IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බාල ඖෂධ ජාවාරමේ මහ මොළකරු අල්ලනු

බාල ඖෂධ ජාවාරම අපේ රටට කාලයක් තිස්සේ මහ පොදු සාධකයකි. එහි ඉතිහාසය බොහෝ ඈතකට ඇදී යයි. ඒ හැම අවස්ථාවකදීම සෞඛ්‍ය අමාත්‍යංශයට අරක් ගත් නිලධාරි කණ්ඩායමක් දම්වැලක් සේ බැඳී සිටිමින් මේ ජාවාරම මෙහෙය වූහ. ඒ දූෂිත දම්වැලේ අග කෙළවරේ ඒ කාලවල සිටි සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිටි බවට චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිය ධුරය අහිමි වූයේද මෑත කාලයේ සිදු වූ බාල ඖෂධ ජාවාරමේ ඍජු ප්‍රතිඵලයක් වශයෙනි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටින එක් ව්‍යාපාරිකයකුට එරෙහි නඩු විභාගය මේ දිනවල මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වෙයි.

අධිකරණයේදී අදාළ සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ ප්‍රකාශයකට මේ දිනවල රටේම අවධානය යොමු වී තිබේ.

අදාළ සිද්ධියේ මහ මොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බවත් හැකි නම් ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියෝග කරන බවත් එම ප්‍රකාශයයි. උසාවිය කුමන අන්දමින් අධිකරණ මනස යෙදවූවත් මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නැති බවත් ඔහු කියා තිබිණි.

ආනයන අපනයන ක්ෂේත්‍රයේ දූෂණ සහ අක්‍රමිකතාවලදී ඖෂධ සහ වෛද්‍ය උපකරණවලට සම්බන්ධ ගනුදෙනු ඉතාම බරපතළ වගකීමකට යටත් වෙයි. එය ඍජුවම රෝගීන්ගේ ජීවිත සමඟ සිදුකරන ගනුදෙනුවක් බැවිනි. මෙම නඩුවට අදාළ වන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි මිලදී ගැනීම් ලෙස ඉමියුනෝ ග්ලොබින් නමැති ඖෂධ වෑල්ව් 22,500ක් සැපයීමේ ක්‍රියාවලියයි. මේ සැක සහිත ගනුදෙනුවට අදාළව සපයා ඇති වෑල්ව්වලට රුපියල් හාරකෝටි හතළිස් ලක්ෂයකට අධික මුදලක් ගෙවා ඇති බවත් මෙය දූෂිත ක්‍රියාවක් බවට තොරතුරු හෙළිවීමෙන් පසුව ඉතිරි වෑල්ව් අධිකරණ නියෝගයක් මත තහනම් කර ඇති බවත් උසාවියට රහස් පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ය.

මෙය බරපතළ මට්ටමේ දූෂිත ක්‍රියාවක් බව යළි යළිත් කිව යුතු නැත. ඒ සමඟ කිව යුත්තේ මේ තරම් දූෂිත ක්‍රියාවක් වෛද්‍ය සැපයුම්කරුවකුට පමණක් සිදු කළ හැකි යැයි විශ්වාස කරන කිසිවකුත් නැති බවය. ඖෂධ නියාමන අධිකාරිය මගින් ඖෂධ ගෙන්වීමේදී ලබාදිය යුතු සහතිකය මේ සඳහා ලබා දී නැත. එසේ අනුමැතියක් නැතුව ගෙන්වා බෙදාහරින ලද එම ඖෂධ තොගය සඳහා කෝටි ගණනක මුදල් ලබා දී තිබේ.

විශාල පරිමාණයේ අත යට ගනුදෙනුවක් මෙහිදී සිදුවී ඇති බවත් වැඩේ හෙළිවීමට පෙර අදාළ දූෂිතයන් තමන්ගේ කුට්ටිය පවා කඩාගෙන ඇති බවත් මෙයින් පැහැදිලි වෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධිත අනුශාංගික ආයතනවල රජයේ නිලධාරීන්ගේ සහායක් නොමැතිව මෙවැනි මහා පරිමාණ ගනුදෙනුවක් සිදුවිය නොහැක. එකී ඖෂධය ගෙන්වීමට අදාළ ටෙන්ඩර් පරිපාටියේ සිටම මේ අපරාධයේ කුමන්ත්‍රණකරුවන් ඊට සම්බන්ධ වී සිටි බව ද නඩුවට අදාළ සැකකරු මේ සමස්ත සිද්ධියේ එක් පුරුකක් පමණක් බව ද පැහැදිලිය.

අපේ රට දූෂණයෙන් සහ වංචාවෙන් ඉහ වහා ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සිය සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී තිබිණි. බාල ඖෂධ ගෙන්වූ සිද්ධිය එයට කදිම උදාහරණයකි. මේ ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වූ බව සඳහන් කෙරුණත් ඊට සම්බන්ධ ඉන්දීය සමාගම ප්‍රකාශ කර තිබුණේ තමන් එවැනි ඖෂධයක් නිෂ්පාදනය නොකරන බවය. පසුව අනාවරණය වූයේ මෙරටේදී කිසියම් ද්‍රාවණයක් එම වෑල්ව්වලට පුරවා බෙදාහැර තිබෙන බවය. මෙය කිසිසේත් තනි පුද්ගලයකුට කළ හැකි ක්‍රියාවක් නොවන බව කුඩා දරුවකුට වුවද තේරුම් ගැනීම දුෂ්කර නැත.

රටේ ක්‍රියාත්මක අන්ත දූෂිත වළල්ලේ එක් සිද්ධියක් පමණක් වන මෙහි නියම සැකකරුවන් අල්ලා ගන්නා තුරු අධිකරණ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වීම අවශ්‍යය. එහෙත් මෙහි මහ මොළකරු කැබිනට්ටුවේ සිටින බවට කරන ප්‍රකාශය සත්‍ය නම් මේ පරීක්ෂණ එතැනින් එහාට යන බවට කිසිවකුටත් සහතිකයක් දිය නොහැකි බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

(***)



අදහස් (0)

බාල ඖෂධ ජාවාරමේ මහ මොළකරු අල්ලනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site