක් නැති බවට වූ අත්දැකීම් මාලාවේ මීතොටමුල්ල ඛේදවාචකය යනු අලූත්ම අත්දැකීම ය. අවාසනාව වන්නේ එවැනි අත්දැකීම් නැවත නොලබන රටක් ජන සමාජයක් සඳහා ක‍්‍රියා කරනු වෙනුවට අර්බුදය වෙන තැනකට වෙන භූමියකට ගෙන යාමට කටයුතු කරමින් අර්බුද රැක ගැනීමේ වෑයමක ආණ්ඩුව නිරත වීම ය.

පාවිච්චියෙන් පසු වීසි කරන දෑ කුණු ය. 77 න් පසු වගා දිගා වුණු වෙළෙඳ ආර්ථිකයේ හැම දෙයක්ම භාණ්ඩ ය. විකිණිය හැකි පරිභෝජනය කළ හැකි, පරිභෝජනයෙන් පසු වීසි කළහැකි බහාලූම් සහ උපකරණ සහිත භාණ්ඩ ය. භාවිතයෙන් පසු වීසි කළ හැකි පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, බෝතල්, මලූ_ සහ පෙට්ටි එන්නට පටන් ගත්තේ 77 අශීලාචාර වෙළෙඳ රැල්ල නිසා ය. ඉන් පසු ආ කිසිම ආණ්ඩුවක් හෝ පාලකයෙක් ඒ පාවිච්චි කොට වීසි කර දමන අශීලාචාර වෙළෙඳ ආර්ථිකය ශීලාචාර කිරීමට උත්සාහ ගත්තේ නැත. පාලකයන්ට සහ වෙළෙන්දන්ට මිනිසුන් යනු තමන්ලාගේ ධන තණ්හාව සහ බල තණ්හාව සඳහා ඇවැසි දේවල් පිරවිය හැකි හිස් ශරීර ය. නැතහොත් භාජන ය. භාණ්ඩ සහ උපකරණ පමණක් නොව මිනිසුන් පවා පාවිච්චිකොට වීසි කර දමන ආර්ථිකය සහ ඊට පහසුකම් සපයන දේශපාලනය විසින් මේ වනවිට මුළු රටම දේශපාලන සහ සමාජ කුණු කන්දක් බවට පත්කොට ඇත. එක පැත්තකින් ද්‍රව්‍යාත්මක කුණු ය. ඒ අසලින්ම පාවිච්චි කොට වීසි කළ මිනිසුන් ය. එනම් කුණු බවට පත් කළ මිනිසුන් ය. බ්ලූමැන්ඩල් සහ මීතොටමුල්ල යනු ඊට කදිම නිදර්ශනය.

මීතොටමුල්ලට පෙර මේ කුණු වීසි කළේ බ්ලූමැන්ඩල් භූමියට ය. ආරම්භයේ එතැන තිබූ කුණු මෝලේ දී ඒවා පොහොර බවට පත් කළා ලූ. ඒත් ඒ භුමිය ක‍්‍රීඩා පිටියක් බවට පත්කිරීමේ පැරණි දැනට මියගොස් සිටින එජාප නගරාධිපතිවරයකුගේ දේශපාලන වැඩපිළිවෙළ නිසා කුණුමෝල අතුරුදහන් වී බ්ලූමැන්ඩල් කුණු කන්ද උපත ලැබුවේ ලූ. බ්ලූමැන්ඩල් කුණුකන්දට කුණු දැමීම නතරකළ පසු උපත ලැබූ කුණු කන්ද තමයි මීතොටමුල්ල. කොළඹ නම් වූ ගාල් නගරයට ඇතුළු වනවිටත් ඉන් පිටවෙන විටත් කැලණි පාළම දෙපසින් මුදුන් වී පෙනෙන්නේ මේ කුණු කඳු දෙකේ ශෝභන දසුන් ය. දැනෙන්නේ නාසය කිති කවන සුවඳ ය. අවුරුදු හැට නවයක් තිස්සේ නිදහස සැමරීමට මේ රටේ පාලකයන් පෙළ ගැසෙන්නේ මේ සුන්දර නගරයේය. 1947 පක්ෂය පිහිටු වූ දා සිට එක් වරක් හැර එනම් ලසසප නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා නගරාධිපති ධුරය දරූ කාලය හැර අවුරුදු හැටක පමණ කාලයක් කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කරගෙන සිටින එජාපය මේ කුණු කඳු දෙකේ සැබෑ පියවරු ය. උරුමක්කාරයෝ ය.

