IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


සමන්තා පවර්ගේ සිතට වදින කතාව

සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවට අමුත්තකු නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු ස්ථිර නියෝජිත වශයෙන් තානාපති සේවයේ යෙදී සිටි ඇය, 2015 නොවැම්බරයේදී ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූවාය. එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වූ සමන්තා පවර්, ශ්‍රී ලංකාව ඉතා කෙටි කාලයක් තුළදී රටක් වශයෙන් වෙනස් වී තිබෙන ආකාරය ලොවේම කැපී පෙනෙන කරුණක් වශයෙන් සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ එහි ජනතාව දුෂ්කර අවධියක් පසු කරන මුළු ලොවේම ප්‍රජාවට මහත් බලාපොරොත්තුවක් ලබා දී ඇතැයි ද සඳහන් කළාය. 

සමන්තා පවර් වර්තමානයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානි තනතුර හොබවයි. ඇය ශ්‍රී ලංකාවට මෙවර පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී කළ ප්‍රකාශය, මීට වසර කිහිපයකට පෙර කළ ඉහත ප්‍රකාශයේ සම්පූර්ණ ආපසු හැරැවීමකි.

ඇය සඳහන් කර තිබුණේ, දේශපාලකයන් සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබාගැනීමට තැත් කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වී ඇති බවය. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව විඳින දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත්වූ බව ද සමන්තා පවර් මහත්මිය සඳහන් කර තිබිණි. 

රටේ ආර්ථිකය කඩා වැටීමේ මූලික සාධක ගණනාවක් ද ඇයගේ ප්‍රකාශයට ඇතුළු වී තිබිණි. අධික ණය බර, වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන්ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය ඒ අතර විය. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට දේශපාලකයන් සහ නිලධාරීන් වගකිව යුතු බවට වන මේ ප්‍රකාශයෙන් අද රට මුහුණ දී සිටින සැබෑ තත්ත්වය වසා දමා තිබූ කඩතුරාව ඉරා දමා තිබේ. මෙවැනි කාරණා රටේ විද්වතුන් ගණනාවක් විසින් මීට පෙර ද පෙන්වා දී තිබුණත්, ඒවාට රට කරවන ඇත්තන්ගේ පයට පෑගෙන දූවිල්ලකට ලැබෙන වටිනාකමක් තරම්වත් නොලැබිණි. එහි ප්‍රතිඵලය රටේ ආර්ථිකය මහා දරුණු නාය යාමකට ලක්වීමය.

මේ නිසා උන්හිටි තැන් අහිමිව අසරණව සිටින්නේ රටේ පාලකයන් නොව ඔවුන්ට ඡන්දය දී මැතිසබයට යැවූ රටේ පොදු මහජනතාවය. ඇමෙරිකාවෙන් පැමිණි සමන්තා පවර් නම් බලවත් නිලධාරිනිය මේ දුක දැක ඩොලර් කෝටි 6ක ආධාරයක් ලබා දීමට ද පොරොන්දු විය. එය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවල හැටියට ඉතා කුඩා ආධාරයක් බව පැවැසූ ඇය, පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කරමින් එය යළි ගොඩනැගීමට ඇමෙරිකාවේ සහාය තවදුරටත් ලබා දීමට සහතිකයක් ද දුන්නාය.

ශ්‍රී ලංකාවට ආධාර අවශ්‍යම මොහොතේ එවැනි සහායක් ලබා දීමට දුන් ප්‍රතිඥාව සම්බන්ධයෙන් සමන්තා පවර් මහත්මියට ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රශංසාව හිමි විය යුතුය. එම සහාය රටට ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමය. එම වගකීම ඉටු කිරීමට කළ යුතු කාර්යභාරය ඉතා විශාලය. දුෂ්කර තීන්දු තීරණ ගැනීමට ද සිදු විය හැකිය. ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ටත්, ආණ්ඩුවට එකතු වන මන්ත්‍රී පිරිසටත් රාජ්‍ය ඇමැති තනතුරු හෝ කැබිනට් ඇමැති තනතුරු හෝ ලබා දීමෙන් මේ වගකීම ඉටුවන්නේ නැත. එයින් ගැටලු විසඳෙන්නේ එම මැති ඇමැතිවරුන්ගේ පමණි.

