IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කවියේ ආකෘතිය තීරණයවන්නේ අන්තර්ගතයෙන්

ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි නූතන සිංහල කවිය තුළ තම අන්‍යතාව ප්‍රකට කළ ප්‍රතිභාසම්පන්න කවියෙකි. භෂ්මාවශේෂ, රුවන් සක්මන, සදාකාලික මධ්‍යහ්නය, පාරජම්බුල, සද කත් මිණි ගඟුල පත්ලේ, සාරසියක් නියුට්‍රෝන, සරමිණි සුගුමුව, ක්ෂීර සාගරයක පත්ල කලතා, වැනි කෘති ඔහුගේ කාව්‍ය සංග්‍රහ අතර කැපීපෙනේ.

විවිධ අවස්ථාවලදී රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ සාහිත්‍ය සම්මානය ආදියෙන්ද කුමාර හෙට්ටිආරච්චි පිදුම් ලබා ඇත. ‘කොක්ටේල් සහ ලොලිපොප්’ ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහයයි. මතු දැක්වෙන්නේ ඔහු සමඟ අප කළ සංවාදයක සටහනකි.

• ඔබේ කාව්‍ය සංග්‍රහය හි නම කොක්ටේල් සහ ලොලිපොප්. කෘතියකට නම් තැබීමේ සම්ප්‍රදායක් අපේ පැරැණි සාහිත්‍යයේ පැවතුණා. ඒත් ඔබ ඒ සම්ප්‍රදාය අතික්‍රරමණය කරවනවා. කෘතියකට යොදන නම එහි අභ්‍යන්තර කියවීමකට බලපෑම් කරන්නේ කොහොමද?

කොක්ටේල් සහ ලොපිපොප්, මගේ විසිතුන් වැනි කාව්‍ය සංග්‍රහයයි.  තමන්ට තමන්වම අහිමි වී පරාරෝපණය වූ පුද්ගලානූභූතීන්ගේ සමාජ සංස්කෘතික දේශපාලන සංඝට්ටනයන් තුළ ආධ්‍යාත්මික හා භෞතිකමය ජීවිතයේ හැලහැප්පීම් මැදින් ගලා බස්නා මානව ජීවිතයේ ප්‍රකම්පනය තමයි කවියෙන් ද පරාවර්තනය වෙන්නේ. ඒ අරුතින් බැලුවාම තලුමරන, කෙළ ගිලින, සූප්පු කරන සහ ගිල දැමූ ගොදුර දිරවාගත නොහැකිව අජීර්ණය වන පාරිභෝගික ජීවිතයයි කොක්ටේල් සහ ලොලිපොප් නියෝජනය කරන්නේ. 

• මේ කාව්‍ය සංග්‍රහයට පදනම් වූ අත්දැකීම් ගැන කතා කරමු? 

ගල් යුගය, දඩයම් යුගය, එඬේර යුගය, වැඩවසම්, ධනවාදී ආදී යුග ගණනාවක් ඔස්සේ ගලා ආ මානව පරිණාම වංශ කතාව තුළ හෝමෝ ඉරෙක්ටස් නන්නත්තාරවූ සමයක අත්දැකීම් සහ තොරතුරු

ගිල දමමින් හෝ ගිල දැමීමට මාන බලමින් අපි මැරතන් එකක ඉන්නේ. ගිල දැමූ ආශාවන් වමාරා කමින් ද, ග්‍රහණයට ගත නොහැකි දේ චෛතසිකව වළඳමින් ද, අතට අහුවෙන දේ පමණ ඉක්මවා බුදිමින් ද, අහු නොවෙන දේ අල්ලා ගැනීමට කුරුමානම් අල්ලමින් ද පිම්මේ දුවන දඩයක්කාරයෙක් තමයි නූතන සිවිල් මිනිසා.  ඒ නිසා විටෙක හිවලෙක්,  විටෙක හාවෙක් හෝ මීමින්නෙක්, විටෙක උණහපුළු‍වෙක්, බස්සෙක්, බකමූණෙක්,  බැරිම නම් හූල්ලන උලලේනෙක්.  නිරුවත් වානරයාගේ සීමාවන් අතික්‍රමණය කරනු ලබන දෘශ්‍ය හා අදෘශ්‍ය ශානර භක්ෂණය තමයි මේ කාව්‍ය සංග්‍රහයේ දඩබිම වන්නේ. 

