ඊ මේල්, එස්.එම්.එස්, එම්.එම්.එස් පැමිණීමේ ප්‍රතිඵලය වූයේ එදා තිබූ පෙම් පත ටිකෙන් ටික අභාවයට යාමයි. එසේ වුව ද පෙම්පතේ ඉතිහාසය වසර 450ට වඩා ඈතට දිවයන බව දකුණු කොරියාවෙන් ලැබුණු සාධක අනුව තහවුරු වී ඇත.

කොරියාවේ අන්ඩොන්ග් නගරයේ කළ කැණීමක දී හමුවූ මමියක් සමග තිබී මේ පෙම්පත හමුවී ඇත. 1568 දී එය ලියා ඇත්තේ පැරණි ලතින් බසිනි. මමිය නිවැරදිව හදුනා ගැනීමට ද මේ ලිපිය ඉවහල්වී ඇත. කොරියාවේ ගොසෙයොන්ග් යී ගෝත්‍රයේ ඉයුන් ‍ටෝ නමැති පුද්ගලයා මමියක් බවට පත්ව නූතන පුරාවිද්‍යාඥයන්ට හමුවී ඇති බවට පෙම්පත මනා සාක්ෂියකි.

මේ ලිපිය ලියා ඇත්තේ ඔහුගේ බිරිඳ විසිනි. ඇය ඔහු අමතන්නේ 'වෝන්ගේ පියා' යනුවෙනි. මමිය අසළ තිබී තවත් ලිපි 12 ක් සොයාගෙන ඇත.

ඒ ලිපි අතරින් වඩාත් සංවේදී වන්නේ පෙම් හසුනයි. ඇයට ඔහු නොමැතිව ජීවත්විය නොහැකි බවත් ඔහු යන තැනකට තමා ද රැගෙන යන ලෙසත් එම ලිපියේ ලියා ඇත. මේ ලිපි අතර තිබී කාන්තාවකගේ හිසකෙස් කිහිපයක්, තවත් කඩදාසි විශේෂයකින් ඔතන ලද මල්ලක් ද හමුවී ඇත. මල්ල විවිර කළ විට දක්නට ලැබුණේ කාන්තා හිසකෙස් වලින් ගොතා නිම කරන ලද පාවහන් යුගලකි. පර්යේෂකයන් පවසන්නේ ලිපිය ලියූ බිරිද තම හිසකෙස් වලින් පාවහන් ගොතා තම සැමියාට එවා ඇති බවයි.

ඒ කෙසේ වුව ද විසදුම් නැති ගැටළුවක් ඉතිරිව තිබේ. මේ මිනිසා තම බිරිද එවූ ලිපි හා පාවහන් යුවළ සහිත මල්ල පපුවට තුරුළුකැරගෙන මියගියේ කෙසේ ද ? මියගිය ඔහු මමියක් බවට පත්කළා ද නැතිනම් ස්වභාවික සාධක හේතුවෙන් මමියක් බවට පත්වූවා ද ? ඒ ගැටළු වලට පර්යේෂකයන්ට විසදුම් නැත.