IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තුවේ නව ජනාධිපති මුර්සිට තවත් ජයග‍්‍රහණයක්

දශක හයකට පසුව ඊජිප්තුවේ පැවති නිදහස් ජනාධිපතිවරණයෙන් ප‍්‍රථම වරට හමුදාවේ සහාය නොමැතිව මුස්ලිම් සහෝදරත්වයේ මොහ්මඞ් මුර්සි ජයගැනීම මෑත ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. ඉන් පසුව කප්පාදු කරන ලද බලතල සහිත ජනාධිපති තනතුරට පත් මුර්සි පසු ගිය ඉරිදා වසර 20කට අධික කාලයක් හමුදාවේ නායකත්වය මෙන්ම පසුගිය වසරේ මාර්තු මාසයේ සිට රටේ නායකත්වයට පත් ෆීීල්ඞ් මාර්ෂල් හුසේන් ටන්ටවි එම තනතුරෙන් ඉවත් කර නව හමුදා නායකයෙක් පත් කිරීම මුර්සි ලත් දෙවන ජයග‍්‍රහණයයි. ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්නයේදී ව්‍යවස්ථාදායකය විසුරුවා හැර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම, අයවැය සකස් කිරීම හා ව්‍යවස්ථාදායක බලතල තමන් වෙත පවරා ගත් ටන්ටවිගේ නායකත්වයෙන් යුත් උත්තරීතර හමුදා මණ්ඩලය ජනාධිපතිවරයා සතු බලතල බොහොමයක් පවරා ගත්තේය. ඉන් වඩාත් වැදගත් වන්නේ හමුදාවේ පත්කිරීම, යුද්ධ ප‍්‍රකාශ කිරීම වැනි සේනාධිනායකයා සතු බලතල ද ජනාධිපතිවරයාගෙන් ඉවත් කර ඔහු හුදු නාමමාත‍්‍ර විධායකයෙක් බවට පත් කිරීමය. එහෙත් කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට ජනාධිපති ඒ සියල්ල කණ පිට පෙරළා තමා වචනාර්ථයෙන්ම ජනාධිපති බව තහවුරු කළේය. සමහර නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට ජනාධිපති මුර්සිට මෙවැනි අභියෝගාත්මක පියවරක් ගැනීමට අවස්ථාව ලැබුණේ සිනායි ප‍්‍රදේශයේ ඊශ‍්‍රායෙල් දේශසීමාව අසළ පිහිටි ඊජිප්තු හමුදා මුර පොළකට ඉස්ලාමීය අන්තවාදීන් යැයි සැක කරන සන්නද්ධ කණ්ඩායමක් හදිසි ප‍්‍රහාරයක් එල්ල කොට හමුදා භටයින් 16 දෙනෙක් මරාදැමීමෙන් උද්ගත වූ වාතාවරණයයි. හමුදාවට දැඩි පසුබෑමක් වූ මෙම සිද්ධියෙන් පසු සිනායි ප‍්‍රදේශයට ගිය ජනාධිපති මුර්සි 1973න් පසුව ප‍්‍රථම වරට එම ප‍්‍රදේශයේ හමුදා මෙහෙයුමක් දියත් කිරීමට නියෝග කළේය. ඊජිප්තු ප‍්‍රහාරක ගුවන් යානා 1973න් පසුව ප‍්‍රථම වරට සිනායි ප‍්‍රදේශයේ තෝරාගත් ඉලක්ක කීපයකට පහර දී හමුදා මුර පොළට ප‍්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ යැයි සැක කරන කණ්ඩායම් විනාශ කළ බව ද වාර්තා විය. වඩාත් වැදගත්වන්නේ එම මෙහෙයුම්වලදී ඊශ‍්‍රායෙල් ආරක්‍ෂක හමුදා සමග සහයෝගයෙන් කටයුතු කිරීමය. ගාසා තීරයට උමං මාර්ග ඔස්සේ භාණ්ඩ ප‍්‍රවාහනය කරන දොරටු සියල්ල විනාශ කිරීමට ද ජනාධිපති මුර්සි නියෝග කළේය. ඊජිප්තු හමුදා මුර පොළට ප‍්‍රහාරය එල්ල කිරීම මුස්ලිම් අන්තවාදීන්ගේ ක‍්‍රියාවක් ද, නැතිනම් ඊශ‍්‍රායෙල් ඔත්තු සේවය වන මොසාඞ් හි අනුදැනුම ඇතිව කිසියම් කණ්ඩායමක් සිදු කළේද යන්න තවම පැහැදිලි නැති වුවත් එය ජනාධිපති මුර්සිට සිය නායකත්වය තහවුරු කර ගැනීමට කදිම අවස්ථාවක් විය. සන්නද්ධ හමුදාවල උත්තරීතර මණ්ඩලයේ ප‍්‍රධානි ලෙස ටන්ටවිට විශාල බලයක් ඇතැයි පෙනුන ද ජනාධිපති මුර්සිගේ මෙම තීරණයට හමුදාව තුළින් මෙතෙක් අභියෝගයක් ඉදිරිපත් වූයේ නැත. ඊට එක හේතුවක් විය හැක්කේ 76 හැවිරිදි ටන්ටවි එම තනතුරෙන් ඉවත් කිරීම සන්නද්ධ හමුදාවල අනෙක් නිලධාරින්ට අවස්ථාවක් නිර්මාණය කිරීම නිසා විය හැකිය. හමුදා ප‍්‍රධානි සහ ආරක්‍ෂක ඇමති තනතුරට පත් කළ ජනරාල් අබ්දෙල් ෂාටා අල් සිසි 57 වැනි වියේ පසුවන නිලධාරියෙකි. බුද්ධි අංශයේ ප‍්‍රධානි තනතුරට පත් කළ ජනරාල් සිඞ්කි සොබි 56 වැනි වියේ පසුවේ. දශක දෙකකට අධික