IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඩොලරයේ - රුපියලේ අගයේ යථාර්ථය

කලකට පසුව ආර්ථිකය සම්බන්ධව සුබදායක පුවතක් වාර්තා විය. ඒ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය මුදලේ වටිනාකම රුපියල් 300න් පහළ මට්ටමට පත්වීමයි. වසරකට පමණ පසුව ඩොලරය හමුවේ රුපියල විශාල ලෙස ශක්තිමත් වී ඇත. මෙයට පෙර ඩොලරය හමුවේ රුපියල පසුබසිද්දී, ඩොලරයකට එක් අවස්ථාවක රුපියල් 370කට ආසන්න වටිනාකමක් නියම විය. ඒ නිසා රටේ ජනතාවට අත්‍යවශ්‍යම ආනයනික භාණ්ඩ වන ආහාරපාන ඉන්ධන බෙහෙත් ඇතුළු සියලු‍ ද්‍රව්‍යවල මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ නැගුණි.

රුපියල ඩොලරය සහ රටේ උද්ධමනය යන ආර්ථික මෙවලම් අතර ඇත්තේ අනවරත සම්බන්ධයකි. මෙයින් එක් මෙවලමක වෙනසක් සඳහා ඍජුවම අනෙක් මෙවලමකට කළ හැකි බලපෑම ඉතා ප්‍රබලය. ඩොලරය අධිප්‍රමාණය වීම හෙවත් ශක්තිමත්වීම හමුවේ රුපියල අවප්‍රමාණය වීමත් ඒ සමඟ අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩිවීමක් සිදුවෙයි.

එය ඍජුවම රටේ භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය හෙවත් උද්ධමනය වැඩිවීමට කෙළින්ම බලපාන සාධකයක් බව අමුතුවෙන් නොකිව මනාය.

පසුගිය කාලයේ ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක මිල රු.470/-ක් තරම් ඉහළ මිලකට නැගුණේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව රුපියල කඩා වැටී ඩොලරය ශක්තිමත් වීම නිසාය. ආනයනික කිරිපිටි මිල රුපියල් 400/- සිට රැ.1100/- වැනි ඉහළ අගයකට පත් වූයේ ද ඩොලරයේ බලපෑමෙනි. ඇතැම් ආනයනික බෙහෙත් ආදියේ මිල සියයට 20කින් පමණ වැඩි වූයේ ද ඩොලරයේ බලපෑමෙනි.

මේ නිසා රටේ සමස්ත උද්ධමනය සියයට 90කින් පමණ ඉහළ නැගුණු අතර ආහාර උද්ධමනය එක් අවස්ථාවක සියයට 95 දක්වාම ඉහළ ගියේය. එහෙත් රජයේ උද්ධමන සංඛ්‍යා යන දත්ත ප්‍රතික්ෂේප කළ ඇමෙරිකාවේ සුප්‍රකට ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් හැන්කේ සඳහන් කළේ එකල ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය සියයට 140ක් තරම් ඉහළ අගයක පැවති බවය.

භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව බැංකු පොලී අනුපාතය ද ඉහළ ගිය අතර රටේ ආර්ථිකය 2023 වසරේ දී සියයට 3කින් හැකිලීම හෙවත් සංකෝචනයක් සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ පුරෝකථනවල සඳහන්ය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ උපදෙස් අනුව ක්‍රියා කළහොත් ලබන වසරේ සියයට 1.3ක් තරම් සුළු ආර්ථික වර්ධනයක් අත්පත් කරගත හැකි බවද එම ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රකාශකර ඇත.

පසුගිය කාලයේ ඩොලරය රුපියලට සාපේක්ෂව අධි ප්‍රමාණය වීම නිසා රට තුළ උද්ධමනකාරී බලවේග වර්ධනය වී ජනතාව පීඩාවට පත්වුව ද ඩොලරයේ නැගීම හෙවත් ශක්තිමත් වීම හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ කරල පැහුණි. මෙය රටට මෙන්ම ගමටත් දැනුණු සරල උදාහරණයකින් පැහැදිලි කළහොත් මෙරටට ප්‍රධාන වශයෙන් විදේශ වත්කම් ගෙනෙන තේ වගාවේ නියුතු වූවන්ගේ අමු තේ දලු කිලෝවකට ඇතැම් මාසවල රුපියල් 300 ඉක්ම වූ මිලක් ගෙවනු ලැබීය.

ඊට පෙර මිල ගණන් පැවතියේ අමු තේ දලු කිලෝවකට රුපියල් 150/- 225/- අතර සීමාවකය. මෙම මිල ගණන් ගැඹුරින් සලකා බලද්දී වාර්තා වූයේ ඇතැම් සුපිරි තේ වර්ග නිපදවන තේ වතුවල අමු දලු කිලෝවකට රැපියල් 315/- 320/- වැනි ඉහළ මිල ගණන් නියම වූ අවස්ථාද තිබූ බවය. එම තේ දලු මිල උදාහරණය අප සඳහන් කළේ රුපියලේ වැටීමත් ඩොලරයේ නැගීමත් නිසා මෙරට කුඩා තේ වතු හිමියන්ට සිදුවූ වාසි සහ ප්‍රතිලාභය ගැන සිහිපත් කරදීමටය.

කෙසේ වෙතත් තවමත් ඩොලරයේ වටිනාකම තීන්දුවන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ කිසියම් පාලනයකට යටත්වය. එසේම මෙලෙස ඩොලරය රුපියල හමුවේ පසුබසින්නේ රටේ ඩොලර් සඳහා වන ඉල්ලු‍ම අඩාල වී ඇති නිසාය. විදේශ රැකියාලාභීන් ද දැන් මසකට ඩොලර් මිලියන 500ක් පමණ මෙරටට එවන්නට පටන්ගෙන තිබේ.

එසේම ආනයන තහනමක් ද රට තුළ ක්‍රියාත්මකය. අප රජය විසින් වාර්ෂිකව ගෙවිය යුතු විදේශ ණය ගෙවීම ද අත්හිටුවා බංකොළොත් බව ප්‍රකාශ කර ඇති බැවින් මූල්‍ය වෙළෙඳපොළේ ඩොලර් සුලභ වී ඇත. එය ඩොලර් සඳහා වන ඉල්ලු‍ම පහළ යාමට බලපෑ ප්‍රධාන හේතුවකි.

එහෙත් ආනයන සීමා ඉවත් කොට තවත් මාස කිහිපයකින් රටේ විදේශ ණය ගෙවීමට සිදුවන විට ඩොලරයේ වටිනාකම පාවෙන විනිමය අනුපාතයක් බවට පත්විය යුතු බව මූල්‍ය අරමුදලේ ණය කොන්දේසියක් වන වග ප්‍රකාශිතය. ඒ හේතුවෙන් දැනට උදා වී තිබෙන ආර්ථිකමය වසන්තය නිමාවන්නට ද ඉඩ තිබේ. එහෙත් මේ මොහොතේ ඩොලරය අවප්‍රමාණය වී රුපියල අධිප්‍රමාණය වීම පීඩාවෙන් සිටි ජනතාවට විශාල වරප්‍රසාදයක් මෙන්ම අස්වැසිල්ලක් බව සඳහන් කරනු වටී.

(***)



අදහස් (0)

ඩොලරයේ - රුපියලේ අගයේ යථාර්ථය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 228 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 730 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site