බලයට පැමිණි කිසිදු ආණ්ඩුවකට මේ කුණු කඳු ප‍්‍රශ්නය විසඳීමට සැබෑ වුවමනාවක් තිබුණේ නැත. දැනට ඇත්තේද නැත. එහෙත් එජාපයත් ශ‍්‍රීලනිපයත් තමුන්ගේ කොළඹ ජන බලය, උද්ඝෝෂණවල තීව‍්‍රතාව, සහයෝගිතා ජන බලය, විරෝධතාවලට පහර දීමේ හයිය පෙන්වීම සඳහා පිරිස් ඒකරාශී කරගත්තේ පිටකොටුව, ගුණසිංහපුර, බොරැල්ල, පුංචි බොරැල්ල, ඔබේසේකරපුර, ගෝතමීපාර, මාලිගාවත්ත, කෝට්ටේ, මරදාන, දෙමටගොඩ, වනාත, රාජගිරිය, කොලොන්නාව, මීතොටමුල්ල, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, මුල්ලේරියාව වැනි ප‍්‍රදේශවල මතු කී වැඩවලට පාවිච්චි කොට වීසිකර දමන ජනතීරුවලිනි.

ප‍්‍රාදේශීය, පළාත් සහ පාර්ලිමේන්තු පාලකයන්ට මේ ජනයා පෙනුණේ ජලය තියෙන මිනිස් භාජන හෝ මලූ_ ලෙස පමණි. ඡුන්දය ගෙන ඒ හිස් මිනිස් භාජන වීසිකරන පාලකයන් නැවත ඒ භාජනවලට වටිනාකමක් දෙන්නේ අර මතු කී වැඩවලටය. ඒ වැඩවලින් පසුව ද සිදුවුණේ හිස් මිනිස් භාජන මීතොටමුල්ලට වීසි කිරීම ය. ඒ නිසා මේ පාලකයන්ට කුණු සහ ඒ මිනිසුන් අතර වෙනසක් පෙනුණේ නැත. ඇත්තටම නම් සැබෑ කුණුවලට දුන් ජාවාරම්කාර වටිනාකමවත් මේ කී ප‍්‍රදේශවල බිම්ගත ජනයාට නැතහොත් හිස් ශරීරවලට ලබාදීමට පාලකයන් උනන්දු වුණේ නැත. එසේ උනන්දු වූවා නම් කුණු කන්දට එරෙහිව නැගී සිටි මිනිසුන්ට පහර දී කුණු ආරක්ෂා කිරීමට ආණ්ඩු දෙකම කටයුතු නොකරන්නට ඉඩ තිබුණි. එසේ වූවානම්, එනම් අර ජනයා ඡුන්ද බහා ඇති මිනිස් භාජන ලෙස නොව ඔවුන්ව මිනිසුන් ලෙස භාර ගෙන කටයුතු කළා නම් මීතොටමුල්ල ඛේදවාචකයක් ගැන අසන්නට සිදුවන්නේද නැත. ගුහාගොඩට බයෙන් සිටීමට සිදුවන්නේ ද නැත.

ගිනි කඳු නැති රටේ අග නගරය අද්දර කුණු කඳු පුපුරා ඒ කඳුවලට යට වී මිනිසුන්  ඝාතනය වෙන මීතොටමුල්ල වැනි ඛේදවාචක මගින් පෙන්නුම් කරන්නේ ජනයා පත්වී ඇති ‘මහා අවදානමක’ සහ ‘අවදානම් භීතියක’ පින්තූරය ය. ආණ්ඩුකරණයේ මහා අර්බුදය ය. අනිත් අතට ජනයාට එරෙහිව දියත්වන ආණ්ඩු -පුරවැසි මෙහෙයුමය. පසුගිය කාලය පුරා ආණ්ඩු-පුරවැසි මෙහෙයුම් දියත් වූයේ ජනයා නිර්-ජනකරණය කොට ඔවුන් පාලකයන්ගේ සහ වෙළෙන්දන්ගේ අඩුම කුඩුම පිරවිය හැකි හිස් ශරීර බවට පත්කිරීම අරමුණු කර ගෙනය. රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍යය උපදින්නේ ජනතාව වෙතිනි. එහි උරුමකරුවෝ ජනතාව ය. අයිතිකරුවෝ ජනතාව ය. ආණ්ඩුව එනම් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනු ජනතා පරමාධිපත්‍යයේ අයිතිකරුවෝ නොව කොන්තරාත්කරුවෝ ය. එහෙත් කුණු කඳු ගැන අර අංශ තුන දෙන තීන්දුවලින් පෙනී යන්නේ ඔවුන් ජනතා පරමාධිපත්‍යයයේ කොන්තරාත්කරුවන්  නොව කොල්ලකාරයන් බව ය.  

ඉහත කී අවදානම් භීතිය නිසා සිදුවන්නේ  සියල්ල කෙරෙහි ජනයා තුළ ‘මහා අවිශ්වාසයක්’ ජනනය වීමය. දැන් ජනයාට ප‍්‍රාදේශීය, පළාත් සහ පාර්ලිමේන්තු පාලකයන් පිළිබඳ විශ්වාසයක් නැත. නිලධාරීන් ගැන, පරිපාලන සහ දේශපාලන ආයතන ගැන, මහා භාණ්ඩාගාරය ගැන, මුදල් නෝට්ටු ගැන, වෙළෙඳපොළ සහ වෙළෙන්දන් ගැන, මිලදී ගන්නා භාණ්ඩ ගැන, කන කෑම ගැන, බොන වතුර ගැන, බෙහෙත් ගැන, යන ගමන් බිමන් ගැන, උනුනුන් ගැන,  මිත‍්‍රකම් ගැන, ආගමික පාර්ශව ගැන විශ්වාසයක් නැත. ඇත්තේ සැක සංකාය. ඒ සැක සංකාව නම් කොතැනත් ‘අවදානම්ය’ යන්න මත පදනම් වූවකි. මේ ‘අවදානම්සහගත කලාපය’ ට ‘මහා අවිශ්වාසයක’ ට මුළු රට ම හෝ සමාජයේ අති මහත් බහුතරයක් ම තල්ලූ_ කළෝ කවරහුද? යන්න වටහාගත් දේශපාලනයක් අවශ්‍ය ම මොහොත මෙය නොවේද?

පාලකයන්, වෙළෙන්දන් සහ නිලධාරීන් කරන්නේ ඔවුන්ගේ ‘අවදානම’ ක්ෂය කරමින් හෝ මුළුමනින්ම නැතිකර ගැනීම අරමුණු කර ගනිමින් ජන සමාජය අවදානම්සහගත කලාපයක ට තල්ලූ_ කිරීම ය, වීසි කිරීම ය. ජනජීවිත අවදානමට හෙළන, ජනයා ‘නිර්-ජනකරණය’ කරන සහ ජනයා හිස් ශරීර හෝ භාජන කරන පාලනයෙන්, වෙළඳාමෙන් සහ පරිපාලනයෙන් ජනතාවාදී හැසිරීමක් අපේක්ෂා කළ හැකිද? එසේ අපේක්ෂා කළ නොහැක. මේ තුන් ගොල්ලම කටයුතු කළ යුත්තේ ජනයාගේ අභිලාෂ ඉටුකරන, ජනයා මගින් නියාමනය වන ජනයාගේ ජනතා පරමාධිපත්‍යයේ කොන්තරාත්කරුවන් ලෙස ය. එහෙත් දැන් සිදුවන්නේ ඒ කොන්තරාත්කරුවන් ගේ අභිලාෂ සඳහා පාවිච්චි වන සහ පාවිච්චියෙන් පසු ‘මීතොටමුල්ලට, කරදියානට, ගුහාගොඩට, දොම්පෙට හෝ හෙළිදරව් නොකරන රහස් ස්ථානවලට’ වීසි කරන කුණුවල මට්ටමටම ජනයා පිරිහෙලීමය. අවදානම් සහ ආපදා කළමනාකරණය කිරීම නොව අවදානම් සහ ආපදා නිර්මාණය කිරීමය. ඒ අවදානම් සහ ආපදා තම ධන බල අරමුණු සඳහා මෑනවීමය. නැතහොත් පාවිච්චි කිරීමය.

මේ විපතින් ගැලවීම සඳහා දැන්නම් අවශ්‍ය වන්නේ, ආපදා සහ අවදානම් වවන, අවිශ්වාසය ඔඩු දුවවන, පාවිච්චියෙන් පසු මිනිසුන් හිස් භාජන ලෙස වීසි කරන, ගිනිකඳු නැති රටේ කුණුකඳු පුපුරවන පාලකයන්, වෙළෙන්දන් සහ නිලධාරින් ගෙන් තොර    ‘ඇත්තටම ජනතාවගේ ආණ්ඩුවක්’ ය. පාවිච්චි කොට ‘ලංකාව නමැති මීතොටමුල්ල’ ට වීසි කොට ඇති මහා ජන සෙනඟට ඒ සඳහා නුවණැස ලැබෙන සුභ අලූත් අවුරුද්දක් වේවා.