IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


හෝටල් වැසී යාම නරක පෙරනිමිත්තක්

උණුසුම් කිරි මාළු හොදි සමඟ ඉඳිආප්ප සහ පොල් සම්බෝල අපේ රටේ සුප්‍රකට උදෑසන ආහාර වේලක් වූ කාලයක් තිබිණි. තෙම්පරාදු කළ උණු උණු පරිප්පු සමඟ දර පෝරණු පාන්ද එවැනිම ආහාරයකි. රටපුරා හෝටල් සහ කැන්ටින්වල මෙම ආහාර වේලට තිබුණේ ලොකු ඉල්ලීමකි.

නගරයට විවිධ කටයුතු සඳහා පැමිණෙන ජනතාවත් රජයේ කාර්යාල සේවක සේවිකාවන් අතරත් ඉතා ජනප්‍රිය උදෑසන ආහාර වේලක් වූ මේ කෑම වර්ග දැන් අලෙවි වෙන්නේ නැති තරම්ය. ඒවායේ මිල ගණන් දැරිය නොහැකි මට්ටමද ඉක්මවා ගොස් තිබීම එයට හේතුවය.

මිල ගණන් ඉහළ ගියා මදිවාට මේ ආහාර ඇතුළු දිවා සහ රාත්‍රි ආහාර අලෙවි කළ රටපුරා සාමාන්‍ය හෝටල් සහ ආපනශාලා 30,000ක් අතුරින් 10,000ක් පමණ මේ වනවිට වැසීගොස් ඇතැයි අපගේ ලංකාදීප පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් පසුගිය දිනෙක වාර්තා කර තිබිණි.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා උපුටා දක්වමින් එහි සඳහන්ව තිබුණේ මෙසේ හෝටල් වැසීයාමට හේතු වී ඇත්තේ පාන් පිටි, බිත්තර, මස්, මාළු හිඟය බවය.

ඊට අමතරව රජයේ ආයතන සහ පාසල්වල ආපන ශාලා වලින් හරිඅඩක් පමණද එම ආහාර ද්‍රව්‍ය හිඟය හේතුවෙන් වැසී ගොස් තිබෙන බවද ඔහු සඳහන් කරයි. රටපුරා රාජ්‍ය ආයතනවල 4,600ක් පමණ ආපනශාලා  ක්‍රියාත්මකව පැවති අතර ඒවායේ අඩක් පමණ වැසී යාම හේතුවෙන් අඩු මුදලකින් ආහාර වේලක් ලබාගැනීමට තිබෙන අවස්ථා අඩකින් අඩු වී තිබේ.

මේ තත්ත්වයට එකම හේතුව ආහාර සැකසීමට ගන්නා ද්‍රව්‍යවල මිල ගණන් දැරිය නොහැකි තරම් ඉහළ යාම පමණක් නොවන බවද මෙහිදී පෙන්වා දිය යුතුය. රටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය හැරුණු විට මේ රට ඇතුළේ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් හිතුමතේ ඉහළ දැමීමේ වෙළෙඳ මාෆියාවක් ක්‍රියාත්මක වන බවටද අසේල සම්පත් මහතා චෝදනා කර තිබිණි. තැඹිලි, කෙසෙල්, පලා මිටි, පලතුරු අලෙවි කෙරෙන්නේ සාධාරණ මිලකට නොවන බව ඒවායේ මිල ගණන් පිළිබඳ සොයා බැලීමේදී තේරුම් ගැනීම අපහසු නොවේ. මේවායේ මිල ගණන්වල කිසියම් ස්වයං නියාමනයක් හෝ පවත්වාගෙන යාමට එම වෙළෙඳුන්ද පියවර ගත යුතුය. එසේ නොවුවහොත් මේ ආහාර නිපැයුම් කර්මාන්තය රැක ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වනු ඇත.

