IMG-LOGO

2023 ජුනි මස 06 වන අඟහරුවාදා


ප්‍රභාකරන්ගේ පැටිකිරිය

දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සිදුවූයේ අවුරුදු දාහතරකට පෙරය. එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතින් 2009 මැයි මාසයේ දී හමුදාමය වශයෙන් පරාජයට පත්විය. ප්‍රභාකරන්ගේ දේහය, 2009 මැයි මාසයේ 19 දා මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් කලපුවේ වෙරළේ තිබී සොයා ගැනිණි.

මෙම ලිපිය චරිතාපදානයක් හෝ ප්‍රශස්ති වර්ණනාවත් නොවන බව මුලින්ම කිව යුතුය. මෙය විචාරයක් හෝ විග්‍රහයක් ද නොවේ. මා මෙහිදී උත්සාහ කරනුයේ ඔහු කීර්තියට නැංවීමකින් තොරව මෙම මිනිසා ගැනත් ඔහුගේ පෞරුෂය ගැනත් යම් යම් කරුණු හෙළි කිරීමටය.

සිද්ධිවලින් ගහන ප්‍රභාකරන්ගේ ජීවිතය තුළ ඇතැම් කරුණු හුවා දක්වමින් මම එය කරන්නට උත්සාහ දරමි.

තිරුවෙනින්ගම් වේලුපිල්ලේ ප්‍රභාකරන් උපත ලද්දේ 1954 නොවැම්බර් 26 වැනිදාය. පිරිමි ළමයින් දෙදෙනකුගෙන් හා ගැහැනු ළමයින් දෙදෙනකුගෙන් සමන්විත දරුවන් සිව් දෙනකුගෙන් යුක්ත පවුලක ඔහු බාලයාය. සොයුරියන් දෙදෙනා වාසය කරන්නේ කැනඩාවේ සහ ඉන්දියාවේය. සොහොයුරා වෙසෙන්නේ ඩෙන්මාර්කයේය. ප්‍රභාකරන්ගේ පියා වීරසාමි තිරුවෙන්ගදම් වේලුපිල්ලේය. පාර්වදිපිල්ලෙයි යනු ප්‍රභාකරන්ගේ මවගේ නමයි. විවාහයට පෙර ඇගේ නම ද වේලුපිල්ලේ වූයේය. දෙදෙනාම දැනට ජීවතුන් අතර නොමැතිය. ස්වභාවික හේතු මත දෙදෙනාම මිය ගියහ.

ප්‍රභාකරන්ගේ පවුලේ උදවිය උතුරු වෙරළාසන්න නගරයක් වූ වෙල්වැටිතුරෙයි ප්‍රදේශයෙන් පැමිණි අය වෙති. රජයේ ලිපිකරු සේවාවට බැඳුණු ඔහුගේ පියා දිස්ත්‍රික් ඉඩම් නිලධාරියකු බවට පත්විය. ප්‍රභාකරන්ගේ පවුල වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ ගෞරයට පාත්‍ර වූවකි. ඔවුන් හැඳින් වූයේ තිරුමෙනි කුඩුම්බම් හෝ තිරුමෙනි පවුල නමිනි. ප්‍රභාකරන්ගේ මුතුන් මිත්තෝ වෙල්වැටිතුරෙයිහි සුප්‍රසිද්ධ සිවන් කෝවිල ඉදි කළෝය.

විවිධ නම්

ප්‍රභාකරන් යන නමේ තේරුම හිරු යන්නයි. පසු කලෙක ඔහුට ගැතිකම් කරන්නෝ සහ අතවැස්සෝ සූර්ය දේව යනුවෙන් ඔහු අමතන්නට ගත්තෝය. පවුලේ බාලයා වූ ඔහුව හැඳින් වූයේ (මල්ලි) තම්බි යනුවෙනි. මෙම නම ඔහු හමුදාමය තනතුරුවලට ඇතුළත් වීමෙන් පසුවද ඔහු එවකට සැමටම වඩා බාලයා වූ නිසාදෝ පොදුවේ භාවිත විය.

