16 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුව ඉරානයේ තෙහෙරාන් නුවරදී අද ආරම්භවන අතර ඊට සහභාගී වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් ඊයේ(29) ඉරානයට පැමිණි බව එරට රජය නිවේදනය කළේය. එ.ජා මහලේකම්වරයා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතරතුර ඉරාන ජනපති මහමුද් අහමදිනේජාද් සහ එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි ඇතුළු රාජ්‍ය නියෝජිතයන්ද හමුවීමට නියමිතය. ජනපති අහමදිනේජාද්ගේ ආරාධනාවක් පරිදි ඉරානයට පැමිණ සිටින මහලේකම්වරයා අද සහ හෙට යන දිනවලදී පැවැත්වෙන මෙම සමුළුවේ නිරීක්ෂකයකු ලෙස කටයුතු කරනු ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරන ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය මහලේකම්වරයා ඉරානයට පැමිණීම සම්බන්ධයෙන් සිය නොසතුට පළ කර ඇති බව වාර්තා වේ. ඉකුත් සතියේදී මේ පිළිබඳව විරෝධය පළ කළ ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ මහ ලේකම්වරයා ඉරානයේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වුවහොත්, එය ඔහු විසින් සිදු කරනු ලබන බලවත් වරදක් බවයි. ගෝලීය අර්බුදයක් ලෙස මේ වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ මානව හිමිකම් සුරැුකීම සම්බන්ධයෙන් ඉරාන නායකයන් සමඟ සාකච්ඡා කිරීමට මහලේකම්වරයා බලාපොරොත්තු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඊට අමතරව ත‍්‍රස්තවාදය සහ සිරියා අර්බුදය පිළිබඳවද අවධානය යොමු කිරීමට නියමිතය. නොබැඳි ජාතීන්ගේ සමුළුවට පලස්තීන අධිකාරිය සහ රටවල් 119 ක් අයත්ය. මෙවර සමුළුවට කියුබා ජනපති රාවුල් කස්ත්‍රෝ, ඉන්දීය අගමැති මන්මොහන් සිං සහ පාකිස්තාන අගමැති අසිෆ් අලි සර්දාරි යන රාජ්‍ය නායකයන් සහභාගී වීමට නියමිතය. ඊට අමතරව චීන සංචාරය අවසන් කළ  ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි ඉරානයට පැමිණීමට නියමිතය. ඒ අනුව ඊජිප්තු ජනපතිවරයකු ඉරාන සංචාරයකට එක් වනු ඇත්තේ වසර 30 කට පසුවය. ඉරාන ජනපති මහමුද් අහමදිනේජාද් (වමේ) සහ එ. ජා. මහලේකම් බැන්කී මූන් (දකුණේ).