• අහිංසක මිනිස්සු හැමද‌ාම තැලෙති. පොඩිවෙති. රැවටෙති ඡන්දවලින් පසු දේශපාලනඥයන්ගේ ගෙම්බර්වලට මුහුණ දෙති. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. සාමාන්‍ය ජනයා වෙනුවෙන්  වෙන් වූ  දිනයවත් ඔවුන්ට හිමි නොවේ නම් මෙම ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඇති ඵලය කුමක්ද? වරින්වර මතුවන තරුණ අසහන – කැලඹිලිවලට මේ තත්ත්වයන් බලානොපාන්නේ යැයි කාට කිව හැකිද? 

 

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක්තරා ප්‍රධාන පෙළේ අර්ධ රාජ්‍ය ආයතනයකට දුරකථනයෙන් කථා කළේ කොළඹට ආසන්න ප්‍රදේශයක තැනීමට බලාපොරොත්තු වන නිවසක් පිළිබඳව වූ ලිපිගොනුව අනුව අද‌ාළ සහතිකය ලබා ගැනීමටයි.


එම දුරකථන ඇමතුම ලබාගත් රාජ්‍ය ආයතනයේ විෂයභාර ලිපිකාරිනිය කියා ඇත්තේ ‘‘පොඩ්ඩක් ඔහොම ඉන්න. මම බලල කියන්නම්’’ කියාය. විනාඩි 7 ක් පමණ දුරකථනය කනේ තියාගෙන සිටියත් ලිපිකාරිනියගෙන් පිළිතුරක් නොලැබුණි. පසුව ඥාති සහෝදරිය දුරකථනය විසන්ධි කොට ලිපිකාරිණිය වෙනුවට ඇයගේ අංශයේ ප්‍රධානියෙකුට ඇමතුමක් ගත්තාය. ප්‍රධානියා කීවේ ‘‘ඔයා කථා කරපු ලිපිකාරිනිය කෑම කනවා. ඒ නිසා මම ඒ ගැන හොයලා කෝල් එකක් දෙන්නම්’’ කියාය. එසේ කියූ නිලධාරියා ඥාතිවරියගේ දුරකථන අංකය ද ඉල්ලා ගත්තේය.


පැයක් පමණ ගත වුවත් පිළිතුරක් නොලැබුණි. දැන් වේලාව සවස 4.30 පසු වී ඇත. මට මේ සිද්ධිය කන වැකුණු නිසාත්, බොහෝ  කාර්යාලයන්හි වැඩ කෙරෙන ආකාරය දන්නා නිසාත් මා ඇයට කීවේ ‘‘දැන්නම් ඔයාට පිළිතුරක් ලැබෙන්නෙ නැහැ. අද සිකුරාද‌ා බොහෝ ඔපීස්වල අය 4.30ට කලින් ගෙදර යන්න පිටත්වෙනවා. සඳුද‌‌ාට විතර ආපසු කථා කර බලන්න’’ යනුවෙනි.


මේ සිදුවීමෙන් පෙනෙන්නේ කුමක්ද? ඉහතින් සිද්ධියට අද‌ාළ ආයතනයේ පමණක් නොව බොහොමයක් රාජ්‍ය ආයතනවල ස්වභාවයයි. අවශ්‍යතාව ඉදිරිපත් කරන අයගේ දුරකථන බිල වැඩිවෙනවා මිස වෙනත් දෙයක් සිදුවන්නේ නැත. දුරකථනයෙන් කරනු ලබන විමසීමකට නිසි පිළිතුරක්වක් ලබා නොදෙන තත්ත්වයක් තුළ ජනතා ප්‍රශ්න කඩිනමින් විසඳලීම යථාර්ථයක් වන්නේ කෙසේ ද? ලිපිකාරිනිය පමණක් නොව ඇයගේ ප්‍රධානියා ද ලිපිකාරිනියට වඩා අන්ත තත්ත්වයට පත් වී ඇත්නම් ඇත්තටම සිදුවී ඇත්තේ ‘‘වැවත් නියරත් ගොයම් කා නම් කාට කියමුද?’’ යන්න නොවේ ද? මෙවැනි සිදුවීම් අප හැම කෙනෙකුටම වාගේ මුහුණ දීමට සිදු වී ඇති තත්ත්වයන්ය. රජයෙන් වැටුප් ගෙවා රජයෙන් සියලු වරප්‍රසාද ලබා ගන්නා රජයේ හෝ අර්ධ රාජ්‍ය අංශයේ ආයතනයන්හි සේවකයන්ට හෝ නිලධාරීන්ට මෙසේ කටයුතු කිරීමට කිසිම අයිතියක් නැත. ජනතා මෙහෙවරට කැප වී සිටින ඔවුන් දුරකථනයෙන් විමසන කරුණුවලට මෙන්ම පැමිණ කරනු ලබන විමසීම්වලට නිසි පිළිතුරු ලබා දිය යුතුය. විසඳිය හැකි ප්‍රශ්න හා ඉල්ලීම් කඩිනමින් විසඳා දිය යුතුය. විසඳිය නොහැකි ගැටලු හේතු ද සමග පැහැදිලි කර දිය යුතුය.


