IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පාස්පෝට් ගෙදරටම කළ හැකි නම් හොඳ වැඩක්

විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) කන්තෝරුව පසුගිය කාලයේ අතොරක් නැතුව බැණුම් ඇසූ ආණ්ඩුවේ ඉතාම වැදගත් දෙපාර්තමේන්තුවකි. බැණුමට හේතු වූයේ රටේ ජනතාවට පාස්පෝට් එක ලබා ගැනීම මහ කරුමයක් බවට පත්වීම හේතුවෙනි. පාස්පෝට් එක ලබා ගැනීමට පවුලේ සියලු‍ දෙනාම පැමිණ එම කන්තෝරුව අවට කූඩාරම් ගසාගෙන සිටිය යුතු තත්ත්වයක් පවා උදා වී තිබිණි. මහ පාන්දර සිට එතැනට පැමිණෙන පිරිස කෑවේ පුදුම කට්ටකි. දිනකට පැමිණෙන දෙතුන් දහසක් පුද්ගලයන් අතුරින් පාස්පෝට් ලබා ගැනීමේ ලොතරැයිය ඇදුණේ 600ක පමණ සංඛ්‍යාවකට පමණි.

පාස්පෝට් කන්තෝරුව අවට පවතින මේ අධික තදබදය මාධ්‍ය මගින් පෙන්වා දුන් අවස්ථාවේ එහි බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ දින කිහිපයකින් පාස්පෝට් එක අයැදුම්කරුගේ නිවෙසටම ලැබෙන ක්‍රමයක් ළඟදීම ආරම්භ කරන බවය. එය වචනයට සීමා නොවී ක්‍රියාවට නැංවී ඇති බව පසුගියදා රටටම දැකගත හැකි විය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ මහජනතාවට විදේශ ගමන් බලපත්‍රය නිවෙසටම ලබාදීමේ නව ක්‍රමවේදයේ සමාරම්භක උත්සවය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ නව ක්‍රමය මගින් වඩා පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකිවනු ඇති බවය. හදිසි සේවාව ඔස්සේ දින 03ක් ඇතුළත දී සහ සාමාන්‍ය සේවාව ඔස්සේ දින 14කින් විදේශ ගමන් බලපත්‍රය නිකුත් කෙරෙන බවත් ඒවා නිවෙස්වලටම රැගෙන ගොස් බාරදීම සඳහා කුරියර් සේවයක් යොදාගන්නා බවත් කියයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ සේවය ලබාගැනීම සඳහා පිවිසිය යුතු වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත්කර තිබෙන අතර එයට පිවිස මුරපදය ඇතුළු කර අදාළ ලේඛනවල මුල් පිටපත් ස්කෑන් කර ඒවා ඇතුළත් කළ යුතු වෙයි. ඉන්පසුව දෙපාර්තමේන්තුව මගින් නියම කර ඇති මධ්‍යස්ථානයකට ගොස් ඇඟිලි සලකුණු ලබාදීම අයැදුම් කිරීමේ ක්‍රියාවලියේ අවසන් පියවරයි. තොරතුරු සියල්ල නිවැරදි නම් ඊළඟ පියවරේ දී විදේශ ගමන් බලපත්‍රය නියමිත කාලසීමාව තුළ නිවෙසටම ලැබෙනු ඇත.

මේ කියන ආකාරයට සියල්ල සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ ක්‍රමවේදයට ද මීට කලින් තිබූ මාර්ගගත ක්‍රමයට වේලාවක් වෙන්කර ගෙන විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට සකස් කර තිබූ වැඩපිළිවෙළට අත් වූ ඉරණම අත් වීමට ඉඩ නොතැබීම බලධාරීන්ගේ වගකීමකි. කාලයක් හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබූ එම ක්‍රමවේදයට ඉන්පසුව හෙනහුරා කඩා පහත් විය.

විදෙස් ගමන් බලපත්‍රයක් යනු විශේෂ වරප්‍රසාදයක් නොවේ. එය ලබා ගැනීමට රටේ සුදුසුකම් සපුරණ සෑම පුරවැසියකුටම අයිතියක් තිබේ. කාලයක් තිස්සේ එතරම් කරදර හිරිහැරයකින් තොරව වැඩිපුර රස්තියාදු නොවී පාස්පෝට් එක ලබා ගැනීමට අවස්ථාව තිබිණි. එය එක්වරම වෙනස් වූයේ පසුගිය අරගල කාලසීමාවත් සමඟ රටින් පිට වී යාමට බොහෝ දෙනකු දැරූ උත්සාහය නිසාය. එතරම් විශාල සැපයුමකට පාස්පෝට් කන්තෝරුව සූදානම්ව සිටියේ නැත. ඒ අවස්ථාවේදී දින ගණන් පෝලිම්වල රස්තියාදු වෙමින් පාස්පෝට් ලබා ගැනීමට විශාල ජනකායක් පැමිණියහ. ඒ වෙලාවේ දෙපාර්තමේන්තුවට පැටවුණේ බැරි බරකි.

එහෙත් මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් තුනී වී යද්දී යළිත් එවැනි තදබදයක් උද්ගත වනතුරු ඊට විසඳුමක් සොයාගැනීම මෙතරම් ප්‍රමාද වූයේ ඇයිදැයි තේරුම් ගැනීම අපහසුය. පාස්පෝට් ලබා ගැනීම දුෂ්කර වනවිට ඒ වටේ විවිධ කතා පැතිරෙයි. කළුකඩ ඔස්සේ පාස්පෝට් ලබාදෙන අයියලා ජනතාවගේ පිහිටට එන්නේ ද මෙවැනි අවස්ථා හේතුවෙනි. ඈත ප්‍රදේශවල සිට පැමිණෙන ඇතැම් දෙනා මේ අයියලාට හසු වී අතේ තිබෙන තුට්ටු දෙක ද නැතිකර ගනිති. එසේ විය යුතු නැත.

පාස්පෝට් ලබාදීමේ ක්‍රමවේදය විමධ්‍යගත කිරීම පහසු වැඩක් නොවේ. ඒ හරහා විවිධ අක්‍රමිකතා සිදුවිය හැකි බැවිනි. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කෙරෙන ක්‍රියාවලියේ දී එවැනි අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි අපි සිතමු. වඩාත් අවශ්‍ය වන්නේ පාස්පෝට් එක ගෙදරටම ලබාදෙන මේ ක්‍රමය ඒ අයුරින්ම ඉදිරියට පවත්වාගෙන යාමය. මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙලාව වෙන්කර ගැනීමේ ක්‍රමවේදයට සිදුවූ වින්නැහිය මේ නව ක්‍රමයට අත් නොවේවායි ඒ සමඟ ප්‍රාර්ථනා කරමු.

(***)



අදහස් (1)

පාස්පෝට් ගෙදරටම කළ හැකි නම් හොඳ වැඩක්

chandima Saturday, 24 June 2023 08:04 PM

හොඳ වැඩ නම් එමටයි... ටිකක් ඉන්නකෝ ජාත්‍යන්තර පරිසර ප්‍රශ්නය එහෙම විසඳලා ඉවර වෙනකල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site