IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


බසයෙන්-දුම්රියෙන් යන මිනිහා තවත් හිරකරනවාද?

සාමාන්‍ය ජනයා මේතරම් පීඩාවට පත්වූ යුගයක් තවත් නැත.  සියවසකට පමණ පසුව පැමිණි ලෝක වසංගතය නොවැළැක්විය හැකි ලෙසට අප රට ආක්‍රමණය කළේය. වළක්වාගත හැකිව තිබූ එහෙත් වළක්වා නොගත් ආර්ථික අර්බුදය අප රට ගිලගෙන අවසන්ය. එහි අතොරක් නැති අතවරවලට මෙරට ජනයා ලක්වෙමින් සිටිති. නිදහස, විමුක්තිය කවදා උදාවේදෝයි සිතා ගත නොහැකිව ජනයා බලවත් අසහනයෙන් කල් ගෙවති.

ඉන්ධන ගෙන්වීමට ඩොලර් නොමැති නිසා පළමුව රට තුළ ඉන්ධන හිඟයක් අැති විය. වරු ගණන් පෝලිම්වල ලැගීමට ජනයාට සිදුවිය. පිරවුම්හල්වලට ඉන්ධන ආවේ ‘‘ගෑස් පෙන්නාගෙනමය’’. එනම් මිල ඉහළ දමමින්ය. ඉන්ධන මිල ඉහළයාම හුදු හුදෙකලා සිදුවීමක් නොවේ. එය රටේ සෑම ක්ෂේත්‍රයකටම මෙන්ම ජනයාගේ ආමාශයටද සෘජුවම බලපාන්නකි. ඒ බව මේ වනවිටත් ඔප්පු වී තිබේ.

පෞද්ගලික බස් වැඩ වර්ජනයක නියැලෙන්නේ දැයි සැක සිතෙන තරමට මහ පාරේ පෞද්ගලික බස් හිඟය. සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ඉකුත්දා ප්‍රකාශ කළේ පෞද්ගලික බස්රථවලින් සියයට 90ක්ම ධාවනය නොවන බවය. එසේ සියයට 90ක්ම බස් රථ ධාවනය නොවන්නේ වැඩ වැරුමක් නිසා නොව ඉන්ධන සහනාධාරයක් නොලැබුණ නිසා බව එම සංගමය පවසයි. එමෙන්ම තවත් බස් සංගම් ප්‍රකාශ කරන්නේ බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවය. අවම බස් ගාස්තුව රුපියල් 30ක් කරන ලෙස බස් ගාස්තුව සියයට 30කින් වැඩි කළ යුතු  බවත් බස් සංගම් ඉල්ලා සිටී. පත්‍රය අද එළිදකින විට එය සැබෑවක් බවට පත්විය හැකිය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 177සිට රුපියල් 254 දක්වාද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 207 සිට රුපියල් 283 දක්වාද ඔටෝ ඩීසල් ලීටරයක්  රුපියල් 121 සිට 176 දක්වාද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 159 සිට රුපියල් 254 දක්වාද ඉහළ නැග තිබේ. මෙම පරිසරය තුළ ඉන්ධන මිල ඉහළ යාම ප්‍රවාහනයට මාරාන්තික ලෙස බලපෑම වැළැක්විය නොහැකිය. එමෙන්ම එහි පහසු ගොදුර බවට රටේ පොදු ජනයා  පත්වීම වැළැක්විය නොහැකිය.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර තිබුණේ බස් ගාස්තු ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවය. අවම බස් ගාස්තුත් රුපියල් තුනකින් හා සියයට 14ත් 15ත් අතර ගණනකින් බස් ගාස්තුව වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම දුම්රිය ගාස්තුවලද යම් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගිය පසු මේ රටේ ඉන්ධන මිල ඉහළ  දැමීමට  ආණ්ඩු කටයුතු  කරයි. එයට සමාන්තර ලෙස බස් ගාස්තුවද, දුම්රිය ගාස්තුවද, ත්‍රීවීල් රථ මීටරයද, පාසල් වෑන් රථ ගාස්තුවද ඉහළ යයි. එහෙම බලනවිට ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ යන සෑම අවස්ථාවකදීම එයට වන්දි ගෙවා තිබෙන්නේ මේ රටේ පොදු මහ ජනතාවය. එහෙත් මේ පොදු මහජනතාව කිසිම දිනෙක ‘‘දෙන්නම් කාසි’’වලට ඉන්ධන ලබාගෙන නැත. අතේ තිබෙන ගාණට ඉන්ධන ලබාගෙන එය අරපිරිමැස්මෙන් පාවිච්චි කරති. එහෙත් අවසානයේදී බෙල්ල දීමට සිදුව තිබෙන්නේ එම පොදු ජනතාවටය.  

මෙරට සාතිශය බහුතරයක් ජනතාවගේ ප්‍රවාහන පහසුකම පොදු ප්‍රවාහනය වේ. වැඩ කරන පංතියේ ජනතාවගේ බහුතර ප්‍රවාහන පහසුකමද දුම්රිය හා බස් රථය වේ. පෞද්ගලික  වාහන පාවිච්චියට බොහෝ දෙනකුට වත්කමක් නැත. ගාස්තුව අඩු හෙයින් පෞද්ගලික බස්රථවල නොගොස් ලංගම බස්රථයක් පැමිණෙන තුරු බලාසිටින පිරිස්ද බොහෝ වෙති. මෙරට සාමාන්‍ය ජනයාගේ ආර්ථිකය සල්ලං වී තිබෙන්නේ එසේය. ඒ ජනයා සමග සෙල්ලම් කිරීම සුදුසුම නැත.

අවශ්‍ය වන්නේ අර්බුදය හමුවේ පිළියම්ය. රජයේ වගකිව යුත්තන් ප්‍රකාශ කරන පරිදි අප රටේ ඉන්ධන නිෂ්පාදනය නොකරන බැවින් ලෝක වෙළඳපොළේ චලනයන්ට අපට හසුවීමට සිදුවී තිබේ. එය යථාර්ථයකි. එහෙත් එය ගැලවිල්ලට යොදාගත යුතු නැත. මේ මොහොතේ පොදු මහජනයාගේ බොටුව සිර කිරීම වෙනුවට ඔවුන්ට යම් සහනයක් දිය යුතුය. එයට වැඩපිළිවෙළක් ඇවැසි වේ.

එම වැඩපිළිවෙළ තනි තනි සිත්වල මතු වන මනස්ගාත නොවිය යුතුය. ඒ සම්බන්ධ විශේෂඥ දනුම සහිත පිරිස සමග සාකච්ඡා කළ යුතුය. බස් ගාස්තු වැඩි නොකර ඉන්ධන සහනාධාරයක් ලබාගැනීම කෙරෙහි බස් සංගම්වල අවධානය යොමු වී ඇතැයි අප පුවත්පත වාර්තා කර තිබිණි. එය යහපත් යෝජනාවකි. සාකච්ඡා කරන්නේනම් තව තවත් යහපත් යෝජනා මතුවනු අත. අවශ්‍ය වන්නේ වඩාත් යහපත්ම යෝජනා කල් නොයවා ක්‍රියාත්මක කිරීමය. 

(***)



අදහස් (0)

බසයෙන්-දුම්රියෙන් යන මිනිහා තවත් හිරකරනවාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site