අපගේ කැනඩා සංචාරයේදී පසුගිය වසරේ ජුනි මස 14 වෙනි සෙනසුරාදා අප ගත කළේ "ප්‍රින්ස් රුපර්ට්" නගරයේදීය. 

එය කැනඩාවේ "බ්‍රිටිෂ් කොලොම්බියා" ප්‍රාන්තයේ කේන් දිවයිනේ පිහිටි කුඩා ටවුමකි. මෙහි සම්පුර්ණ ජනගහණය 12508 පමණ වන බව අපගේ මගපෙන්වන්නා අපට කියාදුන් බව මම කටුසටහනක ලියාගත් බවක් මට මතකය.

අප නැවතී සිටියේ නගර මධ්‍යයේ පිහිටි හෝටලකය. එදා අපට කළ යුතු විශේෂ දෙයක් වෙන්කර නොතිබුන නිසා අපි රුපර්ට් ටවුමට යාමට තීරණය කළෙමු.

අපි එහි යන විට එදා ප්‍රින්ස් රුපර්ට් නගරයට සැණකෙළි දිනයක් වුබවක් දැන නොසිටියෙමු. මග පෙන්වන්නාට එබවක් අපට කියාදීමටඅමතක වන්නට ඇත. නැත්නම් ඔහුද එබවක් නොදැන සිටියා විය හැක. 

එදා නිවාඩු දිනයක් නිසා ප්‍රින්ස් රුපර්ට් ටවුම විශේෂ සැණකෙළි ස්වභාවයක් ගත් බවක් අපට පෙනුනි. කුඩා නඟරයේ ප්‍රධාන මාර්ග රථ වාහන ගමනා ගමනයට වසා දමා විවිධ තාවකාලික කඩ සාප්පු සහ තේපැන් ශාලා සඳහා විවෘත කර තිබිණි. එක තැනක ප්‍රින්ස් රුපර්ට් ගිනි නිවන හමුදාව ඔවුන්ගේ ක්‍රියාකාරිකම් විදහා දක්වන සංදර්ශනයකි. බොහෝ පිරිසක් ඒවටා රොක්වී ගිනි නිවන හමුදා භටයින්ගේ හපන්කම් බලමින් ප්‍රීතිවෙති. සෙනඟ අතර ඉන්නා දරු දැරියන්ද එම වැඩකටයුතුවලට සම්බන්ධ කරගෙන තිබුණි.

ළමයින් රොක්වී පාර අයිනේ නවතා තිබු ගිනිනිවන රථයකට ගොඩවී ඒවායේ ක්‍රියාකාරකම් ගැන සොයා බලති. ඒගැන විස්තර කියාදීමට භටයින් කිහිපදෙනෙක්ම සිටියහ. තවත් තැනක රුපර්ට් නගරයේ පොලිස් සේවාවේ වැඩ කටයුතු කියාදෙන සංදර්ශනයකි. සෙනඟ පිරි වෙනදේ බලා සිටිති. එතැනද ළමුන්හට මුල් තැනක් දීඇති බවක් පෙනුනි. ඉන් ඔබ්බෙහි පොලිස් වාදක කණ්ඩායම මියුරු වාදනයක් ඉදිරිපත් කරති. සියල්ලෝම ඉමහත් සතුටකින් ඔබිනොබ යමින් එමින් දවසේ සුන්දරත්වය රසවිඳින බවක් පෙනෙන්නට තිබුණි. පාර දෙපස විවිධ වෙළඳ භාණ්ඩ විකිනීමට තබා ඇති තාවකාලික කඩ සාප්පුය. සමහරු අත්කම් භාණ්ඩ විකුණති. සමහරු එම ප්‍රාන්තයේ ජිවත්වන විවිධ ජනවාර්ගික කණ්ඩායම්වල සම්ප්‍රදායික කෑම බීම විකුණති. සියල්ලෝම අසාමාන්‍ය විනෝදයක් ලබන බව පෙනෙන්නට තිබුණි.පාර පුරා එක තැනක පැරණි වාහන ප්‍රදර්ශනයකි. ඉන් ඔබ්බෙහි බොරුකකුල් කරුවන් කණ්ඩායමක් ඔවුන්ගේ දස්කම් පෙන්වති.

