IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


එංගලන්තයේදී සුනන්ද මහේන්ද්‍රට හමුවූ කුරක්කන්හේනේ බවලතා

සම්මානය යනු බුහුමන, ගරු කිරීම යන අරුත දෙන ගෞරවාන්විත යෙදුමකි. සම්මානයකින් පිදුම් ලබන්නෝ ගරු බුහුමනට ලක්වන්නෝද වන්නේ මේ නිසාය. තමන් ලද උගත්කමින් පෝෂණය කළ බුද්ධිය මෙහෙයවා තමා නියැලුණු සෑම ක්ෂේත්‍රයකින්ම ලද හැකි සියලුම දෙස් විදෙස් සම්මාන වලින් පරිපූර්ණ විය හැකි නම්, ඔහු මොනතරම් නම් බුහුමනට ලක්වූවකු විය යුතුද, ඔහු මොනතරම් නම් ප්‍රඥාවන්තයෙකු විය යුතුද? මේ එවැනි ප්‍රඥාවන්තයෙකු ගැනය.

විවේකය යන වචනයේ අරුතවත් නොදැනෙන සේ තවමත් පන්හිඳ අතින් ගත් අසූ එක් වියැති ඔහුගේ නිවසේ අතොරක් නෑර දිළිසි දිලිසී ඇති සම්මාන සහතික විවිධාකාරය. ගිනිය නොහැකි තරම් නිවස වසා ඇති පොත්පත්, ඡායාරූප මෙතෙක් ලද සම්මාන සහතිකවලට සාක්ෂි දරන්නන් මෙන් ගොඩවදින තැන සිට මුරට සිටී.  ලියන්නට, කියන්නට, කතා කරන්නට තවත් කරුණු සොයන පිපාසිතයෙකු මෙන් තියුණු දෙනෙත් දල්වා බලා සිටින ඔහු, කවුරුත් දුටු විට සුන්දර සිනහවකින් පිළිගන්නා අපූරු මිනිසෙකි, ඇඳුරෙකි, වියතෙකි. ඔහුට තවත් යෙදුම් බොහෝමයකි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මේ ඒ ප්‍රඥාවන්තයාය.
මම දැන් ජීවිතේ ලබන්න තියෙන හැම සම්මානයක්ම ලබලා ඉවරයි. මේ ගමන අවසන් වෙනකම් මම වැඩ.” සිනාසී ඔහු පවසයි. පුදුමසහගත නමුත් රසවත් කතන්දර වලින් පිරුණු මිනිසුන්ගේ ජීවිත අතර, ඔහු සුවිශේෂී පුද්ගලයෙකි. දැනට මෙරට සිටින වියපත් ඇඳුරන් අතරින් ජීවිතේ ලැබිය යුතු සම්මාන සියල්ල ලැබූවෙකු සිටී නම්, ඒ අය අතරින් ඉහළින්ම ඔහු සිටිනවා විය හැකිය.
“සම්මාන, සම්මාන ගැන මට ලොකු හැඟීමක් නම් නැහැ. මම සම්මාන බලාපොරොත්තුවෙන් කවදාවත් වැඩ කළේ නැහැ. ඒත් එක අතකින් ලැබිය යුතු දේවල් මිනිස්සුන්ට ලැබෙන එක හොඳයි.” නිහතමානීව තමන් ලද ගරුබුහුමන් වලට ඔහු අර්ථකථනයක් දුන්නේය.
යොවුන් සාහිත්‍ය, නාට්‍ය, නවකතා, කවිය යනාදී විවිධ විෂයයන්, අංශ සියල්ල වෙනුවෙන් ලැබිය යුතු සෑම සම්මානයකින්ම ඔහු පිදුම් ලබා අවසන්ය. 1964 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ‘සෙවනැලි ඇද මිනිස්සු’ නවකතාවෙන් ඇරඹුණු ඔහුගේ සම්මානනීය ගමන් මගේ සුවිශේෂීම සන්ධිස්ථාන කිහිපයකි. ඒ 2024වර්ෂයේ ජීවිතයට එක්වරක් පමණක් පිදෙන ‘සාහිත්‍ය රත්න’ හා ‘නාට්‍ය කීර්ති’ යන ගෞරව නාම දෙකම එකම වසරේ ලබන්නට තරම් ඔහු වාසනාවන්තයෙකු වීම සහ සෑම සාහිත්‍ය උළෙලකදීම ජීවිතයට එක්වරක් පමණක් පිදෙන සම්මාන සියල්ලම පාහේ ඔහු ලබා අවසන්ව තිබීමයි.
