IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නායක සාකච්ඡා නැතිව හවුල් ආණ්ඩු ගෙනයා හැකිද?

ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය පුපුරා ගියේ අමාත්‍යවරුන් දෙදෙනකු අමාත්‍ය ධුරවලින් නෙරපා හැරීමෙනි. ඒ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ය. එම ක්‍රියාදාමයට විරෝධය පා ඇමැති වාසුදේව නානායක්කාර මහතා අමාත්‍යංශයට වාර්තා නොකරණ බව කීවේය. ඊට අමතරව ඇමැති ධුර කිහිපයක් ද සංශෝධනයට ලක් විය. දහසක් ප්‍රශ්න වලින් පෙළෙන ජනතාව මෙම සිදුවීම් නාඩගම් ලෙස දකිනු ඇතැයි අපි විශ්‍වාස කරමු.

රට තිබෙන්නේ බරපතළ අර්බුදයකය. ඔළුගෙඩි නෙරපා හැරීමෙන් හෝ ඔළුගෙඩි එහාට මෙහාට කිරීමෙන් අර්බුදය සමහන් කරගත හැකියැයි සිතන්නේ නම් එය විහිළුවකි. අර්බුදයෙන් මිදිය හැකිවන්නේ අර්බුදයේ දිග පළල හා පරිමාව සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂණයක් කර විසඳුම පාදා එය සාමූහිකව ක්‍රියාත්මක කිරීමෙනි. ඒ සඳහා අභ්‍යන්තර සංවාදයක් අවශ්‍යම වේ. එහෙත් ආණ්‍ඩුවේ හවුල්කාර පාර්ශ්ව චෝදනා කරන්නේ එබඳු අභ්‍යන්තර සංවාදයක් නොමැති බවය.

පක්‍ෂයක් වටා ගොනුවන්නේ එකම දේශපාලන මතයක් දරන පිරිස්ය. එහෙත් සන්ධානයක එසේ නොවේ. එහි විවිධ මත දරන, විවිධ දේශපාලන දර්ශන අගයන පිරිස් සිටිති. එකී වෙනස්කම් පසෙකලා ඔවුහු එක් පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු වෙති. එහිදී සියල්ලන්ටම කැපකිරීමක් කිරීමට සිදුවේ. මත වෙනස්කම් මතුවන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුය. එය සිදුනොවන්නේනම් ගමන අතරමග නතරවීම ඒකාන්තය.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11ක් වෙනම සංවිධානය වී සිටී. ඔවුන් ඉකුත් 2 වැනිදා ‘මුළු රටම හරි මගට’ නමින් සමුළුවක් පැවැත්වූයේය. රට ගොඩනගන වැඩපිළිවෙළක් ද එහිදී ඉදිරිපත් විය. සැබැවින්ම එම යෝජනා ඉදිරිපත් කළ යුත්තේ ආණ්‍ඩුවටය. ආණ්‍ඩුවට ඉදිරිපත් නොකර මහජනයාට පිළිගැන්වීම උචිත නොවේ. මාඕසේතුන් වරක් ප්‍රකාශ කළේ ‘ප්‍රතිපත්ති, සභාවේ කතා කරන්න. උපක්‍රම කාමරයේ කතා කරන්න’ යනුවෙනි.

ආණ්ඩුවේම හවුල්කාර කොටස් එළිපිට ආණ්ඩුව විවේචනය කරන විට ආණ්‍ඩුව ‘කැඳ හැලියක්’ යන මතය සමාජගත වේ. දේශපාලන අරාජිකත්වය මතුවීමට එම තත්ත්වය හේතු වේ. රටේ ගමන දෙස විශ්‍වාසයෙන් බැලිය නොහැකි පරිසරයක් තුළ මහජනයාගේ සහයෝගය ලබාගත නොහැකිය. එහෙත් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ කියන්නේ එබඳු අභ්‍යන්තර සංවාදයකට ආණ්‍ඩුව තුළ ඉඩක් නොමැති බවය.

‘මුළු රටම හරි මගට’ සමුළුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ පක්‍ෂ 11කට වෙනම වේදිකාවකට ගොඩ වී ජනතාවගේ ප්‍රශ්න කතා කිරීමට සිදුවූයේ රටේ ප්‍රශ්න කතා කිරීමට ආණ්‍ඩුව තුළ වේදිකාවක් නැති නිසා බවය.

ආණ්ඩුවේම පක්‍ෂ 11ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනකු වෙනම වේදිකාවකට ගොඩවීම ආණ්‍ඩුවට හොඳ දෙයක් නොවන බවත් තමන් මෙතැනට වැට්ටවීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතු බවත් හිටපු ජනාධිපතිවරයා කියා තිබිණි. එමෙන්ම රටේ ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීමේ දී ආණ්ඩුව නම්‍යශීලී හා නිතහමානී විය යුතු බවත්, ප්‍රකාශ කර ඇති හිටපු ජනාධිපතිවරයා ගතවූ වසර දෙකේදීම රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවාදයක් සාකච්ඡාවක් කිරීමට අවස්ථාවක් නොලැබුණ බවද සඳහන් කර තිබිණි.

රටේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳීමට පැමිණි දේශපාලනඥයන්ට, මැති ඇමැතිවරුන්ට දැන් සිදුවී තිබෙන්නේ තමන්ගේ ප්‍රශ්න, ගැටලු ජනතාවට කීමටය. ජනතාවට සිදු වී තිබෙන්නේ තමන්ගේ දහසක් ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රයත්නයක් දරන අතරතුරම දේශපාලනඥයන්ගේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රශ්න විසඳීමටය. කිසියම් විකෘතියක් වී ඇති බව පැහැදිලිය. මෙබඳු විකෘතියක් සහිතව රටකට ඉදිරියට යා නොහැකිය.

මෙම සටහන තබන මොහොතේ විදුලිය කැපීමක් නොවූවද පසුගිය දවස්වල පැය ගණන් විදුලිය කැපීම් සිදුවීය. එය ජනජීවිතයටත් රටේ ආර්ථිකයටත් බරපතළ බලපෑමකි. දැනට තිබෙන අර්බුද සුළිය තව තවත් කැළතීමට මෙම තත්ත්වය හේතු වේ.

විසඳුමක් නොපෙනන මානයට ප්‍රශ්න උග්‍ර කිරීමට මෙම තත්ත්වය හේතු වේ. ඉන්ධන පිරවුම් අසල තවමත් දිගු පෝලිම්ය. රටක ප්‍රවාහනය අඩාල වූ විට සියල්ල මන්දගාමී වීම වැළැක්විය නොහැක. ඉන්ධන පෝලිම්වල රස්තියාදුවන ජනයා කරන ප්‍රකාශවලින් ඔවුන්ගේ වේදනාව මනාව නිරූපනය වේ.

අවශ්‍ය වන්නේ මෙම මර උගුලෙන් ගැලවෙන මගකි. තනි මොළයට සියල්ල කියවා වටහා ගැනීමට අසීරුය. එහෙයින්  සමගිව රැස්වී සමගිව සාකච්ඡා කර සමගිව විසිර යා යුතුය. රටට ජයග්‍රහණ ගලා එනු ඇත්තේ එමගින් පමණි. නොයන්නේ එමගෙහි නම් රට තව තවත් ප්‍රපාතයට තල්ලුවීම වැළැක්විය නොහැකිය.



අදහස් (0)

නායක සාකච්ඡා නැතිව හවුල් ආණ්ඩු ගෙනයා හැකිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site