අපි මේ සියල්ල රසවිඳිමින් ඇවිද ගියෙමු. දැන් වෙලාව දහවල දොළහත් පසුවී තිබුණි. අපි දවල් කෑමට තැනක් සොයමින් ගියෙමු.

අපට වැඩි දුරක් යාමට ලැබුනේ නැත. 

එහෙමෙහෙ යන සෙනඟ අතරින් මාර්ගයේ විරුද්ධ පැත්තේ ඇති කඩයක විදුරු ජනේලයක් මත අලවා තිබු කුඩා ශ්‍රී ලංකා ජාතික කොඩියක් අප නෙත ගැටුණි. මේ මොන ආශ්චර්යයක්ද? සති දෙකක් තුළ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ඇවිද්ද කාලයේ අපට ශ්‍රී ලාංකික පුළුටක්වත් හමුවුනේ නැත. හිටි හැටියේ අපට සිංහ කොඩියක් දක්නට ලැබෙයි. ප්‍රින්ස් රුපර්ට් ටවුමේ මේ සැණකෙළි දිනයේ අප දුටු සුන්දරම දසුන එය බව එවෙලාවේ අපට දැනුණි.

දවල් කෑම සොයනවාට වඩා මේ මොකද්ද මේ කවුද කියා සොයා බැලීමට අපට අවශ්‍ය විය. අපි පාර මාරුවී ඉක්මනින් සිංහ කොඩිය තිබු ගොඩනැඟිල්ල සමීපයට ගියෙමු.

එය ශ්‍රී ලාංකික බොජුන් හලක් බව අපට තේරුනේ ලඟට ගියාට පසුවය. භෝජනාගාරයේ නම " ත්‍රිශාන් ෆූඩ් මාර්ට්" ලෙස සඳහන්ව තිබුණි. සිංහකොඩිය සමීපයේ බොජුන් හලේ විකිනීමට තිබු ආහාර වට්ටෝරුවක් සහ මිළ ගණන් පෙන්නුම් කල සරල එහෙත් අලංකාර දැන්වීමකි. ඒ අතරේ අප නෙත ගැටුනේ සති ගණනාවකින් රසවිඳීමට නොලැබූන ඉඳි ආප්ප, කට්ට සම්බෝල, සීනි සම්බෝල, පොල් සම්බෝල, කිරිහොදි, අල බැදුම්, පිට්ටු වැනි අපට හුරු කෑම වට්ටෝරුවටයි.

දවල් කෑම ප්‍රශ්නය විසඳුන බව අපට නිමේෂයකින් තේරුණි. අපි තලු මරමින් අවන් හලට අතුලුවිමු. ඒවනවිටත් කෑම ලබාගැනීමට පැමිණසිටි කැනඩා සුදු මිනිස්සු කිහිපදෙනෙක්ම පෝලිමේ සිටියහ. ඇතුලේ ශ්‍රී ලාංකිකයැයි නියත වශයෙන්ම පෙනෙන දෙදෙනෙක් යුහුසුළුව පාරිභෝගිකන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කරනු පෙනුණි. අපි පෝලිමේ නොසිට පසෙකටවී බලා සිටියෙමු. පෝලිම අවසන්වීමට ටික වෙලාවක් ගතවිය. 

සියලුම දෙනා පිටව ගියාට පසු මම කවුන්ටරය වෙත ගොස් "ඔයගොල්ලෝ ලංකාවෙද" කියා ඇසුවෙමි. ජනේලයේ සිංහ කොඩියක් ප්‍රදර්ශනය කරමින් කැනඩා හෝ වෙනත් ජාතිකයෙකු සිටින්නට බැරි බවක් එවෙලාවේ මට සිතුනේ නැත. මම එහෙම ඇසුවේ කවුන්ටරයෙන් එපිට ඉන්නා මේ අමුත්තා සමඟ දෙබසක් පටන්ගැනීමට අවශ්‍යවූ නිසාය.

"අයිබෝන්. ආයිබෝන්. ඔව් ඔව් අපි ලංකාවේ තමා. එන්න එන්න තේ එකක් බොමු" ජීවිතේට මුල් වතාවට මුණගැහුණ මේ මනුස්සයා එක දිගටම කියාගෙන ගියේය.