ප්‍රභාකරන්, මානි, මනිවානන්, මානියාම් සහ කරිකාලන් වැනි නම් ද භාවිත කළේය. කරිකාලන් යනු චෝල පෙළපතේ තිරුවාවලන් හැඳින්වීමට යොදාගත් නමයි. වෙනාගි නැතහොත් කොටි ධජයේ භාවිතයට ගත්තේ ඒ නමයි.

මුල් කාලයේ සගයන් ඔහු හඳුන්වන්නට යොදා ගත්තේ මනියක්කාර් නමයි. ඔහුගේ සමකාලීනයෝ නොකඩවා ඔහු තම්බි නමින්ම හැඳින් වූවෝය. පසු කාලයේ දී තරුණ කොටි ඔහු අන්නායි හෙවත් අයියා නමින් ඇමතුවෝය.

ටික කලකට පසු ඔහු අමතන නම තලායිවර් හෙවත් නායකයා බවට පත්විය. කලින් එය තෙසියා තාලායිවර් හෙවත් ජාතික නායකයා වී තිබිණි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ඔහු වෙරිසු හෙවත් මහතැන (ලොක්කා) යනුවෙන් හඳුන්වනු ලැබුවේය.

ශිෂ්‍ය ජීවිතය

ප්‍රභාකරන් යාපනයේ වව්නියාවේ සහ මඩකළපුවේ විවිධ පාසල්වල ඉගෙනුම ලැබුවේය. ඔහුගේ පියා නිතරම මාරු කරනු ලැබීම ඊට හේතු විය. ඔහු වසර කිහිපයක් ඉගෙනුම ලැබූ පාසල් නම්, මඩකළපුවේ රජයේ පාසල (දැන් මහජන) චිදම්බර විද්‍යාලය, වෙල්වැටිතුරෙයි යන පාසල්ය. ආදර්ශවත් සිසුවකු නොවූ ඔහු තමාගේ අ.පො.ස. සා.පෙළ පවා සම්පූර්ණ නොකළේය.

ඔහු බුද්ධිමත් නොවූ බව හෝ දැනුම ලබා ගැනීමේ පිපාසයෙන් යුක්ත නොවූ බව මින් අදහස් නොවේ. විධිමත් අධ්‍යාපනයට හැර ප්‍රභාකරන් වෙනත් දේට උනන්දුව දැක්වීම ඊට හේතුවයි.

පාසල් සිසුවකු ලෙස ඔහුගේ වයසේ බොහෝ තරුණයන් මෙන් ඔහු ද පාපැදි පැදීමට, වොලිබෝල් සහ පාපන්දු ක්‍රීඩා කිරීමට කැමැත්ත දැක් වූයේය. එහෙත් ඔහු ක්‍රීඩකයකු නොවූ අතර පොත් කියවීමටත්, ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමටත් රුචියක් දැක් වූයේය.
ළමා කාලයේ දී ඔහු කැටපෝලයක් ගෙන කුඩා කුරුල්ලන් ලේනුන්, කටුස්සන් හඹා ගියේය. හෙතෙම ළමා කාලයේ දී ගොදුරු සොයමින් වන වදුලු පුරා සැරි සැරුවේය.

ඔහුට අසාමාන්‍ය මතකයක් තිබිණි. අවුරුදු ගණනකට කලින් මුණ ගැසුණු පුද්ගලයකුගේ පවා නමත් වාසගතමත් හොඳහැටි මතකයේ තිබුණ ඔහු එම පුද්ගලයා දුටු සැනින් හඳුනා ගත්තේය. තියුණු දෑස්වලින් යුතු ඔහු නිතරම අහල පහළ දෑ දෑසට හසුකරගනිමින් විපරමින් සිටියේය. ඔහුගේ දෑස විශාල වූ නිසා ඔහුට මුලියන් යනුවෙන් විහිළුවට කියනු ලැබිණි.

