IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ගොවීන්ට මුදල් දීම පමා කළ නිලධාරින්ට දඬුවම් නැද්ද?

ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත වූ රුපියල් කෝටි එකසිය තිහක් ඔවුන්ගේ ගිණුම් අංක වැරදියට සටහන් කිරීම නිසා නියමිත වෙලාවට ගොවීන්ට ලබාදීමට නොහැකි වූ බව සඳහන් පුවතක් ”‍ගොවි සල්ලි පමා කිරීම පක්ෂ දෙකක් හවුල් දේශපාලන ගේමක්”‍ යන හිසින් නොබෝදා අප පුවත්පතේ පළ වූයේය. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලැබුණු කෝටි 800ක මුදල ගොවීන්ගේ ගිණුම් වෙත බැර කිරීමේ දී මෙම ප්‍රමාදය සිදු වූ බව ද එම පුවතේ සඳහන් විය.

මීට අමතරව , ”‍හිතාමතා ගොවි ගිණුම් අංක  වැරැද්දූ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය  පියවර ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කරයි ”‍ යන හිසින් යුතුව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ කෘෂි පුවත් නිවේදනයක සඳහන් වන්නේ මේ සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවකි. ඇමැතිවරයා කියන ආකාරයට ඉහත සඳහන් නිලධාරීන් මෙකී වරද දේශපාලන පක්ෂ දෙකක බලපෑම් මත සිදු කර ඇත්තේ ද යන්න මෙතෙක් නිසි විමර්ශනයකින් සනාථ වී නැත. රාජ්‍ය සේවකයන් දේශපාලනය කරන්නේ නම් රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගොස් දේශපාලනය කළ හැකි බව අමාත්‍යවරයා කී බව එම පුවත් ලිපියේම සඳහන් වෙයි.

විශේෂයෙන් ගොවිජන සේවා  (මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව)  දෙපාර්තමේන්තුවට දේශපාලනය රිංගා  ගැනීම සම්බන්ධයෙන් පළමු කොටම වගකිව යුත්තෝ දේශපාලකයෝමය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ අවස්ථා දෙකකදී දැවැන්ත සේවක පිරිසකට දේශපාලන  පත්වීම් ලබා දී ඇත. පළමුකොටම 1979 අංක 58  දරන ගොවිජන සේවා පනතට අදාල වගා නිලධාරීන් පත්කිරීමේ දී එම  කාරණය සිදු වූයේ දේශපාලන පදනමක පිහිටා ය. එවකට පැවති ග්‍රාම නිලධාරි වසම් තුනකට පමණ එක් අයකු   බැගින් වගා නිලධාරීන් පත් කිරීම සිදු කෙරිණි. ඉන් අනතුරුව 1994 දී පොදු පෙරමුණු රජය බලයට පත්වීමෙන්  පසුව 1995දී ගොවි සෙවණ නියාමකවරුන් පත් කරන ලදී. දළ වශයෙන් එක් ග්‍රාම නිලධාරී වසමකට එක් අයකු බැගින් පත් කරන ලද ගොවි සෙවණ  නියාමකවරුන්ගේ  නිල නාමය පසුව කෘෂි පර් යේෂණ හා නිෂ්පාදන සහකාර හෙවත් කෘපනිස යනුවෙන් වෙනස් විය.

සංඛ්‍යාව අතින් දොළොස් දහසකට වැඩි පිරිසක්  එසේ පත් කරන ලද්දේ දැඩි දේශපාලන පදනමක පිහිටාය. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පවා එවකට සලකා නොබැලූ  අතර ඔවුන් මැතිවරණ බල ප්‍රදේශ මට්ටමින් තෝරා ගැනුණේ බලයේ සිටි දේශපාලන පක්ෂයේ සංවිධායකවරුන් සහ මන්ත්‍රීවරුන් විසිනි. පිටකොටුව වැනි අතිශය නාගරික ප්‍රදේශවලට පවා ගොවි සෙවණ නියාමක නිලධාරීහු පත් කරනු ලැබූහ.

තම පාක්ෂිකයන්ගේ දරුවන් එම තනතුරුවලට පත් කරන ලද බව එවකට සිටි අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අවස්ථා බොහෝය. එයින් නොනැවතී එම නිලධාරීන් රටේ මැති ඇමතිවරුන්ගේ දේශපාලන කටයුතුවලට ප්‍රසිද්ධියේම හවුල් කර ගැනීම ද සිදු වූයේය. නිර්මලව පැවති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දේශපාලනීකරණයට භාජන වූයේ දේශපාලකයන් ගේම වරද නිසාය.

ගොවීන් ලක්ෂ දොළහකගෙන් සීයට 38ක ගිණුම් අංක (එසේ ගණන් බැලූ විට සහනාධාර ප්‍රමාද වූ ගොවීන් සංඛ්‍යාව 456000කි) වැරදී ගොස්, මුදල් ආපසු ලැබී ඇති බව අමාත්‍යාංශයේ පුවත් ලිපියේ සඳහන් වේ. මෙතරම් අඛණ්ඩ සම්බන්ධීකරණ ජාල රටාවක් පවතින දෙපාර්තමේන්තුවකට මේසා වරදක් සිදුවීම අතිශය කනගාටුදායකය.

මේ වන විට රටේ  ජනගහනයෙන් සියයට හැට අටක් පමණ දෙනා ආහාර අහේනියෙන් පීඩා විඳින බව ලෝක ආහාර සංවිධානය අනුග්‍රහයෙන් නොබෝදා කළ සමීක්ෂණයකින් හෙළිදරව් විය. එයින් ද වැඩිපුරම පීඩා විඳින්නේ ග්‍රාමීය මට්ටමේ ජනයා බව  තවදුරටත් අනාවරණය විය.

එවැනි අවස්ථාවක ගොවීන්ගේ ආර්ථික අපහසුතා මඟ හැරීමට නිසි වෙලාවට ඔවුන් අතට පත්විය යුතු මුදල් ගිණුම් අංක වැරදි යාම නිසා ඔවුන් අතට නොලැබීම  මහත් වරදකි. මිල අධික යෙදවුම් උදෙසා ගොවීන් බොහෝ විට වියදම් දරන්නේ අවිධිමත් මූලාශ්‍රවලින් ගත් ණය වලිනි. ඒ අධික පොලිය යටතේය.

බොහෝ විට ඔවුහු ඒ සඳහා කනකර උකස් තබති. මේ වන විට රට තුළ සැලකිය යුතු මට්ටමින් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කර ගැනීමේ පහසුකම් පවතිද්දී අංක වැරදීමකින් ගොවීන්ගේ සහනාධාර මුදල් නොලැබී යාම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයත්  පොදු ජනතාවට වගකිව යුතුය.

(***)



අදහස් (0)

ගොවීන්ට මුදල් දීම පමා කළ නිලධාරින්ට දඬුවම් නැද්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site