මට උත්තරයක් දෙන්නට ලැබුනේ නැත. ඔහු නැවතත් බොජුන් හලේ අනෙක් කෙලවරේ සිටි ටිකක් වයසින් වැඩි අයෙකු අමතා " මාමා මුන්රු තේ කොණ්ඩු වාංග" කියා මාදෙස බලා " සීනි ගන්නවාද" කියා ඇසුවේය. " නෑ එපා බොහොම ස්තුතියි" මට ඉබේම කියැවුනි.

"හරි සන්තොසයි  ලංකාවේ කෙනෙක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්" ඔහු සිනාමුසු මුහුණින් කිවේය." අපි තේ එකක් බිල ඉමු. ගෙදරට අමුත්තෙක් ආවහම තේ එකක් දෙන එක අපේ පුරුද්දනේ" ඔහු කිවේය.

නැවත දොර විවෘත විය. තවත් සුදු ජාතිකයෙක් කෑම ගෙනයාමට පැමිණියේය. අපේ කතා බහ යළිත් ඇන හිටියේය.

කැනඩා ජාතිකයා කැකුළු බත්, කුකුළු මස්, බෝංචි, අල, සම්බෝල සහ පපඩම් ඇතුලත් කෑම පාර්සලයක් රැගෙන පිටත්ව ගියේය.

ඒ අතරවාරයේ අපට තේ කෝප්ප තුනක් ගෙනැවිත් දුන්නේ මාමා නමින් කලින් හැඳින්වූ ජේසුදාසන්ය.

කැනඩා සංචාරයේ අපට සප්පායම් වීමට ලැබුණ රසවත්ම තේ කෝප්පය අපට ලැබුණි.

තේ කෝප්පය බොන ගමන් මම කතාව පටන්ගත්තෙමි. " මගේ නම තිස්ස. අපි ඉන්නේ ලන්ඩන්වල. නිවාඩුවකට තමා කැනඩාවට ආවේ" මම කීවෙමි.

" බොහොම සන්තෝසයි. මම සුරේෂ්. අනිත් එක්කෙනා මගේ මාමා ජේසුදාසන්. අපි දෙන්නා තමා මේ කඩේ කරගෙන යන්නේ." සුරේෂ් කිවේය.

" දවල්ට කාලද ඉන්නේ? " සුරේෂ් ඇසුවේය.

"තවම නැහැ. ඊට කලින් මම කැමතියි සුරේෂ් ගැන විස්තර ටිකක් දැනගන්න" මම කීවෙමි.

සුරේෂ් කතාවට කලින් "මොනවා හරි කාලා ඉමු" කියා පෙරැත්ත කළේය. 

ජීවිතේට කිසි කාලෙක හමුනොවුණු කෙනෙක් සමඟ මේ මනුස්සයා මෙතරම් කුළුපගව දොඩමළු වන්නේ ශ්‍රී ලංකාවේ සියලුම දෙනාටම උත්පත්තියෙන්ම උරුමව ඇති ජාන පද්ධතියේ පිහිටි අසාමාන්‍ය උත්තම ගුණයක් නිසා බව මට සිතුණි.

සුරේෂ් සහ ජෙසුදාසන් ලංකාවේ යාපනයේ උපත ලද දෙමල ජාතිකයෝය. ශ්‍රී ලංකාවේ කලබල පැවති සමයේ ඔවුන් දෙදෙනාම ජීවත්ව ඇත්තේ වැල්ලවත්තේය. ඒ නිසා දෙදෙනාටම යම්තරමක් සිංහල කතා කළ හැකිය.

සුරේෂ්ගේ තවත් මාමා කෙනෙක් කැනඩාවට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුද සිදුවීමට කලිනි. ඔහු කැනඩා ජාතික කාන්තාවක් සමඟ විවාහවී මේවනවිට සාර්ථක ව්‍යපාරකයෙකු බවට පත්වී ඇත. ඔහුගේ උදව්වෙන් සුරේෂ් කැනඩාවට පැමිණ ඇත. මුලදී ඔහු ටොරොන්ටෝ නුවර ජීවත්ව ඇත. ඉන්පසු ඔහුගේ මාමා සමඟ ප්‍රින්ස් රුපර්ට් නඟරයට පැමිණ ඇත.

