IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පළාත් හුදෙකලා කරන අතරම අත්‍යවශ්‍ය සේවාත් කරගෙන යමු

 

අන්තර් පළාත් සංචරණ සීමා ඊයේ මධ්‍යම රාත්‍රි 12 සිට ලබන 30  වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව රජය ඊයේ නිවේදනය කළේය. රටේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අන්තර් දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීමටද ඉඩ ඇති බව රජය අනතුරු ඇඟවීමක්ද කළේය. එම අනතුරු ඇඟවීම තුළ අනතුරෙහි ගැඹුර පැහැදිලිව සටහන්ව තිබේ. මෙම තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා ගෙන කටයුතු කිරීම සියල්ලන්ම ඉදිරිපිට ඇති සාමූහික වගකීම වේ.

වසන්තයෙන් පසුව වසංගතය පැමිණිය හැකි බව තේරුම් නොගත් විචාරශීලීත්වය අහිමි කරගත් සියල්ලන්ගේම දායකත්වයෙන් කොරෝනා වගුර පළල්වී තිබේ. විශාලා මහනුවරක් බවට පත්ව ඇති ඉන්දියාවේ සජීවී අත්දැකීම් එයට හිමි නිසි අරුතෙන් ග්‍රහණය කර නොගැනීමේ වන්දිය ලෙස අන්තර් පළාත් සංචරණ සීමා පනවා තිබේ. අන්තර් දිස්ත්‍රික් සංචරණ සීමාව ඊට පිටුපසිනි. මුළු රටම අගුලු ලෑම ඊළඟ පියවර වේ. විනාශයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීම ජාතික සිරිතක්ව ප්‍රගුණ කරන රටක කොරෝනා මාරක වසංගතය සමග සෙල්ලම් කිරීමට යාම අමුතු විමතියක් දනවන්නක් නොවේ.

ඉක්මයන මේ මොහොතක තුළ බොහෝ දෙනෙක් සෞඛ්‍ය විශේෂඥයෝ වී සිටිති. ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෝද විපක්ෂයේ දේශපාලනඥයෝද සමාජ මාධ්‍ය ජාලාවල පිනුම් ගසන්නෝද විවිධ සමාජ ක්‍රියාකාරිකයෝද ඒ අතර වෙති. සැබැවින්ම මෙබඳු මාරක වසංගතයකදී කළමනා කටයුතු තීරණය කිරීමේ බලය සෞඛ්‍ය අධිකාරියට දිය යුතුය. ආරක්ෂක අංශවලට දිය යුතුය. ඔවුන්ගේ තීරණය අවසාන තීරණය විය යුතුය. එසේ නොවීම රට තුළ අවුල්සහගත චිත්‍රයක් ඇතිවීමට හේතුවකි. එවිට සිදුවන්නේ අවුලට විසඳුම් සෙවීමට යොමුවීමය. ඇත්ත ප්‍රශ්නය යට යන්නේ එම හේතුවෙනි. කොරෝනා රෝගීන් දිනකට 2500ක් ඉක්මවා වාර්තා වන තරමට තත්ත්වය බැරෑරුම් වූයේ ඒ අනුවය.

රටේ අද දවසේ තත්ත්වයට අනුව අන්තර් පළාත් සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍යය. එහෙත් එක් ජනප්‍රිය මතයක් වී තිබෙන්නේ මුළු රටම අගුලුලා  යුතු බවය. පහසුම විසඳුම ද එයමය. එහෙත් එම විසඳුම නිමක් නැති ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය කිරීමට හේතුවකි. 2020 වසරේ මාර්තු මාසයේ සිට පුරා දෙමසක් අපි ඒ කටුක අත්දැකීම ලැබුවෙමු. යළිත් එම කටුක, කඨෝර, නීරස, අහිමිරි අත්දැකීම විඳිනු රිසි යමකු සිටීදැයි සැක සහිතය.

මෙම මොහොතේ ජනතාව වඩාත් බුද්ධිමත්ව හා වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට හැකිවනු ඇත. රට වහන්නැයි  මොරදීම වෙනුවට මුව ආවරණ පළඳින්නේ  නම් හා රට හුදෙකලා කර ඇතැයි සිතා නිවෙසට වී සිටින්නේ නම් එය යහපත්ය. අපගේ මෙම මානුෂික හා කාරුණික ඉල්ලීම රටේ සාතිශය බහුතරයක් වූ අහිංසක දිළිඳු ජනයා  වෙනුවෙනි.

සඳුන් ගැටක් මිටින් අරන් නූපන් අපේ දිළිඳු ජනයා සතුව තැන්පත් කරගත් මහ ධන නිධානයක් නැත. බොහෝ දෙනකු දිවිගෙවන්නේ හා දරු පවුල රක්ෂා කරන්නේ දෛනික ආදායමෙනි. ඔවුන් ගැන නොසිතා නොබලා කටයුතු කළ නොහැකිය.


බොහෝ නිවෙස්වල රෝගීහු සිටිති. ඔවුන්ට ප්‍රතිකාර මෙන්ම ඖෂධ ද අවැසිය. මුළු රටම හුදෙකලා කළ සන්දියේ එබඳු  රෝගීන් සිටින නිවෙස්වල ජනයාට කොරෝනා බියට අමතරව තමන්ගේ නිවසේ සිටින  රෝගියාගේ ඉරණම සම්බන්ධ භීතියෙන් ද කල් ගෙවීමට සිදුවිය. අද වනවිටත් හුදෙකලා කර ඇති ගම්මානවල ජන ජීවිතය කෙතරම් දුක්මුසුදැයි හඳුනා ගැනීමට අමුතු නුවණක් ඇවැසි නැත.

රටේ ඊළඟ තත්පරය තීරණය වන්නේ ගෙවෙන තත්පරයට සාපේක්ෂවය. රට දැන් තිබෙන්නේ අනුමාන හැකියාවෙන් එපිටය. එහෙයින් සිදු කළ යුතුව තිබෙන්නේ ඒ එන ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි පරිදි රට සූදානම්ව තැබීමය. රජයේ වගකීම වන්නේ එයය. විශේෂයෙන්ම ජන ජීවිතය කඩා වැටීමට ඉඩ නොදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය , ඖෂධ මෙන්ම ජනයාට අවශ්‍ය අනෙකුත් දෑ සපයා ගත හැකි යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. එම යාන්ත්‍රණයට හොඳම අවබෝධයෙන් සහාය දීම ජනයාගේ වගකීමය.

(***)



අදහස් (0)

පළාත් හුදෙකලා කරන අතරම අත්‍යවශ්‍ය සේවාත් කරගෙන යමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 534 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site