කාලගුණ විද්‍යාඥයන් විසින්, ‘බාවි’ යන නමින් නම් කරනු ලැබූ ප්‍රචණ්ඩ සුළි කුණාටුව පැසිෆික් සාගරයේ පිහිටි ඇමෙරිකාවට අයත් කුඩා දූපතවලට කඩා වැදුණි. සුළි කුණාටුව දූපත්වලට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 290 ක වේගයකිනි.

ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, ‘බාවි’ සුළි කුණාටුව, ගුවාම්, උතුරු මරියානා සහ රොටා දූපතට කඩා වැදුණේ මුහුද කලඹමින් බවය. අඩි 35 ක් උස මුහුදු රළ ද එම දූපත්වලට කඩා වැදුණි.

සුළි කුණාටුව සමග ඇද හැලුණු මහ වැසි හේතුවෙන් දූපත්වල ස්ථාන කීපයක ජල ගැලීම් ද වාර්තා වේ. 

නිවාස රැසකට හානි සිදුවී ඇතැයි පැවැසෙයි. ගස් කඩා වැටීමෙන් මාර්ග හරස් වී ගමනාගමන කටයුතු අඩපණ වී ඇති බවත්, විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති බවත් වාර්තා වේ.

ගුවාම්, උතුරු මරියානා සහ රොටා දූපත් අතරින් සුළි කුණාටුවෙන් ප්‍රබල හානි සිදුවුණු බව පැවැසෙන්නේ උතුරු මරියානා දූපතටය. සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යාඥයන් කල්තියා අනතුරු ඇගවීමත් සමග දූපතේ අනාරක්ෂිත ස්ථානවල පදිංචි වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව ද වාර්තා වේ.

මේ වනවිට පැසිෆික් සාගර කලාපය කේන්ද්‍ර කොට ගනිමින් ‘එල් නීනෝ’ විපරිත කාලගුණ පෙරැළිය ආරම්භ වී ඇති අතර, කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ, ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් ‘බාවි’ සුළි කුණාටුව ‘එල් නීනෝ’ කාලගුණ පෙරැළියේ ප්‍රතිඵලයක් බවය.