වසර 2035 වන විට ලොව කිසිදු රටක් දිළිදු තත්ත්වයේ නොසිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බව ලොව ධනවතුන් අතුරින් කෙනෙකු වන මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු බිල් ගේට්ස් කියයි.

ඔහු හා ඔහුගේ බිරිද වන මෙලින්ඩා ගේට්ස් එක්ව පවත්වාගෙන ගේට්ස් පදනම වාර්ෂිකව නිකුත් කරන සංදේශයේ කියයි.

ලොව දිළිදු රටවල ජනතාවට සහන සැළැසීමේ අරමුණින් පිහිටුවා තිබෙන ගේට්ස් පදනම මහා පරිනාමයෙන් සහන සේවා කටයුතු වල යෙදෙන්නකි.එම කටයුතු සදහා විශාල ප‍්‍රමාණයෙන් මුදල්ද වියදම් කෙරේ.

තම ලිපියෙන් බිල් ලොව දිළිදුකම සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත 3 ක් ගැන කතා කරයි.ඉන් පළමුවැන්න වන්නේ දිළිදු රටවල් සදහටම දිළිදු තත්ත්වයේ පවතිනු ඇත යන්නයි.

‘‘කිසි ලෙසකින් වත් එහෙම වෙන්නේ නැහැ.මම කුඩා කාලයේ දිළිදු රටවල් යැයි පැවසුණු රටවල් දැන් දියුණු වෙලා.බොහෝ රටවල් දිළිදු වෙලා තිබෙන්නේ එම රටවල පාලකයින් නිසා.නමුත් දැන් එම තත්ත්වය වෙනස් වෙන බවක් පෙනෙන්නට තිබෙනවා.අඩුම තරමින් මැද ආදායම් ලබන තත්ත්වයටවත් දිළිදු රටවල් තවත් වසර කිහිපයකදී දියුණු වේවි යැයි කියා මට විශ්වාසයි‘‘ ඔහු සදහන් කර තිබේ.

දෙවන මිත්‍යාව ලෙස ඔහු දක්වා ඇත්තේ විදෙස් ආධාර වැඩකට නැති දෙයක් ලෙස ඇතැමුන් දැකීමයි.

‘‘ඇත්තෙන්ම මෙය දේශපාලන නායකයින් තමන්ගේ වාසිය තකා ඉදිරිපත් කර තිබෙන සංකල්පයක්.විදෙස් ආධාර කියන්නේ හොද ආයෝජනයක්.එය නොදැනුවත්වම ඒ ඒ රටවල් අතර සවිමත් ආර්ථික සබදතා ඇතිවීමට හේතුවක් වෙනවා‘‘ යැයි ඔහු ලියා ඇත.

තෙවන මිත්‍යාව ලෝක ජනගහනයේ වැඩිවීම ලෝකයට තර්ජනයක් වීම පිළිඹදවය.මෙයට පිළිතුරු ලබා දී තිබෙන්නේ මෙලින්ඩා ගේට්ස්ය.

‘‘ලෝක ජනගහනයේ වැඩිවීම ගැන බොහෝ අය ඇගිල්ල  දිගු කරන්නේ දරුවන්ට.දරුවන් වැඩි වෙනවා කියන්නේ ලෝක ජනගහනය වැඩි වනවා කියලයි ඔවුන් කියන්නේ.මිනිස්සු නැතිව ජනගහනයක් ගැන කතාකරන්නේ කොහොමද?.ජනගහනය වර්ධනය වීම අවශ්‍යයි.මිනිසුන්ට තම තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගත හැකි වාතාවරණයක් තිබෙනවානම් ඔවුන් කුඩා පවුල් ඇතිකර ගැනීමට පෙළඹේවි.

දැන් වෙලා තියෙන්නේ ලෝකයේ සම්පත් බෙදී යෑමේ විෂමතා නිසා හා නොදැනුවත්කම නිසා බහුතරයක් මිනිසුන් හට පවුල් දිවිය සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති වීම.ඔවුන්ටත් යහපත් දිවියක් ගතකරන්නට පහසුකම් තිබෙනවා නම් ඔවුනුත් වගකිව යුතු ලෙස කටයුතු කරාවි.කියන්න  ඕනෙ වැඩිහිටියන්ගේ වැරදි නිසා දුක්විදින්නේ දරුවෝ.එනිසා සියළු දෙනා තම තමන්ගේ වගකීම් දැන කටයුතු කිරීම අවශ්‍යයි.‘‘ ඇය සදහන් කර ඇත.

ලිපියේ අවසන බිල් හා මෙලින්ඩා දෙපළ සදහන් කර තිබෙන්නේ සියළු දෙනාට සම අයිතිවාසිකම් හිමි ලොවක් නිර්මාණය විය යුතු බවයි.එවන් ලොවක් නිර්මාණය වන්නේ මිනිස් ජීවිතයක වටිනාකම දැන කටයුතු කරන සමාජයක් නිර්මාණය වන දා යැයි ඔවුන් දක්වා ඇත.