හෝටල් සහ ආපනශාලා ව්‍යාපාර අඩපණ වීමෙන් අහිමි වන්නේ ජනතාවගේ ආහාර වේල පමණක් නොවේ. උත්සව ශාලා, ආහාර සැපයුම් සේවාද අඩාල වීමෙන් ඒවායේ සේවයේ නියුතු දහස් ගණනකගේ රැකියාද අහිමි වෙමින් පවතී. පාන්පිටි, බිත්තර, මස්, මාළු හිඟ වනවිට එම ව්‍යාපාර පවත්වාගෙන යාමට හැකියාවක් නැත. මේ තත්ත්වය පිළිබඳ දැඩිව අවධානය යොමු නොකළහොත් විශාල පිරිසකට තම ජීවනෝපාය අහිමි වීම වළක්වාගත නොහැකි වනු ඇත.

රටපුරා හෝටල් ආපනශාලා කර්මාන්තයට කණකොකා හැඬීම රටේ පවතින ආර්ථික අර්බුදයේම දිගුවකි. කෙටිකාලීන ප්‍රතිඵලයක් වශයෙන් හෝටල් සහ ආපනශාලා වැසී යන අතර එහි දිගුකාලීන ප්‍රතිඵලය ජනතාවට පහසුවෙන් ආහාර ලබාගැනීමට ඇති අවස්ථාව අහිමිව යාමත් එම කර්මාන්තයේ දහස් ගණනකගේ රැකියා අහිමි වීමත්ය. වැඩි මිලට හෝ පාන්පිටි, මස්, මාළු, බිත්තර සපයාගත හැකි නම් යාන්තමින් හෝ මේ කර්මාන්තයේ පණනල රැකගත හැකි වනු ඇත. එහෙත් ඒ ආහාර ද්‍රව්‍ය හිඟවනවිට සිදුවන්නේ කර්මාන්තය වැසී යාමය. කෙසේ හෝ කළයුතු වන්නේ එම තත්ත්වයට රට ඇදවැටීමෙන් වළක්වා ගැනීමය.

මතුපිටින් පෙනෙන ආහාර හිඟය සහ හෝටල් වැසීයාමේ කතාවේ යටින් ඇත්තේ රට මුහුණ දී සිටින අධි උද්ධමනකාරී තත්ත්වයකට රට ගමන් කරමින් සිටීමේ අමිහිරි කටුක යථාර්ථයයි. එය රටකට සිදුවිය හැකි නරකම තත්ත්වයකි. සිම්බාබ්වේ, ලෙබනන් වැනි රටවල් මේ නරකම තත්ත්වයේ පවතින රටවල් දෙකකි. එම රටවල්වල සිදුවන්නේ ඉතා අවාසනාවන්ත දේවල් බවත් අධි උද්ධමනකාරී තත්ත්වයට රට ගමන් කළහොත් ආර්ථිකයේ පාලනය මහ බැංකුවටත් රජයටත් අහිමිවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා පෙන්වා දී තිබිණි.

ලංකාදීප සඳුදා හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා තවදුරටත් අවධාරණය කර තිබුණේ ආර්ථිකයේ පරිපාලනය ගිලිහී යාමෙන් රටේ සියලු‍ ව්‍යාපාර කඩා වැටෙනු ඇති බවය. රුපියල් සියයේ රුපියල් පන්දහසේ බිංදු කපා හැරීමට සිදුවන තත්ත්වයකට යා නොදී ආර්ථිකය රැකගැනීමට නම් දැනට ඍණ මට්ටමින් පවතින ආර්ථික වර්ධන වේගය ධන මට්ටමට ගතයුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.

පාන් පිටි, මස්, මාළු, බිත්තර නැතිවීමෙන් හෝටල් සහ ආපනශාලා වැසී යාම රටේ පවතින භයානක ආර්ථික තත්ත්වයේ එක් පෙර නිමිත්තකි. වහාම ඊට පිළියම් යෙදීම අවශ්‍ය බවත් පෙන්වා දෙනු කැමැත්තෙමු.

(***)



අදහස් (0)

හෝටල් වැසී යාම නරක පෙරනිමිත්තක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 388 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site