න්‍යෂ්ඨික වැඩපිළිවෙළ නිසා සම්බාධක පිට සම්බාධක පැනුවුණු ඉරානය දැන් ලෝක බලවතුන් සමග සහයෝගයෙන් කටයුතු කරන සෙයක් පෙනෙන්නට ඇති බැවින් ඉදිරියේදී ඉරානයේ සිට ඛනිජ තෙල් ආනයනය කිරීම ගැටලූවක් නොමැතිව සිදු කළ හැකි වනු ඇතැයි තමන් සිතන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුසන්ත සිල්වා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතාද පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශයක් කළ අතර ඔහු පැවසුවේ ඉරානය මත පනවා ඇති සම්බාධක ලිහිල් වන්නේ නම් එය ශ්‍රී ලංකාවට මහත් වාසියක් අත්කර දෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් පිරිපහදු කිරීම සදහා ඇත්තේ අඩසියවසකටත් වඩා පැරණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව පමණි.එය ගැළපෙන්නේ සල්ෆර් ප්‍රතිශතය අඩු ඛනිජ තෙල් පිරිපහදු කිරීමටය.

ඉරානයේ ඛනිජ තෙල් සල්ෆර් ප්‍රතිශතයෙන් අඩු නිසා ගැටලූවක් නොමැතිව පිරිහදුවට යෙදිය හැක.නමුත් ඕමානය,සෞදි අරාබිය වැනි රටවලින් ලැඛෙන ඛනිජ තෙල් වල සල්ෆර් ප්‍රතිශතයේ ඇති වෙනස්කම් නිසා ඒවා පිරිපහදුවට යෙදීම අපහසුය.

මෙනිසා පිරිපහදු කටයුතු සදහා යොදාගැනෙන ඛනිජ තෙල් වලින් සියයට 93 ක් පමණම වාගේ පිරිමසා ගනු ලබන්නේ ඉරානයෙනි.

ඉරානයට සම්බාධක පැනවීමත් සමග රජය කළේ සෞදි අරාබිය වැනි රටවලින් ඛනිජ තෙල් ගෙනවිත් පිරිපහදු කිරීමට උත්සාහ කිරීමය.නමුත් නොගැලපීම නිසා එය අසාර්ථක වූවා පමණක් නොව සපුගස්කන්ද පිරිපහදුවද කිහිපවරක් සම්පූර්ණයෙන්ම වසා දැමිීමටත් සිදුවිය.වෙන කළහැක්කක් නොමැති තැන රජයට සිදුවූයේ වැඩි මිලක් ගෙවා කලින් පිරිපහදු කරන ලද ඛනිජ තෙල් ආනයනය කිරීමටය.

මෙය රටේ තෙල් මිල වැඩිවීම ඔස්සේ ජනතාවට හොදින්ම දැනුණු බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනපති මහින්ද රාජපක්ෂ මහතාද වරක් විදෙස් නියෝජිතයින් හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව ඇතුලූ බටහිර බලවතුන් විවිධ රටවලට සම්බාධක පැනවීමේදී සැබැවින්ම තැලෙන්නේ එම රටවල් නොව එම රටවල් වල ආධාර ලබන ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් බවයි.

දැරීමට සිදුව ඇති අධික වියදම නිසාම ඛනිජ තෙල් වලට ආදේශකයක් සොයා ගැනීම ශී්‍රලංකාව වැනි රටකට අනාගතයේදී ඉතා වැදගත් බව ඛනිජ තෙල් සංස්ථාවේ මතයයි.

ඉරානයට පැනවුනු සම්බාධක ලිහිල්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් ආනයනය යථා තත්ත්වයට පත්වී ඒ හා සමග රටේ තෙල් මිල අඩුවේදැයි යන ගැටලූවට නම් තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැත.