IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ

1948 පෙබරවාරි මස හතර වනදා ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මැතිවරණයක් පවත්වා අපේ රටේම නායකයින් රටේ පාලකයින් බවට පත් කර ගන්නට එදා සිටි පිරිසකට ලැබුණේ සුවිශේෂි අවස්ථාවකි. එම අවස්ථාව ඔවුන් ලද වරප්‍රසාදයක්ද වෙයි. ඉන් පසුව පැවැති මැතිවරණද ඒ අයුරින් ජනතාව සැලකුවේ තමන්ට ලැබී ඇති වරප්‍රසාද ලෙසයි.  එසේ නමුත් පසු කාලීනව මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව තුල තිබූ උනන්දුවත් උත්සාහයත් පක්ෂ කෙරෙහි පැවැති ඇල්මත් උපයෝගි කර ගෙන ඇතැම් පිරිස් මැතිවරණ ව්‍යාපාරය අන්ත දූෂිත ව්‍යාපරයක් බවට පත් කර තිබිණ.

විශේෂයෙන් 1977 න් පසුව පැවැත්වූ මැතිවරණ රැසක් සම්බන්ධයෙන් ජනතාව තුල මෙන්ම දෙස් විදෙස් නිරීක්ෂකයින් තුලද ඇත්තේ  පිළිකුල් සහගත තත්වයකි. ඒ වන විටත් විශාල මුදල් බලයක් හිමිව සිටි අපේක්ෂකයින් තම මුදල් බලය අසීමිතව උපයෝගි කර ගනිමින් සිය මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව කර ගත් අතර එවන් බලයක් නොමැති අපේක්ෂකයින් අසරණ තත්වයට පත්වූවා පමණක් නොව පරාජය භාර ගෙන තරඟ බිමෙන් ඉවත් වීමට පවා සිදු වී තිබිණ. මැතිවරණ භූමිය සම බිමක් නොවීම නිසා මේ මැතිවරණ කෙතරම් ප්‍රජාතාන්ත්‍රවාදීද යන්න පිළිබඳව බොහෝ විද්වතුන් සමාජ ක්‍රියාකාරීන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ කාලයක සිටය. මෙම ගැටළු අතර මුදල් බලය හිමි පුද්ගලයින් කිසිදු නියාමනයක්  නොමැතිව අසීමිතව මුදල් වැය කිරීම ප්‍රධාන කොට  දැක්විය හැකිය.

මේ සඳහා විසඳුමක් ලෙස මැතිවරණ නියාමනයක්  නිතිමය වශයෙන් සිදු කළ යුතුය යන ඉල්ලීම කාලයක් තිස්සේ මතුව තිබිණ. මැතිවරණ නිරික්ෂණ සංවිධාන ලෙස, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්, පැෆරල්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය, කැෆේ ඇතුළු සංවිධන මෙන්ම විද්වතුන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් මතුව ආ දැඩි ඉල්ලීම් හමුවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතක් සම්මත කර ගැනීමට හැකිව තිබේ.

2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ලෙස හැඳින්වෙන  මෙම පනත මගින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයින් තම මැතිවරණ ප්‍රචාරණය සඳහා  වැය කළ මුදල් ප්‍රමාණය එම මුදල් ලැබුණු ආකාරය වාර්තාවක් මගින් මැතිවරණ කොමිසම වෙත ලබා දිය යුතුව තිබේ.

මෙම පනත යටතේ පැවැති මුල්ම  මැතිවරණය වන්නේ 2024 වසරේ පැවැති ජනාධිපතිවරණයයි. ඉන්පසුව පැවැති මහ මැතිවරණය මෙන්ම පළාත් පාලන මැතිවරණයද  මෙම පනත සක්‍රියව තිබියදී පැවැත්විණ.

මැතිවරණ වියදම් නියාමනය ඇත්තටම ප්‍රායෝගිකද යන්න සොයා බැලීම මෙම ලිපියේ අරමුණ වන අතර ඒ සඳහා 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත අනුව මැතිවරණ කොමිසමෙන් ලබා ගත් තොරතුරු පාදක කර ගැනේ.

