IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රිය අනතුරු වැඩිවීමට හේතුව සමාජ වගකීම පැහැර හැරීමද?


සිංහල අලුත් අවුරුදු දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් මරණ 10ක් ද ඊට පෙර දිනයේ රිය අනතුරුවලින් මරණ 21ක්ද වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය. සිංහල අවුරුදු දා පමණක් වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 121 කි. ඉන් 12ක්ම වාර්තා වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

දිවි නසා ගැනීම නීතිය ඉදිරිපිට වරදකි. රිය අනතුරුවලින් මිය යාම දිවි නසා ගැනීමෙන් වෙනස් නොවන්නකි. බොහෝ රිය අනතුරුවලට හේතුව අපරීක්ෂාකාරීව රිය පැදවීමය. අනතුරක් සිදුවිය හැකි බව දැන දැනත් එය නොතකා රිය පැදවීම දිවි නසා ගැනීමකි. අනතුරු 121 න් 53ක්ම යතුරුපැදි අනතුරු බව හෙළිවීමෙන්ම එය මනාව පැහැදිලි වේ.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්තිකවීම අලුත් අවුරුද්ද විය. එය මංගල්‍යයකි. අලුත් අවුරුද්ද සූර්ය මංගල්‍යය ලෙස හැඳින්වෙන්නේ ද එහෙයිනි. මංගල්‍යය සැමරිය යුතු වන්නේ ප්‍රිතියෙනි. ඇතැමකුට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්තිකවීම සැමරීමට බෝතලය මේසය මතට ගත යුතුය. බමන මතින් සිහි විකල් වූ විට ඇතැමෙකුට ගගනගාමියකු වීමට සිතක් පහළ වේ. රිය අනතරු යනු එහි අවසන් ප්‍රතිඵලය වේ. වඩාත් ප්‍රීතියෙන් ගෙවා දැමිය යුතු දවසක් අවසානයේ මළ සිරුරක් බවට පත් වී හෝ බරපතළ තුවාලකරුවකු බවට අවසන් වෙයි. තමාගේ සතුට මෙන්ම පවුලේ සමීපතයන්ගේ සතුට ද උදුරාගෙන ඔවුන්ට සදාකාලික කඳුළක් උරුම කර දෙයි.

ඉපදුණ සෑම අයකුටම මරණය නියතය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. එමෙන්ම ඉපදුණ සෑම අයකුටම පරමායුෂ විඳීමේ ශුද්ධ වූ අයිතියක් ද ඇත. ඒ වෙනුවට මහ මඟ තහඩු - වානේ කඳන්වල හැපී, ඇඹරී අත්පා වෙන්කර ගනිමින් අකාලයේ තමන් මිය යාමට හෝ අන්‍යයන්ට එලෙස මරණය හිමිකර දීමට උත්සහ කරන්නේ නම් එය බරපතළ වරදකි. නොසැලකිලිමත්කමින් රිය පදවා අනතුරු සිදු කිරීම බරපතළ වරදක් මෙන්ම පාපයක් ද වන්නේ ඒ අර්ථයෙනි.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් 13-14 දෙදින තුළ වාර්තා වූ රිය අනතුරු සියයට 39කින් ඉහළ යාමකි. මිනිස් ජීවිත සම්බන්ධයෙන් තිබිය යුතු වගවීම මෙතරම් දරුණු ලෙස නාය ගොස් තිබෙන්නේ ඇයි ද යන විමසිය යුතුය. විශේෂයෙන්ම සිය වසකට පමණ පසුව පැමිණි මාරක වසංගතය හමුවේ මුළු මහත් මිනිස් සමාජයම මරණ බියෙන් සැළුම් වෙවුළුම් කෑවේය. කොරෝනා මාරක වසංගතය ඉදිරිපිට දණින් වැටී අභය දානය ඉල්ලා සිටීමට තරම් මිනිස් සමාජය අසරණ විය.