රටේ ජනතාවගේ ගැටලු එතැනම පල් වෙමින් තිබේ. ඒ අර්ථයෙන් ගත් කල සමන්තා පවර් මේ සිදු කර ඇත්තේ රට යළි ගොඩනංවා ගැනීමට යා යුතු නිවැරැදි දිශාවට මග පෙන්වා දීමකි. ඇය පැහැදිලිව කියා ඇත්තේ, ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික න්‍යාය යන දෙකම අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළ යුතු බවය. යා යුතු මග එය වුව ද තවම ආණ්ඩුව ඒ මගට අවතීර්ණ වූ බවක් පෙනෙන්නට නැත. 

ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බව ද ඇය පෙන්වා දී තිබිණි. අපේ රටේ පවතින බරපතළම ගැටලුව ආර්ථික හෝ දේශපාලන වශයෙන් වගවීම නැති වීමය. නිලය භාවිත කරමින් බරපතළ ආර්ථික දූෂණ සිදු කළ දේශපාලකයන්ට හෝ ඇතැම් ඉහළ නිලධාරීන්ට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට පෙනී යන්නේ බරපතළ දූෂණ සහ අපරාධ චෝදනා ලැබූවන්ටත් ආණ්ඩුවේ මැති ඇමැතිකම් සහ තනතුරු ලැබෙන බවය. එවැනි පියවර රටට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ පාලනයට එරෙහිව යාමකි. සැබෑ වෙනසක් පිළිබඳ තබා ඇති බලාපොරොත්තු සුන්කර දැමීමකි. රටට ඇමෙරිකානු සහාය ලබාදෙන බවට සමන්තා පවර් මහත්මිය කළ ප්‍රකාශයට අවමන් කිරීමකි. 

මේ රටේ මුල් බැසගෙන තිබෙන පවුල් දේශපාලනයත්, මේ දේශපාලකයන්ගේ ඇඟේ එල්ලීගෙන කූඩැල්ලන් ලේ උරා බොනවා සේ රටේ ආර්ථිකය හප කර දමමින් තම සාක්කු පුරවාගන්නා ඇතැම් ඉහළ දූෂිත නිලධාරීනුත් සිටින තාක් සමන්තා පවර් තව කොපමණ වාරයක් ලංකාවට ආවත්, ආධාර දුන්නත් රටේ ගැටලු විසඳෙන්නේ නැත. එසේම, සොරා කන දූෂිත දේශපාලකයන් හොඳින්ම දැන දැනත්, තමන්ගේ බඩ ගෝස්තරය සඳහා එම දේශපාලකයන්ටම යළි යළිත් ඡන්දය ලබා දී ඔවුන් මැතිසබයට යවන ඡන්දදායකයනුත් මේ මහා ආර්ථික විනාශයේ වගඋත්තරකරුවන් වන බව ද සිහි තබාගත යුතුය.

(***)



අදහස් (2)

සමන්තා පවර්ගේ සිතට වදින කතාව

බද්රානි Wednesday, 14 September 2022 04:15 PM

ඔබතුමිය මොනවා කිව්වත් මේ රටේ සමහරක්ට ඔය අක්‍රමිකතා දුෂණ ගැන වගේ වගක් නැහැ. මේ රටේ නූගත් අමනයින්ට තියෙන්නේ පුදුමාකාර ඇමරිකන් හා බටහිර යුරෝපීය රටවල් විරෝධයක්. ගිනි පොලියට ණයට දෙන චීන්නුන්ට ඇත්තේ සුවිශේෂී ගෞරවයක්. අනික මේ රටේ විද්වතුන් යයි කියා ගන්නා මානසික අඳ බාලයින් රැළක් තමයි ඇමරිකන් විරෝධය සමාජගත කරන්නේ. රසායනික පොහොර පමණක් නොවෙයි, ගූගල් සමාගම පවා වර්ජනය කරන්න වහසිබස් දෙඩූ නූගතුන් ලංකාවේ සිටි බව මෙතුමිය නොදන්නවා ඇති. මොවුන් සමන්තා පවර් මහත්මියට සිංහලෙන් බැන වැදුණු හැටි දන්නේ අපි පමණයි. "කූඩැල්ලන්ව මෙට්ටේ උඩ තියන්න බැරි බව" තවම පවර් මහත්මිය ඉගෙන ගෙන නැතිව ඇති..

:       0       6

nimal Thursday, 15 September 2022 07:03 AM

සමන්තා නැවත අපව බලන්න එන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 387 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site