උද්‍යෝගිමත් පාඨකයෙක්

ප්‍රභාකරන් උද්​යෝගිමත් පාඨකයකු වූයේය. විශේෂයෙන් ඉතිහාසය පිළිබඳවත් ඓතිහාසික සටන් ගැනත්, ඓතිහාසික චරිත ගැනත් ඔහු මහත් අභිරුචියකින් කියවූයේය. නැපෝලියන් මහා අලෙක්සැන්ඩර් ඔහු රසවිඳි ඓතිහාසික චරිතයන්ය. ඉන්දියානු නිදහස් අරගලයද ඔහුව අමන්දානන්දයට පත් කළේය. දෙමළ නවකතා කියවීමට ආසාව දැක්වූ ප්‍රභාකරන් විශේෂයෙන් ඓතිහාසික පසුබිමක් රැගත් නවකතා ප්‍රිය කළේය. ඔහුගේ ප්‍රියතම නවකතාව පොන්නියන් තෙල්වන් සේ පෙනේ.

එය කාල්කි (R ක්‍රිෂ්ණමුර්ති)ගේ රචනයකි. අඛිලාන් හා චන්දිල්යන්ගේ ඓතිහාසික නවකතා ද ඔහු ප්‍රිය කළේය. ඒ දෙදෙනා රචනා කළ ඔහුගේ ප්‍රියතම නවකතා වූයේ අඛිලාන්ගේ, වෙන්කායින් මෙයින් තාන් සහ කායල් විෂි සහ චන්දිල්යාන්ගේ යාවනා රාණි, කාදල් පුරා සහ ජලදීපම් යන ඒවාය.

එල්.ටී.ටී.ඊ.ය, ඊට අයත් පළමු සමුදික යාත්‍රාව මිලදී ගත් පසු එය නම් කළේ චන්දිල්යාන්ගේ, කාදල් පුරා (මුහුදු පරවියා) නව කතාවේ නමිනි. එසේ වුවද ප්‍රභාකරන් නැවත නැවත කියවූ නවකතාව වූයේ කුලක්කුල් ඊරාම් (ගල තුළ වූ තෙතමනය) නම් ආර්.එස්. නල්ලපෙරුමාල් ලියූ කෘතියයි.

එය බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව ඉන්දියාවේ නිදහස් අරගලය පසුබිම් කොට ලියූ එකකි. එහි ප්‍රධාන කතා නායකයා වූ රංගමනී, ගාන්ධිගේ අවිහිංසාවාදී මාර්ගය කෙරෙහි විශ්වාසය නොතැබුවේය. ඉන්දියාවේ නිදහස දිනාගැනීමේ නිසි විධිය ප්‍රචණ්ඩතාව බව ඔහු විශ්වාස කළේය.

මෙම නවකතාවට ප්‍රභාකරන් ආසා කිරීම පුදුමයක් නොවේ. එහෙත් නවකතාවේ කතානායකයාගේ සිත කතාව අවසානයේ දී වෙනස් වෙයි. එහෙත් සැබෑ කතා නායකයාගේ ගල් සිත තුළ තෙතමනක් නම් නොවීය.

ඉන්දියානු නිදහස් අරගලය

ඉන්දියානු නිදහස් අරගලය ප්‍රභාකරන් හට මහත් සේ බලපෑවේය. ඔහුගේ සැබෑ පරමාදර්ශය වූයේ, නෙටාජි හෙවත්, සුබාෂ් චන්ද්‍රා බෝස්ය.

