IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


නියඟයට මුහුණ දෙන සූත්‍රයක්

ගෝලීය වශයෙන් බලපවත්නා නියං කාලගුණය හේතුවෙන් වසරකට මිලියන 55 ක පමණ රටවැසි පිරිසක් පීඩාවට පත් වෙති. එසේම ලෝක ජනගහනයෙන් සියයට 40 ක පිරිසක් ජලය හිඟකම හේතුවෙන් පීඩාවට පත් වෙති. මේ හේතුවෙන් නියඟය විවිධ ආර්ථික හා සාමාජීය ගැටලු නිර්මාණය කරන සාධකයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට මේ වන විට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශවල සිදුව ඇති හානිය පිළිබඳ නිශ්චිත සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීම අසීරුය.

මන්ද, මේ දක්වා ඊට අදාළ ගණනය කිරීම් කර නොමැති බැවිනි. එහෙත් මීට පෙර ඇති වුණු නියං තත්ත්වලදීත් මෙරට ආර්ථිකයට දැඩි අයහපත් බලපෑම් ඇති විය. සෘජු හා වක්‍ර හානි වශයෙන් කොටස් දෙකක් යටතේ ඒ ගැන කතා කළ හැකිය.

කෘෂිකර්මාන්තය, ජල විදුලි නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාව සහ සංචාරක හා විනෝද කටයුතු ක්ෂේත්‍රය යනා දී අංශවලට වන බලපෑම මෙන්ම ගොවීන්ගේ ආදායම් පහළ යෑම වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යෑම සහ විවිධ රෝග ව්‍යාප්තිය ආදී දේවල් ද මේ යටතේ සාකච්ඡා කළ හැකිය.

වර්ෂ 2017 දී වී වගා කර ඇති මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 8 කට වැඩිය. එයින් තුනෙන් එකක ප්‍රමාණයක් වගා කර තිබෙන්නේ නියං කාලගුණ තත්ත්ව යටතේය. එසේම එම නියං කාලගුණ තත්ත්වය මිලියන 1.2 ක ජනතාවකට දැඩිව බලපා තිබේ. තවද එම වසරේ මුළු අස්වැන්නෙන් සියයට 63 ක් අඩු වී තිබෙන්නේ පැවති නියං කාලගුණ තත්ත්වය හේතුවෙනි. එය වසර ගණනාවකට පසු වාර්තා කළ ඉහළ අස්වනු අඩු වීමක් වශයෙන් සැලකිය හැකිය.

මේ අනුව පැහැදිලි වන්නේ නියඟය හේතුවෙන් වැඩිමනත් බලපෑමට ලක් වන ක්ෂේත්‍රයක් වන්නේ කෘෂිකර්මාන්තය බවය. විශේෂයෙන්ම වියළි කලාපවල කෘෂිකාර්මික කටයුතු සිදු වන්නේ ජලාශ වැව් ආදී ජලය එක් රැස් කරන වාරිමාර්ග පද්ධති මගිනි. වර්ෂා ජලය හිඟ වූ විට කෘෂි බිම්වලට අවශ්‍ය ජලය සපයා ගත නොහැකි වීමෙන් කෘෂිකාර්මික කටයුතුවලට මහත් බලපෑමක් සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස කෘෂි අංශයේ නිෂ්පාදන පහළ වැටේ. තවද ජලය නොමැති වීම හේතුවෙන් ජනතාවට විශාල වශයෙන් පානීය ජල ගැටලුවලට ද මුහුණ දීමට සිදු වේ.

“දේශගුණික විපර්යාස: ජලය සහ ආර්ථිකය” මැයෙන් ලෝක බැංකුව 2016 දී වාර්තාවක් නිකුත් කළේය. එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේත් දැඩි නියං කාලගුණ තත්ත්ව පවතින රටවල කෘෂිකාර්මික කටයුතුවලට දැඩි හානි සිදු වන බවය. එකී වාර්තාවෙන් පුරෝකථනය කර ඇති ආකාරයට නියං කාලගුණය හේතුවෙන් විවිධ රටවල 2050 වන විට දළ දේශීය නිෂ්පාදිතය සියයට 6 කින් අඩු වනු ඇත.