එම අනතුර තවමත් එලෙසින්ම තිබියදීත් මහ මඟ දී මෙසේ මිය යාමේ මාවතත් අතපය දන් දීමේ මාවතත් තෝරා ගනු ලබන්නේ ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඉතා බරපතළ ලෙස පිරිහීමට ලක්ව ඇති හෙයින් විය යුතුය. මොවුන්ට නිදැල්ලේ සිටීමට ඉඩ දීම යනු ජීවිතයට ආදරය කරන බොහෝ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීමකි.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ සිංහල අලුත් අවුරුදු දිනයේ දී  දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී වාහන හයක් එකම ස්ථානයක දී එකිනෙක ගැටී ඇති බවය. වාහනයක් පැදවිය යුත්තේ ඉදිරියෙන් යන වාහනයට පරතරයක් තබාගෙනය. ඕනෑම හදිසි තත්ත්වයක දී වාහනය ක්ෂණිකව නතර කර ගත හැකි වන්නේ එම පරතරය සහිතව රිය පැදවීමෙනි. එකම ස්ථානයක දී වාහන හයක් එකිනෙක ගැටීම යනු රිය පැදවීමේ මූලික සිද්ධාන්තය නොදන්නාකමකි. මෙබඳු අම්බරුවන් අතට සුක්කානම දීම යනු කෙළවරක් නැති අනතුරුවලට අත වැනීමකි.

මාර්ගය හැඳින්වෙන්නේ ‘‘අධිවේගී මාර්ගය’’ හෙයින් අම්බරුවන් සිතන්නේ එහි ගමන් කළ යුතු වන්නේ අධිවේගයෙන් බවය. දක්ෂිණ අධිවේගයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 100 කි. කාලගුණික වෙනස්කම්වලට අනුව එම වේගය ද පහත දැමේ. රියැදුරන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. මනා සිහි බුද්ධියෙන් රිය පැදවිය යුත්තේ එහෙයිනි. අනතුරක් සිදුවිය හැකි මොහොත කල් ඇතිව දැන ගත නොහැකි හෙයින් සෑම මොහොතක්ම සිහි බුද්ධියෙන් සිටිය යුතුය.

අනතුරක් යනු බොහෝ විට වළක්වාගත හැකි දෙයකි. වගකීමෙන් රිය පදවන්නේ නම් අනතුරු වළක්වාගත හැකිය. එසේ නොවීමෙන් සිදුවන්නේ රටේ ආබාධිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමය. ඔවුන් නඩත්තු කිරීමට සිදුවන්නේ ද රටේ ජනතාවටමය. එමෙන්ම නිවෙසක ප්‍රධාන ආදායම් මාර්ගය අහිමි වීමෙන් මුළු පවුලම පාරට ඇද වැටීම වළක්වනු නොහැකිවනු ඇත. රිය අනතුරු යනු බරපතළ ප්‍රතිවිපාක ගෙනදෙන සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගත යුතු වන්නේ එහෙයිනි.

(***)
 



අදහස් (2)

රිය අනතුරු වැඩිවීමට හේතුව සමාජ වගකීම පැහැර හැරීමද?

Raveendra Thursday, 22 April 2021 12:39 AM

"සමාජ වගකීම පැහර හැරීම" කෙසේ වෙතත් "සමාජ වගකීම කුමක්ද" යන්නවත් නොදත් සමාජයක මෙම ව්‍යසනය පිලිබදව කතා කිරීමත් විහිළුවකි. මේ සියල්ලටම තමන් හැදුණූ වැඩුණු පරිසරයෙන් මෙන්ම ඉගෙනුම ලබන පාසලෙන්ද නිසි ලෙස පිළිතුරු සැපයීමට හැකි බවත් නොහික්මුණු රියදුරන්ට දැඩි දඩුවම් මෙන්ම සදාකල් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමෙන් ද පිළිතුරු ලබාගත හැකි බව අප තරයේ විස්වාස කරන්නෙමු.

:       1       4

ගමගේ Thursday, 22 April 2021 10:32 AM

අනතුරකදී වැරදිකරු වන රියදුරාගේ රියදුරු බලපත වසරක කාලයට අත්හිටුවීමට කටුතු කිරීමෙන් මහමග අනතුරු 90% වළක්වාගත හැකිය...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 542 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site