කාලයක් හොස්නි මුබාරක්ගේ පාලනය යටතේ ආරක්‍ෂක ඇමති වූ ටන්ටවි එම තනතුරෙන් ඉවත් කිරීම සන්නද්ධ සේවා තුළින් විරෝධයක් මතු වීමට හේතුවක් නොවීය. මෙම පත්කිරීම්වලට අමතරව ජනාධිපති මුර්සි පසුගිය ජුනි මාසයේදී සන්නද්ධ හමුදාවල උත්තරීතර මණ්ඩලය වෙත පවරා ගත් ව්‍යවස්ථාදායක බලතල ද ආපසු තමා වෙත පවරා ගත්තේය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට බාධාවක් ඇත්නම් එය ද ජනාධිපති මුර්සිගේ කාර්යයක් වනු ඇත. මතුපිටින් මෙය ජනාධිපති මුර්සිගේ බලය විදහා දැක්වෙන අභියෝගාත්මක පියවරක් සේ පෙනුන ද සමහර විචාරකයින් සඳහන් කරන ආකාරයට මෙහි නොපෙනෙන ගනුදෙනුවක් ද ඇත. ප‍්‍රථමයෙන්ම ටන්ටවි හා බුද්ධි අංශයේ ප‍්‍රධානි සනි ඊනාන් ඉවත් කර ඇත්තේ ඔවුන් සමග සාකච්ඡුා කොට ඇති කර ගත් එකඟතාවක් අනුවය. ඊට නිදසුනක් වන්නේ තනතුරෙන් ඉවත් කළ මේ දෙදෙනාටම ජනාධිපති උපදේශක තනතුර හිමි වීමය. මේ තනතුරු නිසා ඔවුන්ගේ නිල කාලය තුළ සිදු කරන ලදැයි සැලකෙන කිසිම අයථා ක‍්‍රියාවක් ගැන අධිකරණයේ ප‍්‍රශ්න කළ නොහැක. හොස්නි මුබාරක් යටතේ සහ උත්තරී මණ්ඩලයේ සේවය කළ කාලය තුළ උද්ඝෝෂකයින්ට පහරදීම, වද හිංසාවලට ලක් කිරීම හා ව්‍යවස්ථාමය බලතල අයුතු ලෙස යෙදවීම වැනි චෝදනා රැුසක් මේ දෙදෙනාට විරුද්ධව ඉදිරිපත් වුවද ඒ කිසිත් විභාග කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. මීට අමතරව ජනාධිපති මුර්සි ඊශ‍්‍රායලය සමග අත්සන් තබා ඇති ගිවිසුම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට සහ ආරක්‍ෂක කටයුතුවලදි විශේෂයෙන්ම සිනායි ප‍්‍රදේශයේ සටන් කණ්ඩායම් මර්දනය කිරීමේදි ඊශ‍්‍රායෙල් ආරක්‍ෂක හමුදා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වීම ද මෙවැනි පියවරක් ගැනීමට අනුබලයක් වන්නට ඇත. ඊශ‍්‍රායෙල් සම්බාධක වලට ලක්ව ඇති ගාසා තීරයට භාණ්ඩ ප‍්‍රවාහනය කෙරෙන උමං මාර්ග විනාශ කිරීමට ගත් තීරණය මෙම සහයෝගිතාවට එක් නිදසුනක් පමණි. කෙසේ වුවත් එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් අපේක්‍ෂා කළ ආකාරයට වඩා වෙනස්ව ජනාධිපති මුර්සි ඔවුන්ට හිලෑ කර ගැනීමට හැකි වීම ඊශ‍්‍රායෙලය තුළ තිබූ බිය පහ කිරීමට හේතුවිය හැකිය. සිරියාවේ අසාඞ්ගේ පාලනයට එරෙහිව ගෙන යන සැඟවුන සටනේදි ඊජිප්තුවේ හා ඊශ‍්‍රායෙලය දැන් සිටින්නේ එකම පෙරමුණේය. ඊට හිලවු වශයෙන් මුස්ලිම් සහෝදරත්වයේ නාමයෙන් බලයට පැමිණි මුර්සිට ෂාරියා නීතිය ක‍්‍රියාත්මක කිරීම වැනි ආගම්වාදි ප‍්‍රතිපත්තියක් පෙරමුණට ගෙන ඒමට බාධවක් නොවනු ඇත. මෙවැනි වාතාවරණයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධාරණත්වය පතා පසුගිය වසරේ වීදි බට ඊජිප්තු ජනතාවට තම අපේක්‍ෂාවන් මුදුන්පත් කර ගැනීමට තවත් කලක් බලා සිටීමට සිදු වනු ඇත.

සටහන:-  මහින්ද හත්තක
තනතුරින් ඉවත් කළ හමුදා නායක ෆීල්ඞ් මාර්ෂල් හුසේන් ටන්ටව් මුර්සිට විරුද්ධ කණ්ඩායම් විරෝධය පළ කරමින් ෂිනායි ප‍්‍රදේශයට යැවීමට සූදානම් කර ඇති ඊජිප්තු හමුදා රථ නව ජනපති මුර්සි මුර්සිට පක්‍ෂපාත පිරිස්



අදහස් (0)

ඊජිප්තුවේ නව ජනාධිපති මුර්සිට තවත් ජයග‍්‍රහණයක්

නිරෝෂි Friday, 17 August 2012 03:18 PM

වෙන රටවල ප්‍රශ්න වලට මැදිහත් වෙන එක එච්චර හොද නැති නිසා නිහඩවම ඉන්න එක හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 11 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 11 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 730 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site