නිදහස දිනා ගැනීමේ අරගෙලයේදී මහත්මා ගාන්ධිගේ ක්‍රමයෙන් නෙටාජ්ගේ ක්‍රමය, මතවාදී වශයෙන් වෙනස් වූයේය. එක් අවධියක දී ගාන්ධිගේ අවිහිංසාවාදී ක්‍රමය ප්‍රතික්ෂේප කළ ඔහු ඉන්දියානු ජාතික හමුදාව (INA) ගොඩනැගීමට පියවර ගත්තේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සන්නද්ධ අරගලය දියත් කිරීමටයි.

නෙටාජිගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයක් වූයේ මගේ අන්තිම ලේ බිඳුව හෙලන තුරු මගේ දේශයේ නිදහස උදෙසා මම සටන් වදින්නෙමි’’ යන්නයි. ප්‍රභාකරන් මෙම මනෝභාවයට මුළු හදවතින් සම්මාදම් වූයේය.

තමිල්නාඩුවෙන් බිහිවූ නිදහස් සටන්කරුවන් දෙදෙනකුද තරුණ ප්‍රභාකරන්ට බලපෑවේය.එක් අයකු වූයේ මාන්චිනාතා අයිසර්ය. තිරුනෙල්වෙල් දිස්ත්‍රික් බදු එකතු කරන්නා වූ ඈෂ් හට වෙඩි තැබුවේ ඔහුය. ඈෂ්, මනියාච්චි දුම්රිය පොළේ මැරී වැටුණේය. පොලිසියෙන් ලුහුබඳින විට මාන්චිනාතා වෙඩි තබා ගත්තේය.

අනෙකා පොලිසියේ දරුණු පහරදීම් නොතකා භාරත් මාතා ධජය ධරා සිටි තිරුප්පුර් කුමාරන්ය. කොඩි කාතා කුමාරන් (කොඩිය රැකගත් කුමාරන්) යන කීර්තිනාමය ඔහුට පට බැඳිනි.

ජාත්‍යන්තර කටයුතු

තත්කාලීන කටයුතු හා ජාත්‍යන්තර දේශපාලන කටයුතු පිළිබඳව ප්‍රභාකරන් දැඩි උන්නදුවක් දැක්වූයේය.ප්‍රභාකරන්ගේ හමුදාවේ සාමාජිකයකුව සිටි තලායසිංහම් සිවකුමාර් හෙවත් ඇන්ටන් මාස්ටර්, ඒ දිනවල, එල්.ටී.ටී.ඊ.ය TIME සහ Newsweek සඟරා උදෙසා මුදල් ගෙවා සාමාජිකත්වය ලබා ගත් ආකාරය මට කීවේය.

ඒවායේ වූ ලිපි පරිවර්තනය කර විස්තර කරන ලෙස ඉංග්‍රීසි දැනුම ඇති මිතුරකුට ප්‍රභාකරන් කීවේය. ඉන්පසු එල්.ටී.ටී.ඊය විශාල සංවිධානයක් බවට පරිවර්තනය වූ පසු සඟරා වලින් හා පුවත්වලින් ගත් වැදගත් ලිපි, ප්‍රභාකරන්ගේ පරිහරණය උදෙසා දමිල බසට පරිවර්තනය කරන ලදී. එසේම හමුදාමය හා යුද කටයුතු පිළිබඳ බොහෝ පොත් ද දමිළ බසයට පරිවර්තනය කෙරිණි.

දේශපාලනමය වශයෙන් අභිප්‍රේරණය වීම

වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ හැදී වැඩුණු ප්‍රභාකරන් පෙර සියවසේ හැට ගණන්වල අග භාගයේ සහ හැත්තෑ ගණන්වල මුල් භාගයේ දී දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූයේය. ඒ හිටපු කයිට්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. නවරත්නම්, ඉලංගෙයි තමිල් අරසුකච්චි හෙවත් ෆෙඩරල් පක්ෂයෙන් වෙන් වූ අවස්ථාවේය. නවරත්නම් 1968 දී තමිලාර් සුයච්චි කසාගම් හෙවත් දමිල ස්වයං පාලන පක්ෂය පිහිටු වූයේය. ෆෙඩරල් ඉල්ලීම කල්ගත වූ සොච්චම් ඉල්ලීමක් බවත් කී ඔහු ඒ වෙනුවට ස්වයං පාලනය උදෙසා වෙනම රාජ්‍යයක් ලබා ගැනීම විකල්පයක් ලෙස තෝරා ගත්තේය.