නිදසුනක් ලෙස 2017 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තයෙන් ලැබුණු දායකත්වය සියයට 12 ක මට්ටමක පැවතිණි. ඊට පෙර වසර සමග සැසඳීමේදී එය සියයට 6 ක පහළ යෑමකි. එම අඩුවීමට හේතු වූයේ එවක පැවැති නියං කාලගුණ තත්ත්වය නිසා කෘෂි අස්වනු අඩු වීමය.

නියඟය හේතුවෙන් කෘෂි අස්වනු අඩු වන විට ගොවීන්ගේ ආදායම් පහළ යෑමට එය සෘජුවම බලපායි. එසේම කෘෂි කටයුතු සඳහා ලබා ගත් ණය ගෙවීමට ද ගොවීන්ට නොහැකි වනු ඇත. සිය දිවි නසා ගැනීම් වැඩිවීමට ද එය හේතුවක් වනු ඇති අතර එය ප්‍රබල සමාජීය ගැටලුවකි. අනෙක් අතට ගොවීන්ට ණය ලබාදෙන බැංකු හා මූල්‍ය ආයතනවලට ද විවිධ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වේ.

කෘෂි නිෂ්පාදන අඩු වීමෙන් ආහාර සුරක්ෂිතතාව අවදානමට ලක් වේ. විශේෂයෙන්ම ඉල්ලුමට සරිලන සැපයුමක් සහතික කිරීමට නොහැකි වුවහොත් ඒවායෙහි මිල ගණන් ඉහළ යයි. එවිට ආර්ථිකයේ උද්ධමනාත්මක බලපෑම් වුව ඇති වීමට ඉඩ තිබේ. මේවා සැලකිය හැක්කේ වක්‍ර බලපෑම් හැටියටය.

කෘෂිකර්මාන්තයට සිදු වන මේ අයහපත් බලපෑම්වලින් රටේ සමස්ත ආර්ථිකයේ වර්ධනය අඩාළ වනු ඇත. දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටීම, මිල මට්ටම් ඉහළ යෑම, මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව දුර්වල වීම ආදී තත්ත්ව ඔස්සේ ආර්ථිකයට වන බලපෑම තේරුම් ගත හැකිය.

මේ තත්ත්වය මගින් කර්මාන්ත ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑම් ඇති කරයි. කර්මාන්ත අංශයට අවශ්‍ය ආහාර සහ අමුද්‍රව්‍ය සපයන්නේ කෘෂි අංශය මගිනි. ඒ සඳහා ප්‍රමාණවත් කෘෂි වගාවක් සහ ආහාර නිෂ්පාදනයක් රටේ සිදු විය යුතුය. එය නිසි අයුරින් සිදු නොවුණ හොත් එමගින් කර්මාන්ත අංශයේ පිරිවැය ඉහළ යයි. ඒ අදාළ අමුද්‍රව්‍ය මිල  දී ගැනීම සඳහා වැඩි මිලක් ගෙවීමට සිදු වන හෙයිනි.

ජලය කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම විදුලි බලය නිෂ්පාදනයටත් යොදා ගැනේ. පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අඩු මට්ටමක පවතින බව අපි දනිමු. එය ඉදිරියේ දී කර්මාන්තවලට කවරාකාරයකට බලපෑම් ඇති කරනු ඇත්දැයි අපි නොදනිමු.

සමනළ වැව ජලාශයෙහි ජල ධාරිතාව පහළ යෑමත් සමග එයින් නිපදවන විදුලිය ප්‍රමාණය ගිගාවොට් පැය 3.9 දක්වා අඩු වී තිබෙන බව පසුගියදාක ප්‍රකාශ විය. එසේම උඩවලව ජලාශය වසර 50 කට පසු සම්පූර්ණයෙන්ම හිඳී ගියේ මේ වසරේ බවද ප්‍රකාශ වේ. එවැනි සන්දර්භයක ජල විදුලි නිෂ්පාදනය සඳහා ගැටලු මතු වේ. විදුලි කප්පාදුවකට යෑමට සිදු වුව හොත් එයින් සමස්ත ආර්ථිකයටම දැඩි අයහපත් බලපෑමක් එල්ල විය හැකිය.