කාර්යාලයකින් සේවයක් කරවා ගැනීමේ දී මතු වී ඇති මේ තත්ත්වය අද ඊයේ නොව කලක පටන් පැවතගෙන එන්නකි. මෙය වෙනස් කළ යුතුමය. ජනතාව කෙරේ කරුණාවෙන් හා ඉවසීමෙන් හැඟීමකින් සේවයක් කළ නොහැකි නම් එහි ඇති ඵලය කුමක්ද? එසේ කාරුණිකව හොඳින් මැනවින් ප්‍රශ්න විසඳන, විමසන, නිසි පිළිතුරු සපයන රජයේ කාර්යාල නැත්තේ නොවේ. ඒවාට මල් පොකුරු පිරිනැමීමට මැළි නොවන අතර රාජකාරිය පැහැර හරින – අලස හා ආකාර්යක්ෂම නිලධාරීන් ජනතා කෝපයට හා ජනතා අප්‍රසාදයට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක.


තවත් කතාවක් මෙසේය. නොබෝද‌ා මා එක්තරා අමාත්‍යාංශයකට ගියේ යම් කාරණයක් පිළිබඳව එහි බලධරයා සමග කථා කිරීමටය. එය බද‌ාදා දිනයකි. සෙනඟ විශාල වශයෙන් පිරී ඉතිරී ගොස් තිබුණි. භික්ෂූන් වහන්සේ ද පෝලිමේ වූහ. හිටපු ඇමතිවරයෙකු වුව ද මමද පෝලිමට එක්වුයෙමි. ඒ අවස්ථාවේ දී මගේ කනට වැටුණේ ජනතාව උදේ පාන්දර සිටම බලධරයා හමුවීමට පෝලිමේ සිටින බවයි. කෙසේ වුවද දවල් 11.00ට පමණ ආ බලධරයා පැය 2 ක් පමණ රැඳී සිටි අතර ඒ වේලාව තුළ නිලධාරීන් කිප දෙනෙකු හමු වී වහාම නැවතත් පිටත්ව  ගියේ වැඩකටයුතු රැසක් ඇති බව කියමිනි. සෙනඟ ඉතාමත් නොසන්සුන් වූ අතර ඔවුන් ද පිටව ගියේ මෙහි සඳහන් කළ නොහැකි වදන් මුවින් පිට කරමිනි. මා ද පිටත්ව ගිය අතර මා කල්පනා කළේ මහජනතාවට වෙන්කර ඇතැයි කියන බද‌ාද‌ා දිනයේත් මෙසේ නම් අනිත් දිනවල තත්ත්වය කෙබඳු විය හැකි ද කියාය. බලධාරින්ට හා නිලධාරීන්ට වැඩ අධික විය හැකිය. එහෙත් ඉවසීමෙන් යුතුව මහජන ප්‍රශ්න විසඳිය නොහැකි නම් ඔවුන්ගේ මහජන නියෝජිතත්ත්වයෙන් ඵලක් නැත. ඡන්දයක් දිනීමට පෙර එක් විධියකටත් ඡන්දයක් දිනීමෙන් පසු තවත් විධියකටත් හැසිරීමේ මෙම ජඩ දේශපාලකයා හෙළා දැකිය යුතුය. ඡන්දයට පෙර පෙන්වන කරුණාභරිත මුහුණ ඡන්දයෙන් පසු යක්ෂාරූඪ මුහුණක් වන්නේ නම් එය කෙතරම් ජුගුප්සාජනක ද? අහිංසක මිනිස්සු හැමද‌ාම තැළෙති. පොඩිවෙති. රැවටෙති. ඡන්දවලින් පසු දේශපාලනඥයන්ගේ ගෙම්බර්වලට මුහුණ දෙති. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. සාමාන්‍ය ජනයා වෙනුවෙන් වෙන් වූ  දිනයවත් ඔවුන්ට හිමි නොවේ නම් මෙම ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඇති ඵලය කුමක්ද? වරින්වර මතුවන තරුණ අසහන – කැලඹිලිවලට මේ තත්ත්වයන් බලානොපාන්නේ යැයි කාට කිව හැකිද? අහිංසක දුප්පත් නැතිබැරි මිනිසෙකුගේ ප්‍රශ්නයකට ඇහුන්කන් දී සැබෑ ලෙස විසඳුමක් ලබා දෙන්නේ නම් එය කොතරම් වටනේද? කවද‌ා හෝ මේ තත්ත්වය අප උද‌ා කරගත යුතුය. නැතිනම් හැමද‌ාම රැවටී රැවටී, දේශපාලකයන් වටා දැවටි දැවටී බිත්ති අල්ලා ගෙන සිටීමට සිදුවනු ඇත. 


