IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිවරණ කොමිසමේ මිලදී ගැනීම් ගැන විගණන වාර්තා

මැතිවරණ කොමිෂන් සභාව යනු ඉතා වැදගත් එමෙන්ම වගකිවයුතු ආයතනයකි. රටේ ජනතාවගේ ඉරණම තීරණය කරන මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුය. එහෙත් අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින්  කියැවුණේ එම ආයතනයේ ගරු ගාම්භීරත්වයට තරම් නොවන කතාවකි.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක් උපුටා දක්වමින් අප පුවත්පත වාර්තා කර තිබුණේ මැතිවරණ කොමිෂන් සභාව පසුගිය මැතිවරණ කිහිපයක්  සඳහා නිසි සැලසුමකින් තොරව මිලදී ගෙන ඇති රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ තොගයක් පැත්තකට දමා විනාශ වීමට ඉඩ හැර ඇති බවය. මෙසේ විනාශවීමට ඉඩ හැර ඇතැයි පැවසෙන්නේ ටෝනර්, රිබන්,  මාස්ටර් රෝල්,  තීන්ත යනාදී භාණ්ඩ තොගයකි.

විගණන කාර්යාලය  නිකුත් කළ වාර්තාවේ  අතිශයින්ම  වැදගත් වචන කිහිපයක් තිබේ. එනම් මැතිවරණ කොමිෂන් සභාව මෙම භාණ්ඩ තොගය මිලදී ගෙන ඇත්තේ ‘‘නිසි සැලැස්මකින් තොරව’’ බවය. එමෙන්ම එම භාණ්ඩ තොගය ‘‘පැත්තකට දමා විනාශ වීමට ඉඩ හැර ඇති’’ බවය.

රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ තොගයකට මෙබඳු ඉරණමක් අත්වීමට ඉඩ හැරීම මැතිවරණ කොමිෂන් සභාව වැනි වගකිවයුතු ආයතනයකින් බලාපොරොත්තු විය හැකිද යන ප්‍රශ්නය මග හැර යා නොහැකිය.

පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණය අතුරුදන් වී වසර ගණනාවකි. පැවැත්වීමට දින නියම කර ඡන්ද පත්‍රිකාවලින් අඩක් මුද්‍රණය කර තිබියදීත් පළත් පාලන මැතිවරණය කල් ගියේය. ඇතැම් විට මෙම භාණ්ඩ තොගය මිලදී ගන්නට ඇත්තේ එම මැතිවරණ සඳහා විය හැකිය. එහෙත් මැතිවරණ අතුදන්වීම හෝ කල්යෑම මැතිවරණ කොමිෂන් සභාවේ සීමාවෙන් එපිට පිහිටියකි. එහෙත් නිසි සැලසුමකින් තොරව රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ මිලදී ගැනීමත් ඒවා විනාශවීමට ඉඩ හැරීමත් සරළව ගෙන පහසුවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ. මන්දයත් මෙම සිදුවීම වාර්තා වන්නේ ගමක මරණාධාර සමිතියකින් නොව මැතිවරණ කොමිෂන් සභාවෙන් වීමය.

ඉහත සිදුවීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් විමසා ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත්තේ ‘‘වගකිවයුත්තන් නිශ්චය කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත්’’ය යනුවෙන් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. කමිටු වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත් එම නිලධාරීන් සඳහන් කර ඇත. ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබෙන්නේ මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර වගකිවයුත්තන් නිශ්චය කිරීම කඩිනම් කළ යුතු බවය.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ 2023 වසරේ සිදුවී ඇති වාහන අනතුරු තුනකට අදාලව මුදල් අයකර ගැනීම කර නොමැති බවය. එමෙන්ම 2019, 2020 සහ 2021 වසරවලදී සිදුවී ඇති අනතුරුවලින් තවදුරටත් අයකර ගැනීමට නොහැකි වූ සහ පොත්වලින් කපා ගැනීමට නොහැකි වූ හානිවල වටිනාකම ලක්ෂ 25කට වැඩි බවය. මේ සම්බන්ධයෙන් කළ විමසීම්වලදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ එම අලාබ පොත්වලින් කපා හැරීමට කටයුතු කරන බවය.

මෙම ප්‍රවෘත්ති කියවනවිට මෙරට  සබුද්ධික ජනයාට සිතෙනු ඇත්තේ ‘‘මේ රට කවදා ගොඩනැගිය හැකිද’’යන්නය. එපමණටම මේ රටේ සෑම ආයතනයක්ම ඇතුළතින් දිරාපත් වී අවසානය.

(***)



අදහස් (0)

මැතිවරණ කොමිසමේ මිලදී ගැනීම් ගැන විගණන වාර්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site