ප්‍රභාකරන් මහත්සේ ගරු කළ වෙනුගෝපාල් මාස්ටර් නම් ඇදුරෙක් සිටියේය. වෙනුගෝපාල් මාස්ටර් නවරත්නම්ගේ ක්‍රියාකාරී ආධාරකරුවකු බවට පත්විය.

ප්‍රභාකරන් ඇතුළු සිසුන් කිහිප දෙනකු ඔහුගේ අනුගාමිකයන් බවට පත්වූ අතර, ඔවුහු දමිල ස්වයං පාලනය කෙරේ උද්‍යෝගි ලෙස කැප වූවන් බවට පත් වූහ.


(තවත් ​කොටසක් මීළඟට)


2023 මැයි 13 Daily Mirror පුවත්පතේ පළවූ LTTE LEADER PRABHAKARAN නම් ලිපියේ පරිවර්තනය- සමන් පුෂ්ප ලියනගේ

ඩී.බී.එස්. ජෙයරාජ් විසිනි



අදහස් (0)

ප්‍රභාකරන්ගේ පැටිකිරිය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සමෘද්ධියෙන් දුප්පත්කම නැතිවේද?
2023 ජුනි මස 05 211 0

මනුෂ්‍යයකුට නොමැරී ජීවත් වීමට අවශ්‍ය ආහාර, බෙහෙත්හේත්, ඇඳුම් පැලඳුම් ආදී මූලික දේවල් නොලැබෙන තත්ත්වයක් දරිද්‍රතාව ලෙස හැඳින්විය හැකිය. එකී මූලික අවශ


ජාතික සමගියේ සහජීවන අරුත කියන පොඩිත්තෝ
2023 ජුනි මස 05 91 0

ජාතික සමගිය, ආගමික සහජීවනය යන මාතෘකා යළිත් සමාජය තුළ ගැඹුරු සංවාදයකට බඳුන් වී තිබේ. ඇස් ඉස් මස් හා ලේ මෙන්ම ජීවිතද දහස් ගණනින් පූජා කර ඇතත් ඇතමකුට ජාතික


මන්ත්‍රී යුතුකම හරි හැටි ඉටුවේද?
2023 ජුනි මස 01 214 0

මහජන නියෝජිත ආයතන අතරින් පාර්ලිමේන්තුව උත්තරීතරය. ඒ එය රටේ ව්‍යවස්ථා සම්පාදන ආයතන ද වන හෙයිනි. වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 196 ක


අධ්‍යාපන පීඨ ගුරු සිසු ආහාර වේල ගැන යළි යළිත් සිතමු
2023 ජුනි මස 01 807 4

කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුන්ට ප්‍රමාණවත් ආහාර සැපයීමක් නොකරන බවත්, සිසුන් සියයක් පමණ රෝගාතුර වී ඇති බවත් පසුගිය දිනෙක අප පුවත්


ජපන් සබඳතා නැග්ම බැස්ම
2023 මැයි මස 31 1127 0

2020 සැප්තැම්බර් 21 වැනි දින එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා වූ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතාට ලිප


කැබිනට් අමාත්‍ය පදවි 15ක් අප වැනි රටකට මදිද?
2023 මැයි මස 31 368 0

ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම දිගින් දිගටම ඇදෙන දේශපාලන ප්‍රශ්නයක් බවට හැරී තිබේ. එය දේශපාලන ප්‍රශ්නයක් වන්නේ රටේ ජනතාවට වඩාත් වැදගත් වන්නේ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 228 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1345 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 733 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site