වසර 30 ක් තිස්සේ යුවාන් බිලියන 2.2කට (ඇමෙරිකානු ඩොලර් මිලියන 325ක්) වඩා වැඩි මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වුණු චීනෙය් හිටපු නගරසභා නිලධාරියකුට එරට අධිකරණයක් මරණ දඬුවම නියම කළ බව චීන මාධ්‍ය වාර්තා කළේය.

1993 සිට 2023 දක්වා කාලය තුළ නැන්ජින් නගරයේ විවිධ තනතුරු දැරූ යැං යූලින් නැමැති මෙම නිලධාරියා මූල්‍ය වංචා රැසකට සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට ද වරදකරු වූ බව පැවැසෙයි. යැං යූලින් උපයාගෙන ඇති නීතිවිරෝධී වත්කම් ප්‍රමාණය මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයන්ගෙන් එකකි.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, 69 හැවිරිදි යැං යූලින්, සිය තනතුරු අවභාවිතයට ගනිමින් අල්ලස් ලබා ගනිමින් විවිධ පුද්ගලයන්ට ඉංජිනේරු කොන්ත්‍රාත්තු, ඉඩම් පැවරීම් සහ මූල්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත.

ජනාධිපති ෂී ජින්පින්ගේ දූෂණ මර්දන වැඩපිළිවෙළ යටතේ  දූෂණ විරෝධී මෙහෙයුම් රට පුරා පැවැත්වෙයි. යැං යූලින් නීතියේ රැහැනට හසුවී ඇත්තේ එම මෙහෙයුම්වලිනි.

යැං යූලින් වැනි, තරවත් රජයේ නිලධාරීන් බොහෝ දෙනකු බැංකු නිලධාරීන් බොහෝ දෙනකු සහ හමුදා නිලධාරීන් පිරිසක් ද දූෂණ මර්දන වැඩපිළිවෙළ යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි ද චීන මාධ්‍ය වාර්තා කරයි.