වැඩක් කෙසේ හෝ කර ගැනීමට නම් මන්ත්‍රීවරයාගේ ගෙදර බිත්ති අල්ලාගෙන දිවා රෑ දෙකෙහි මන්ත්‍රීවරයාට මූණ පෙන්නමින් සිටීමට සිදුවීම කොතරම් අශෝභන ද? මේ තත්ත්වය බලධාරීන් මැනවින් අවබෝධ කර නොගන්නේ නම් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජනතාව තුළ ඇති විශ්වසනීයත්වය පළුදුවීම වැළැක්විය නොහැක.
එක්තරා අමාත්‍යාංශයක ලේකම්වරයෙක් හමුවීමට දැනට මාසයක පමණ කාලයක සිට මම උත්සාහ ගන්නෙමි. ඔහුගේ දුරකථනයට කථා කළත් කිසිම අවස්ථාවක එයට පිළිතුරු නැත. ලේකම්වරයාගේ ලේකම්වරයෙකුට කථා කළ අතර ඔහු කීවේ වේලාවක් ගෙන දන්වන​ බවයි. සතියක් පමණ බලාසිටි මම ලේකම්ගේ පෞද්ගලික සහකාර ඇමතුවෙමි. ඔහුද කීවේ වේලාවක් වෙන් කර ගෙන කතා කරන බවයි. දැන් තවත් සතියක් ඉක්මගොස් ඇති අතර අලුත්ම කතාව ලේකම්ට පමණක් නොව ලේකම්ගේ ලේකම්ටත් පුද්ගලික සහකාරටත් කතාකළ නොහැකි වීමයි. එබැවින් ඒ අදහස අතහැරගත් මම මාගේ වැඩය වෙනත් ක්‍රමයකින් ඉටුකර ගැනීමට උත්සාහයක යෙදුනෙමි. මා කල්පනා කළේ ‘‘හිටපු ඇමතිවරයෙකු’’ යැයි කියු මා හටත් මෙසේ නම් සාමාන්‍ය පුරවැසියෙකුට කෙසේ සලකනු ඇත් ද? යන්නයි. අද උද‌ා වී ඇති මේ තත්ත්වය බරපතළ රෝගයක් සේ පෞද්ගලික ලේකම්වරුන් සම්බන්ධීකරණ ලේකම්වරුන් වෙත ද බෝවී ඇත. කමක් නැත. ජනතාවගේ මුදලින් නඩත්තු වෙමින් ඔවුන් සැඟවී සිටීම කෙතරම් සද‌ාචාරත්මකදැයි සිතා බැලීම බලධාරීන්ගේත් ඔවුන්ගේ ගෝලබාලයින්ගේත් වගකීම බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.