මිනිසුන්ට ඇති මානව අයිතිවාසිකම් හා සමාන අයිතිවාසිකම් වානර කුලයේ සතුන්ටත්   දිය යුතුව ඇතැයි ඇමරිකාවේ සතුන් වෙනුවෙන් පෙනී සිටිනා ‘මිනිස් නොවන සතුන් සදහා වන අයිතිවාසිකම්‘ නම් ස්වේච්ඡා සංවිධානයක් කියයි.

මේ සදහා එම සංවිධානය නඩුවක්ද ගොනු කර ඇති අතර එය මේ වන විට පවතිනුයේ නිව්යෝර්ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමිනි.

මේ සියල්ලට මුල්ව ඇත්තේ ටොමීනම්  චිම්පන්සියෙකි. ඉතා දුක්ඛිත තත්ත්ව යටතේ කූඩු කර සිටි ටොමී දුටු මෙම සංවිධානයේ ක්‍රියාකාරීන් ටොමී මුදා ගැනීමට ඇරැඹූ   මෙහෙයුමක කොටසක් ලෙස වානර කුලයේ සතුන්ටත් අයිතිවාසිකම් ඇති කළ යුතුය යන මතය සමාජ ගත කිරීමටත් ඔවුහු උත්සාහ කරමින් සිටිති.

‘නන් හියුමන් රයිට්ස්‘ සංවිධානයේ මෙම කර්තව්‍යයට ලොව පුරා සත්ත්ව ලෝලීන්,සත්ත්ව සංරක්ෂකයින් ගේ ආධාරයද ලැබී ඇත.

කෙනෙකු චිම්පන්සින්,ගෝරිල්ලන් වැනි වානර කුලයේ සතුන් ඇසුරේ කාලය ගත කර ඇත්නම් ඔවුන් මිනිසුන්ට කෙතරම් සමානදැයි හදුනාගත හැකි වනු බව මෙම සංවිධානය කියයි.ආදරය,පරිත්‍යාගය,කැපවීම වැනි අප උසස් යැයි සළකන මිනිස් ගුණාංග මෙන්ම වෛරය, ඊර්ශ්‍යාව දැනවීම වැනි ගතිගුණත් මිනිසුන් සේම ඔවුන් අතරද හදුනාගත හැකි බව මේ  සංවිධානය පවසයි.

මෙනිසා මෙම සතුන්ට මිනිසුන් හා සමාන අයිතිවාසිකම් ලැබීමේ අයිතියක් ඇති බව නොන් හියුමන් රයිට්ස් සංවිධානයේ මතයයි.

සියලූ සතුන්ට තම තමන්ගේ අයිතිවාසිකම් ලබා දීම වෙනුවෙන් කටයුතු කරන බව පවසන එම සංවිධානය තම අරමුණ දිනා ගන්නා තෙක් සටන අත්නොහරින බව කියයි.