2023 අංක 3 දරණ මැතිවරණ නියාමනය කිරීමේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක වන පළමු මැතිවරණය  වන්නේ මෙවර පැවැති ජනාධිපතිවරණයයි. මෙම පනත අනුව සෑම මැතිවරණයකදීම එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලක් තීරණය කරන අතර එම මුදලට අනුකූලව වියදම් කිරීමට සෑම අපේක්ෂකයෙකුම පියවර ගත යුතු වෙයි. එසේ වියදම් කරන ලද මුදල සහ එම මුදල් ලැබුණු  ආකාරය පිළිබඳ වාර්තාවක් නියමිත කාලයක් තුල මැතිවරණ කොමිසම වෙත ලබා දිමද කළ යුතුයි.  මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්  අතරින් පිරිසක් මෙම වාර්තාව ලබා නොදුනහොත් මෙහි අපේක්ෂාවන් බිඳ  වැටෙයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව මැතිවරණ කොමිසමෙන් ලබා ගත් තොරතුරු අනුව 2024 පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් අපේක්ෂකයින් 35 දෙනෙකු ආදායම් වියදම් වාර්තා නියමිත කාලයට භාර දී ඇති නමුත් ජනසෙත පෙරමුණේ අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සිලරතන හිමි ඇතුළු තිදෙනෙකු   ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බවත් සඳහන් කර තිබේ.

2024 නොවැම්බර් මස පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්  8888 දෙනාගෙන් අපේක්ෂකයින් 7988  දෙනෙකු නියමිත කාලයේදී ආදායම් වියදම් වාර්තා ලබා දී තිබුණද අපේක්ෂකයින් 900 දෙනෙකු එම වාර්තා ලබා දී  නොමැති බව  ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 75,775 න් අපෙක්ෂකයින් 74,275 දෙනෙකු නියමිත කාලයේදී ආදායම් වියදම් වාර්තා ලබා දී ඇති අතර අපේක්ෂකයින් 1500 දෙනෙකු මෙම වාර්තා  ලබා දී නොමැති බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 966 ක් ඉදිරිපත්ව ඇති අතර වාර්තා ලබා නොදුන් සංඛ්‍යාව 123 කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 902 ක් ඉදිරිපත්ව ඇති අතර වාර්තා ලබානොදුන් ගණන 76 කි.කළුතර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 392 ක් ඉදිරිපත්ව ඇති නමුත්  අපේක්ෂකයින් 26 දෙනෙකු වාර්තා ලබා දී නොමැති බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 510 ක් ඉදිරිපත්ව ඇති  අතර වාර්තා ලබා නොදුන් ගණන32 කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් 184 න් අපේක්ෂකයින් දෙදෙනෙකු වාර්තා ලබා දී නොමැත. නුඑරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් 308 න් අපේක්ෂකයින් 34 දෙනෙකු වාර්තා ලබා දී නොමැති බවද එහි සඳහන් වෙයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් 264 න් අපේක්ෂකයින් හතක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව  තොරතුරුවල සඳහන් වෙයි.

