පෘථීවියේ ස්කන්ධය හා සමාන ස්කන්ධයක් ඇති එහෙත් සම්පූර්ණයෙන්ම පාහේ ගෑස් වලින් සැදුණු නව ග්‍රහලොවක් සොයාගැනීමට ඇමරිකා විද්‍යාඥ පිරිසක් සමත්ව සිටිති.

මෙම ග්‍රහලොව පිහිටන සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ පෘථීවියේ සිට ආලෝක වර්ෂ 200 ක දුරින් බව සදහන් වේ. එම ග්‍රහමණ්ඩලයට ඇත්තේ ග්‍රහයින් දෙදෙනෙකු බවද සොයාගෙන තිබේ.

කේඕඅයි -314සී ලෙස නම් කර ඇති මෙම ග්‍රහයයා පෘථීවියට වටා 60 ගුණයකින් පමණ විශාල වන මුත් බරින් පෘථීවිය හා සමානය.මෙය පාෂාණමය ග්‍රහයින් හා ජලයෙන් හෝ වායුවලින් සැදුණු ග්‍රහයින් අතර වැඩි වෙනසක් නොමැති බව හොදින්ම පෙන්වා දෙන්නක් යැයි විද්‍යාඥයන් කියයි.

පෘථීවියට බරින් සමාන වූවත් අන් කිසිදු අයුරකින් මෙම ග්‍රහයා පෘථීවිය හා සමාන නොවන බව ඔවුන් පවසයි.

ග්‍රහයාගේ බර මැනීමටත් විද්‍යාඥයන් භාවිතා කර ඇත්තේ අලූත් ක්‍රමවේදයකි.ග්‍රහමණ්ඩලයේ අනෙක් ග්‍රහයා මෙම ග්‍රහයා මත ඇති කරන ගුරුත්ව බලයත් මෙම ග්‍රහයා එම ග්‍රහමණ්ඩලයේ ප්‍රධාන තරුව වටා භ්‍රමණය වීමේදී තරුවෙන් නිකුත් වන ආලෝකයේ සිදුවන වෙනස්වීමත් ආශ්‍රයෙන් ගණනය කිරීම සිදුකර තිබේ.

කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්ෂය ආධාරයෙන් සොයාගෙන ඇති මේ නව ග්‍රහලොව අභ්‍යාවකාශයේ චන්ද්‍රයින් සොයා සිදුකෙරුණු නිරීක්ෂණයකදී අහම්ඛෙන් හමුවූවක් යැයි විද්‍යාඥ පිරිස පවසයි.