ඉතාලිය කලා ශිල්පින් ගේ තෝතැන්නකියි කීම අතිශයෝක්තියක් නොවේ. ලියනාර්දෝ ඩාවින්සි ,මයිකල් ආන්ජෙලෝ වැනි ජගත් සිත්තරුන් ද තවත් දහසක් ජගත් කලාකරුවන් ද ඉතාලිය නිජබිම විය.
අද ද එදා සේ ම ඉතාලි ජාතිකයෝ කලා ශිල්පයේ සහජ ජාන උරුම ලද්දෝ වෙති. ඉතාලියේ නාපොලි නඟරය අතීත කලාගාරයෙකි. වත්මනේ ද නෙවිදි කලාකරුවෝ සිය දස්කම්වලින් දිනදින ජන ඇස රසගන්වති. මහමඟට බට ද පියවරින් පියවර සිත්තරුන් සිය කුසලතා එළිදක්වනු දකීම සාමාන්‍ය දෙයකි. පා ගමන් මං තීරුවේ සිය රුව සිත්තරකු විසින් සිත්තම්කරන තෙක් කෙනෙක් නිසල ව ඉවසිලිමත් ව වාඩිගෙන සිටිති. සිත්තරාණන් විසින් සැණින් කරන විසම මැවියාව රසිකයෝ වටවී නරඹති. තවත් සිත්තර කෙනෙක් මරිය මාතා රුව හෝ වෙනත් සාන්තුවර රුවක් හෝ පදික මංපිල තිරයක් සේ සලකා පින්තාරුවට නඟති.
අනෙක් සිත්තරෙක් නපොලියේ මනහර දසුනක් මං පිල් තිරයේ මවති. සිත්තරු අඳිති , මකමකා නාදිති . අඳින ඉර ද යොදන පැහැය ද නොවරද්දති .
මේ සිත්තරුන් පින්තාරු සඳහා බොහෝසෙයින් කුඩුසයාම් භාවිත කරති. මම සිත්තරුන් ගෙන් විමසීමි "කුඩුසයාම් දියකරනු ලබන්නේ තෙලින් ද මැලියමින් ද වලිත්තියෙන් ද ?"යන පැනය.
ලලිතකලා සරසවි සිසුවකු විසින් කුඩුසයාම් දියකරන සරල දියරය මට පෙන්වනලද්දේ කට කොනක නැඟි සිනහ සහිත ව ය.ඒ වූකලී පැණි බීම බෝතලයෙකි ."අපි දියකරන්නේ කොකාකෝලවලින්, හොඳින් අල්ලා හිටිනවා. මේවා නවීන සොයාගැනීම්."තව ද කාරණාවක් ම විසින් වෙසෙසින් ම සඳහන් කළ මනා වෙයි. පදික වේදිකාවේ දස්කම් දක්වන අයට මෙරටවැසියන් විසින් අව ඇගයුමක් දෙන පහත් පිළිවෙතක් නො අනුයති. හැකිපමණින් සිය අත දීමෙහි ද නොමසුරුවෙති .
නපොලියේ ටොලඩෝ පාරේ ද වන්විතෙල්ලි ස්කර්ලාත්ති පාරේ ද මා කැමරා ඇසේ ඇඳුණු වීදි සිත්තරුන් කිහිප පොළක රූ සටහනුය් මතු දැක්වෙනුයේ..ඒ අතර දේව මෑණියන් ගේ පාවෙන පිළිරුවක් නිරූපනය කරන මෙනෙවියක ගේ මේවර ද රංගනයේ යෙදුණු දරු දෙදෙනකු ගේ නිරූපණ ද කාගේත් නෙත් අදිනු දිටිමි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න... පදික වේදිකාව එකම කලාගාරයක් වෙලා .මගීන්ගේ හිත් සතුටින් පිරිලා .හරි ලස්සනයි. (ර)
පිටිගල, ඩාවින්ගේ මොනාලිසා මුල්පිටපත තිබෙන්නේ ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේනේ (නි)
හරිම ලස්සන නිර්මාණ (නි)
මොනතරම් ලස්සන පින්තූරද? වීදි සිත්තරුන්ටත් සුබ පතමි. (නි)
ලියනාර්දෝ දාවින්චිගේ ලෝක ප්‍රසිද්ධ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය චිත්‍රය තිබෙන්නේ මිලානෝ නගරයේ සාන්ත මරියා ග්රාට්සියා පල්ලියෙයි. මෙය ලෝකයේ මිල අධිකම නොහොත් මිල කල නොහැකි චිත්රයකි. මෙහි සිටින බොහෝ ලාංකිකයන් මෙහි අගය නොදැනදෝ මෙය බලනවා තබා මේ ගැන අසා වත් නැත. (ර)
පහන්, ලුවර්හි ඇති මොනලිසාගේ චිත්‍රය මුල් පිටපතද යන්න මතභේදයකට තුඩු දෙන්නක්. සමහර ප්‍රංශ විශේෂඥයන්ගේ අදහස මෙහි මුල් පිටපත සොරකම් කර යම් ස්ථානයක ධන කුවේරයෙක් තබාගෙන සිටින බවයි. (බ)
ලෝප්‍රකට ලියනාඩෝ ඩාවින්සි සිත්තරාගේ "මොනලිසා" අපුර්ව සිතුවම ගැන නොදත්තෝ කවරහුද....? මෙවැනි ජගත් සිත්තරුන්ගේ සිතුවම් කොතෙක් නැරඹුවත් මට නම් ඇති නොවේ (නි)
ඇයි අපේ රටේත් දහස් ගණනක් දෙනා චිත්‍ර අඳිනවා. ඒ කිසිවක් අගය නැහැ. උදේ පාරට බැහැපු වෙලේ ඉඳලා අඳුර වැටිලා නිවෙසට යනතුරු අපේ සිංහලය පාරේ ලස්සන බුලත් විට චිත්‍ර ගහලා. අහළ පහළ තිබෙන අහුවෙන දේක ඇඟිල්ලෙන් හුණු ටික ඇදලා යනවා හරියට ආපසු එද්දී පාර හොයාගන්න බැරිවුණොත් මඟ සළකුණු බලාගන්න වගේ. ඒ ගැන කිසිවකුට අවධානයක් නැහැ. නීතියෙන් ක්‍රියාවට නැංවිය යුතු මේ පරිසර විනාශ අවදානම් චිත්‍ර ඇදිල්ල අප කුඩා රටේ වහාම නැවත්වීමට අප ක්‍රියා කළයුතුයි. ඉතාලි නාපොලි නුවර හරිම ලස්සනයි. කලාව මිනිසාගේ හදවතින් ලස්සන නිමානයක් බිහිකරනවා. ඒ සුන්දරත්වය විඳගන්න ඒ හා සමාන මිනිසුන්ම ජීවත්විය යුතුයි...! (නි)
මම වැඩට යන පාර. හැමදාම දකිනවා. ඉතාලියේ නාපොලි හරිම ලස්සනයි (නි)