යාපනය දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 396 දෙනෙකු ඉදිරිපත්ව ඇති අතර එයින් අපේක්ෂකයින් 35 දෙනෙකු ද වන්නි දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් 432 න්  අපේක්ෂකයින් 83 දෙනෙකුද මඩකලපුව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් 392 න්අපේක්ෂකයින් 50 ක්ද වියදම් වාර්තා නියමිත කාලයේදී ලබා දී නොමැති බව  මැතිවරණ කොමිසම මගින් ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයින් 640  න් අපේක්ෂකයින් 166 දෙනෙකුද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයින් 217 න් 17 දෙනෙකුද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් 486 න් අපේක්ෂකයින් 53 දෙනෙකුද පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් 429 න් 52 කුද වාර්තා ලබා දී නොතිබිණ. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයින් 312 න් අපේක්ෂකයින් 27 ක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් 240 න් අපේක්ෂකයින් 27 ක්ද මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයින් 135 න් අපේක්ෂකයින් පහක්ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයින් අට දෙනෙකුද කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් 216 න් තිදෙනෙකුද ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 527 න් අපේක්ෂකයින් 74 දෙනෙකුද ආදායම් වියදම් වාර්තා නියමිත කාලයේදී ලබා දී නොමැති බව  මැතිවරණ  කොමිසම කියයි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 172 ක් ගම්පහ දිස්ත්‍රික්යෙන් අපේක්ෂකයින් 60 ක් කළුතර දිස්ත්‍රික්යෙන් අපේක්ෂකයින් 137 ක් වාර්තා ලබා දී නැති බව  තොරතුරුවල සඳහන් වෙයි.  මහනුවර දිස්ත්‍රික්කයෙන් 47 ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් 27 ක් මාතර දිස්ත්‍රික්කයෙන් 28 ක් ආදායම් වියදම් වාර්තා ලබා දී  නොමැත. යාපනය දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 204 ක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 77 ක් වවුනියාව  දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 29 ක් මුලතිව් දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 46 ක් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් එක් අපේක්ෂකයෙකු බැගින්ද , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 86 ක් ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 144 ක්ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 111 දෙනෙකුද පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 142 කුද බදුල්ල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 166 දෙනෙකුද  රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 10 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 12 ක්ද ඇතුළුව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් අපේක්ෂකයින් 1500 ක් ආදායම් වියදම් වාර්තා නියමිත කාලයේදී ලබා දී නොමැති බව  මැතිවරණ කොමිසම ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් තිදෙනෙකු, මහ මැතිවරණයේ අපේක්ෂකයින් 900 දෙනෙකු සහ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 1500 දෙනෙකු ලෙස මැතිවරණ තුනට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 2403 දෙනෙකු ආදායම් වියදම් වාර්තා නියමිත කාලය තුල ලබා දී නොමැති බව මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර හම්බන්තොට  සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සියලු අපේක්ෂකයින් ආදායම් වියදම් වාර්තා ලබා දී තිබේ. පළාත් පාලන මැතිවරණයේදී මාතලේ නුවරඑළිය, හම්බන්තොට,කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල  සියලු අපේක්ෂකයින් වාර්තා ලබා දී  ඇති බව කොමිසම ලබා දී ඇති තොරතුරු අනුව අනාවරණය වෙයි.

මෙම  තත්වය තුල  2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් නියාමනය කිරිම කෙතරම් ප්‍රායෝගික ද යන්න විමසා බැලිය යුතුය.

 මෙම පනතින් අනිවර්ය කර ඇති  ආදායම් වියදම් වාර්තා, ලබා නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ජනාධිපතිවරණයට පාර්ලමේන්තු  මැතිවරණයට සහ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් හෝ ප්‍රමාද වී  ලබා දුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් 2023 අංක 3 දරණ පනතේ 8 වන වගන්තිය අනුව විමර්ශණයක් සිදු කර අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම  ලිපි ගොනු ශ්‍රී ලංකා පොලීසිය වෙත   යොමු කරමින් පවතින බවයි. මෙම ක්‍රියාවලියේ ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට  අදාළව ලිපි ගොනු යොවු කිරීම අවසන් වී ඇති බවත් කොමිසම සඳහන් කරයි.

මැතිවරණයක සුපිළිපන්බව රැක ගැනීමට ඇති තවත් එක මඟක් ලෙස  මැතිවරණ වියදම් නියාමන පනත සඳහන් කළ හැකිය.එය ක්‍රියාත්මක කර ගැනීම සඳහා තව දුරටත් සටන් කළ යුතුව තිබේ.

මොහොමඩ් ආසික්



අදහස් (0)

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 416 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site