• ඔබ ඔබේ ඇතැම් කාව්‍ය නිර්මාණවලදී අතීත මූලාශ්‍ර නැවත කියවමින්  ඒවා ප්‍රශ්න කරමින් ප්‍රති අර්ථ දෙමින් අපූර්ව ලෙස වත්මන් සමාජ සංස්කෘතික අත්දැකීම් සමග මුසු කරනවා. කාව්‍යමය අනුභූතියක් මත මේ තරම් ප්‍රබල ලෙස අපූර්වත්වය තවරන්නේ කොහොමද? 

අතීත මූලාශ්‍රවලින් තොර වර්තමානයක් නැහැ.  අතිශයින්ම පරම ලෙස ස්වාධීන වූත්, ස්වායක්ත වූත් පුද්ගලාත්මයක් හෝ සංකල්පයක් නැහැ. අයින්ස්ටයින්ගේ කාලාවකාශ සාපේක්ෂතා සංකල්පයටත්, බුදුන් වහන්සේගේ සේම යේසුස් වහන්සේගේ ඉගැන්වීම්වලටත්, මාක්ස් ගේ එංගල්ස්ගේ වාදයන්ටත් පෝෂණීය උල්පත් වූ විඥාන ධාරාවන් අපේ ඉතිහාසය පුරා විහිදී පැතිරී තිබෙනවා.  සමාජ සත්තා යථාර්ථවාදය, භෞතිකවාදය, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය හෝ පශ්චාත් නූතන කතිකාවන් ද උත්පාදනය වන්නේ අතීත මානව ශ්‍රම දායකත්වයේ වපසරිය තුළයි. නූතන අනුභූතීන් කිසිවක් ඕපපාතික නැහැ.  

• ඔබ කරන ඇතැම් ආකෘතිකමය වෙනස්කම් මේ කාව්‍ය සංග්‍රහයේදී කැපීපෙනෙනවා. කවියක ආකෘතිය තීරණය වන්නේ කොහොමද ?

සිනමාව, නාට්‍යය, නවකතාව, කෙටිකතාව, කවිය, චිත්‍රය, මූර්තිය ඈ කවර කලා මාධ්‍යයක් ගත්තත්, කලා කෘතියක ආකෘතිය තීරණය කරන්නේ නිර්මාණකරුවා නොවෙයි.  එය නිෂේධ බලයෙන් තීරණය කරන්නේ කෘතියේ අන්තර්ගතය විසිනුයි. 

• ඔබ කවියේදී යොදාගන්නේ පණගැහෙන භාෂාවක්. එය ඔබේ කවියේ අනන්‍යතා ලකුණක් සේ සැලකිය හැකියි. කවියේ ආත්මය සොයා යාමේ දී කවියේ භාෂාව තීරණාත්මක වන්නේ කොහොමද ?

මම මගේ ම අදහසක් කුඩා කාලයේ පටන් අදහනවා.  ඒ තමයි “භාෂාව නවකතාවේ දී මහණ වී, කෙටිකතාවේ දී උපසම්පදා ලබා කවියේ දී රහත්වෙනවා”‍ කියලා.  කවියා භාෂාවේ වහලෙක් විය යුතු නෑ. කවියේ දී භාෂාව වහලෙක් වෙනවා. කවිය පෙරහරක් නම් භාෂාව තමයි කස ගහන්නේ.  බෙර, දවුල්, තම්මැට්ටම් ගහන්නේ, ගිනි වළලු‍ කරකවන්නේ, කරඬුව වඩමවන්නේ, නිලමෙට අඳින්නේ පණගැහෙන භාෂාව.එය ස්වයංසිද්ධව උපදින්නේ අන්තර්ගතයේ විඥානධාරා උල්පත් ඔස්සේ ම යි. එහෙම නැතුව භාෂාව ලොන්ඩරියකින් ඉල්ලාගෙන ඇඳගැනීමට කවියා දුවන්න ඕන නෑ. අව්‍යාජ කවියේ දී භාෂාව නාට්ටාමියෙක්.


සංවාද සටහන ගාමිණි කන්දේපොළ

ප්‍රවීණ කිවියර  කුමාර හෙට්ටිආරච්චි



අදහස් (1)

කවියේ ආකෘතිය තීරණයවන්නේ අන්තර්ගතයෙන්

අරෝෂ සේනානායක Tuesday, 21 March 2023 03:08 PM

ඉන්ද්‍රජාලික කවියා.... ❤️❤️❤️❤️

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site