සංචාරක ක්ෂේත්‍රය හා විනෝද කටයුතුවලට ද මෙයින් අයහපත් බලපෑම් එල්ල වේ. විශේෂයෙන්ම ජලය ආශ්‍රිතව සිදු කෙරෙන විනෝද ක්‍රීඩා සංචාරකයන් අතර ප්‍රකටය. ජලය හිඟ වූ විට එම ක්‍රීඩා පැවැත්වීමට නොහැකි අතර එයින් සංචාරක කර්මාන්තයටත් ආර්ථිකයටත් සෘජු බලපෑම් ඇති කරයි.

මේ සියලු තත්ත්ව හමුවේ සාමාජීය ගැටලු ද පැන නැගිය හැකිය. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් පහළ යෑම හේතුවෙන් ඔවුන් තවදුරටත් දිළිඳු වීම සිදු වේ. එවිට අත්‍යවශ්‍ය වියදම් කිරීමට පවා ඔවුන්ට නොහැකි වනු ඇත. ඊට අමතරව ජලය නොමැතිවීම හේතුවෙන් විවිධ රෝග පැතිර යෑමේ හැකියාවක් ද පවතී. ජලය යනු මූලික මිනිස් අවශ්‍යතාවකි. ජලය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වේ. පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ වන සතුන්ටත් ජලය හිඟ වී තිබේ. ඒ හේතුවෙන් වන අලින් ගම් වදින තත්ත්ව පවා ඇති විය හැකි අතර එමගින් අලි මිනිස් ගැටුම් ද උග්‍ර විය හැකිය.

නියඟය ස්වාභාවික සංසිද්ධියක් නිසා අපට එය නතර කළ නොහැකි වුවත් එයින් උද්ගත වන ආර්ථික සාමාජීය ප්‍රශ්නවලට පිළියම් යෙදිය හැකිය. ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය. ඒ ගැන කෘෂිකර්මයට සම්බන්ධ සියලු ආයතනවලට මෙන්ම ගොවීන්ටත් අවබෝධයක් තිබේ. එබැවින් වඩාත් වැදගත් වන්නේ මනා ලෙස සූදානම් වීමයි. එහිදී තද පෑවිල්ල හේතුවෙන් මතු වන ගැටලුවලට විසඳුම් සෙවිය යුත්තේ කෙසේද යන්න ගැන සැලකිලිමත් වීම අවශ්‍ය වේ.

ජල සංරක්ෂණය සඳහා පියවර ගැනීම වැදගත් වේ. එනම්, වැසි සහිත කාලවල දී ජලය අපතේ නොයන ආකාරයට රැස් කර තබා ගැනීම සඳහා ජල සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ඒ යටතේ ජලය ප්‍රතිචක්‍රීයකරමින් නැවත පාවිච්චියට ගත හැකි ක්‍රමවේද ක්‍රියාවට නැංවීම ද කළ යුතුය. වාරිමාර්ග පද්ධතිය දියුණු කිරීමත් එහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමත් කළ යුතුය. නියඟයට ඔරොත්තු නොදෙන භෝග වගාවට ගොවීහු වැඩි පිරිසක් නැඹුරු වී සිටිති.

තද පෑවිල්ල පවතින කාලයට වගා විනාශ වීමට එය ද හේතුවකි. එබැවින් නියඟ කාල සීමාවේ දී ඊට ඔරොත්තු දෙන භෝග වගා කිරීමට ගොවීන් දිරිමත් කළ යුතුය. එසේම ඉදිරි කාලගුණ තත්ත්ව සම්බන්ධයෙන් මෙන්ම කෘෂිකර්මයට විය හැකි බලපෑම් ගැන ගොවීන් දැනුම්වත් කිරීමත් කළ යුතුය.

