කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනය කර ඔහුගේ පාලනය අවසන් කර වසරක් ගත වී ඇති නමුත් ලිබියාවට තවමත් ‘නිදහස’ ලැබී නැතැයි ලිබියාවේ නව රජයේ ප‍්‍රධානියා වන මොහොමඞ් මැගාරීෆ් පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඉකුත් 20 වැනිදා රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමැතූ අවස්ථාවේදීය. ලිබියා කැරැල්ල උත්සන්න වීමෙන් පසු කැරැලිකරුවන් සැඟවී තුවාල ලබා සිටි ගඩාෆි සොයා ඔහු අමු අමුවේ මරා දැම්මේ ඉකුත් වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. එම අවස්ථාවේ කැරැලිකරුවන් නියෝජනය කරමින් ලිබියාවේ දේශපාලන හඬ ලෙස කටයුතු කළේ මොහොමඞ් ජිබ්රිල්ගේ නායකත්වයෙන් යුත් ලිබියානු අන්තර්වාර පාලක මණ්ඩලයයි. එම පාලක මණ්ඩලය පසුගිය අගෝස්තු මාසයේදී ජාතික පාලක මණ්ඩලයකට බලය පැවැරූ අතර එහි ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මොහොමඞ් මැගාරීෆ්ය. ගඩාෆිගේ පාලනය අවසන් කිරීමට ලිබියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන් එක්ව අවි අතට ගත් අවස්ථාවේදී ඔවුන්ට අවි ආයුධ දී ශක්තිමත් කළේ ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය යන බටහිර රටවල්ය. ගඩාෆි හමුදා පරාජය කරමින් ලිබියාව තම ග‍්‍රහණයට නතු කර ගැනීමට කැරැලිකාර පාර්ශ්වයට හැකියාව ලැබුණේ නේටෝවේ ගුවන් ප‍්‍රහාරවල පිහිටෙනි. ගඩාෆි පාලනය නිමා කිරීමට අවි අතට ගත් ඇතැම් සන්නද්ධ කල්ලි, අවි බිම දමා නැති අතර ඔවුන් ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව කි‍්‍රයාකරයි. එම හේතුව නිසා ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ඇති අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද ඉහළ යමින් පවතී. කැරැලිකරුවන්ට බටහිර රටවලින් විශාල වශයෙන් ආයුධ ලැබුණු අතර ඒවා මේ වනවිට අල් කයිඩා සටන්කාමීන් අතට පත් ව ඇති බව ද වාර්තා වේ. මීට මාසයකට පමණ පෙර ලිබියාවේ බෙන්ගාසි නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට සන්නද්ධ පිරිසක් පහර දුන්නේය. එම පිරිස ලිබියානු නව රජයට විරෝධය දක්වන පිරිසක් බවත් අල් කයිඩාවේ ද සහාය ඔවුන්ට ලැබුණු බවත් පසුව අනාවරණය විය. එම ප‍්‍රහාරයෙන් ලිබියාවේ ඇමෙරිකානු තානාපති ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මේ අතර ඉතිරි වූ ගඩාෆි හිතවාදී සන්නද්ධ කල්ලියක් ඉකුත් 18 වැනිදා ලිබියා රජයේ හමුදා සෙබළුන් පිරිසක් අතර ගැටුම් ඇති කර ගත්තේය. ඒ, ටි‍්‍රපොලි අගනුවර සිට කිලෝමීටර් 170 ක් ඈතින් පිහිටි බානි වලීඞ් නගරයේය. බානි වලීඞ් නගරය ගඩාෆිගේ අවසන් බලකොටුව ලෙස ද සැළකෙයි. එම අවි ගැටුමින් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 75 දෙනෙක් තුවාල ලැබූහ. බානි වලීඞ් රෝහල් ආරංචි මාර්ග පැවැසුවේ ගැටුමින් තුවාල ලැබූවන්ගෙන් වැඩිදෙනා සිවිල් වැසියන් බවය. රටේ තවමත් කි‍්‍රයාත්මක, රජයට විරෝධය දක්වන සන්නද්ධ කල්ලි නිරායුධ කිරීමට ලිබියා රජය මේ වනවිට තීරණයක් ගෙන ඇත. එම කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙන බව ද මොහොමඞ් මැගාරීෆ් අවධාරණය කරයි. බානි වලීඞ් නගරයේ ගැටුම් සමථයකට පත් කිරීමට විශේෂ හමුදා බළඇණි කිහිපයක් යැවීමට කටයුතු කළ බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. මේ අතර ලිබියා රජය සමඟ එක් වී, එරට කි‍්‍රයාත්මක ආයුධ සන්නද්ධ කල්ලිවලට එරෙහිව සටන් කිරීමට, කොමාන්ඩෝ බළඇණියක් පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. එම බළඇණිය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක් යෙදවීමට ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.