" ටොරොන්ටෝ වල ලංකාවේ මිනිස්සු වැඩියි. එහෙ ඉන්න ලංකාවේ මිනිස්සු කණ්ඩායම් වලට බෙදිලා. හරි ප්‍රශ්න. විශේෂයෙන් දෙමල කණ්ඩායම් අතරේ ගැටළු රාශියක් තියෙනවා. මට එහෙ ඉන්න එක එපා උනේ ඒ නිසයි." සුරේෂ් කිවේය.

ප්‍රින්ස් රුපර්ට් නඟරයට පැමිණ මෙම භෝජනාගාරය ආරම්භ කිරීමට උදව් කර ඇත්තේද ඔහුගේ මාමාය. ශ්‍රී ලාංකික අහාර පාන සැකසීම සඳහා අවශ්‍ය කුළුබඩු සහ අනෙකුත් අමුද්‍රව්‍ය ලබාගන්නේ ටොරොන්ටෝ නුවර පිහිටි ශ්‍රී ලාංකික වෙළඳ සැල් වලිනි. ප්‍රින්ස් රුපර්ට් නඟරයේ හෝ ඒ අවට ශ්‍රී ලාංකිකයින් ඇත්තේ ඉතාම සුළු පිරිසක් බව සුරේෂ් කියයි. ඔහුගේ සියලුම පාරිභෝගිකයින් කැනේඩියානු ජාතිකයින් වෙති. මුලදී කැනේඩියානුවන්ට අපගේ ආහාර පාන පිලිබඳ කිසිම අවබෝධයක් තිබී නැත. ඒ අතර අපගේ කෑමවල ඇති මිරිස් සැරද ඔවුනට ඔරොත්තුදී නැත. කෙසේ වුවත් අපගේ කෑම රසයට ඇබ්බැහිවීමට ඔවුනට වැඩි කලක් ගතවුයේ නැත. දැන් සුරේෂ් සහ ඔහුගේ මාමා ගේ " ත්‍රිශාන් ෆූඩ් මාර්ට්" බොජුන් හල ප්‍රින්ස් රුපර්ට් නඟරයේ ඇති ජනප්‍රියම භෝජනාගාරයක් බවට පත්වී ඇත.

දවල් කෑමට අපට ශ්‍රී ලාංකික බත්වේලක් ලැබුණි. කෙතරම් පෙරැත්ත කළත් අපගේ රසවත් දිවා භෝජනයට මුදල් ගැනීමට සුරේෂ් අකමැති විය.

වෙලාව දහවල් තුන පමණ විය. පෙර පාසල අවසන් කර සුරේෂ්ගේ පුතණුවන් කැටුව ඔහුගේ බිරිඳ ද ආපනශාලාවට පැමිණියේය.

අප බොහෝ වෙලාවක් ආගිය තොරතුරු කතා බස් කරමින් මේ සුන්දර දරු පවුල සමඟ ගත කළෙමු. අවසානයේ අප නික්මයාමට සුදානම් වන විට " අපෙන් මොනවද කෙරෙන්න ඕනෑ" යයි මම කල විමසුමට සුරේෂ් එක ඉල්ලීමක් කළේය.

"මගේ ළඟ තියෙන මේ සිංහ කොඩිය පුංචි වැඩියි. පුළුවන්නම් මට ටිකක් ලොකු සිංහ කොඩි දෙක තුනක් එවන්න බලන්න. මට ඕනෑ කඩේ හතර වටේම සිංහ කොඩි වලින් සරසන්න එතකොට තමා අපි ලංකාවේ කියල කාටත් තේරෙන්නේ"

ලෝකයේ කොයි දීපංකරේ සිටියත් ලංකාවෙනම් ලංකාවේම තමා කියා මට එවෙලාව් සිතුණි. 

ආපසු ආ විගස මම කොළඹ ඉන්නා මගේ මිතුරකුගේ මාර්ගයෙන් සුරේෂ් වෙත විශාල සිංහ කොඩි කිහිපයක්ම යැවීමට කටයුතු කළෙමි.

P14601792015102 P14601812015102 P14601832015102 P14601892015102 P14601952015102