දැඩි නියං තත්ත්ව ඇති වීමට බලපාන එක් හේතුවක් නම්, වන විනාශයයි. වනාන්තර විනාශ කිරීම හා එළි පෙහෙළි කිරීම, ඉදි කිරීම් සිදු කිරීම් ආදිය නිසා ජල උල්පත් සිඳී යෑම වර්ෂාව අඩු වීම ආදිය සිදු වේ. එබැවින් වන වගා කිරීම සහ පාංශු රක්ෂණයට අදාළ ක්‍රමවේද ගැන ගොවීන් හා අදාළ අංශ දැනුම්වත් කිරීමත් අවශ්‍ය වේ. එසේම ඉඩම් තිරසාර ලෙස භාවිත කරන ආකාරය ගැන කෘෂිකර්මයෙහි නියුතු පිරිස් හට අවබෝධය ලබා දීමත් වැදගත්ය.

විදුලිය නිෂ්පාදනය සඳහා ජලය වැඩි වශයෙන් යොදා ගැනෙන හෙයින් විදුලිය නිෂ්පාදනය සඳහා ජලය වැඩි වශයෙන් යොදා ගැනෙන හෙයින් හොඳින් හිරු එළිය පතිත වන ප්‍රදේශවල සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවීමත් වැදගත්ය. එහිදී පෞද්ගලික හා ආයතන මට්ටමින් සූර්ය බලයෙන් විදුලිය නිපදවීම සඳහා පුද්ගලයන් උනන්දු කළ හැකිය. ඒ ඔස්සේ වැසි රහිත කාලවල දී ජල විදුලිය වෙනුවට වෙනත් විකල්ප ක්‍රමවලින් විදුලිය නිෂ්පාදනය කිරීමටත් කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමටත් හැකියාව ලැබේ.

ගොවීන් වෙනුවෙන් විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීමත් වැදගත්ය. ඒ සඳහා අවශ්‍ය දැනුම මෙන්ම මූල්‍ය පහසුකම් ලබා දීම ආණ්ඩුවේ වගකීමයි. සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් යටතේ දැනට පීඩාවට පත්ව සිටින ප්‍රජාවට සහන සැලසීම කළ යුතුය. ජලය හා විදුලිය අරපරෙස්සමෙන් භාවිත කිරීම සඳහා පුරවැසියන් වන අපට තිබෙන වගකීමත් මෙහිදී සිහිපත් කළ යුතුය.

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ප්‍රසංශා කුමාරි



අදහස් (2)

නියඟයට මුහුණ දෙන සූත්‍රයක්

ajith Tuesday, 22 August 2023 04:22 PM

සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවීම කළ හැක්කේ දිවා කාලයේදී වන අතර, ඒ කාලය තුළ විදුලිය සඳහා ඇත්තේ අවම ඉල්ලුමකි. සූර්ය ශක්තියෙන් නිපදවන විදුලිය ලාභදායි ආකාරයට ගබඩා කළ හැකි ක්‍රමයක් තවම සොයා ගෙන නැහැ. ප්‍රායෝගිකව කළ හැක්කේ විදුලි බලාගාර ආශ්‍රිතව ඇති ජලාශවල ජලය මිනිසුන්ගේ පාරිභෝජනය සඳහා යොදාගෙන, විදුලිය විකල්ප ආකාරයට ජනනය කිරීමයි. ඒ සඳහා දැනට ඇති විකල්ප දෙකක් නම්, න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම හෝ ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමයි. මේ සඳහා ඉන්දියාව සමග යා කෙරෙන රැහැන් පද්ධතියක් අවශ්‍ය වේ.

:       2       3

sunil Wijeratne Wednesday, 23 August 2023 11:21 AM

සරළ අදහසක් කියන්නම්... වැහිවතුර ආරක්ෂා කරගන්න. මුහුදට යන්න දෙන්න එපා. රටතුළම පාවිච්චි කරන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 363 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1293 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 760 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1094 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1909 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1460 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1048 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 252 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site