“මම ලැබූ සම්මාන ගණන හරිහැටි මට මතක නෑ. කලාභූෂණ, කලාකීර්ති, සාහිත්‍යරත්න ඔය එකී මෙකී නොකී සෑම සම්මානයක්ම ලබල තියෙනවා. සමහර සම්මාන ගන්න යන්න මට කම්මැලි හිතුණු අවස්ථාත් තිබුණා. මාව අමතන කෙනෙක් ඔය ඔක්කොම විශේෂණ නාම මට දාන්න ගත්තොත්, මම මොනතරම් විහිළුවක් වේවිද? මට හිතෙන්නේ ඉතින් ඕවා. කෙනෙකුට සම්මානයක් ලැබෙන්නේ සංසන්දනය කරලා බලලනේ. මම ලියන දේවල් ගැන මිනිස්සු මොනවා කිව්වත් මට ගාණක් නෑ. ඒක එයාලගේ අයිතියක්. මම ලියන එක මගේ අයිතියක්.  කියවල ඕනෙ දෙයක් කියන එකත් එයාලගේ අයිතියක්. සම්මානෙත් ඒ වගේ තමයි.” ඔහු සම්මානය විග්‍රහ කළේය.
සිය භාෂා ඥානයෙන් හරවත් දේ රසවත්ව දුන් ඔහු, තම පන්හිඳෙන් කළ කී දෑ බොහෝය. 1938 වර්ෂයේ ජනවාරි මස 28වන දින මාටින් හෙන්රි ද මෙල් සහ  ලිලියට් මාග්‍රට් වෛද්‍යරත්න යුවළට දාව උපන් ඔහු, මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හදාරා, උසස් අධ්‍යාපනය වෙනුවෙන් විද්‍යාලංකාර පිරිවෙනට එනම්, කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.
ඉංග්‍රීසි උපදේශකයෙකු ලෙසින් සිය පළමු වෘත්තිය අරඹා, පසුව ගුවන් විදුලියට සම්බන්ධ වී විවිධ වැඩසටහන් ඔස්සේ ගුවන් විදුලි රඟමඩලද ඔහු ඒකාලෝක කළේය. මෙකල BBC ලෝක සේවයේ ‘සංදේශයේ’ වැඩසටහන සඳහා නිෂ්පාදකවරයෙකු තෝරාගැනීමේ තරග විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී, 1968 වර්ෂයේදී බ්‍රිතාන්‍ය නිෂ්පාදකවරයෙකු ලෙසින් BBC සේවයට එංගලන්තය බලා පිටත්ව ගියේ, තෙවසරක කාලසීමාවක් සඳහාය.
ඒ ඔහුගේ හැරවුම් ලක්ෂ්‍යයයි.
මම එංගලන්තෙ ගියේ PHD ගන්න හිතාගෙන නෙමෙයි.  BBC එකේ සේවය කරන කාලේ මාව මුණගැහෙන්න එක එක ආචාර්යවරු, මහාචාර්යවරු ආවා. දවසක් ප්‍රොෆෙසර් ඩී හෙට්ටිආරච්චි එහෙ ඇවිත් මට කිව්වා තමුසෙ වගේ මිනිහෙක් ස්වෝත්සාහයෙන්  වැඩ කරලා ජීවිතේ ජයගෙන, ආචාර්ය උපාධියක් නැතුවද ලංකාවට යන්නද හදන්නේ කියල. ඔයාගේ භාෂා සුපවයිසර් කවුද දන්නවද? ඒ තමයි ක්‍රිස්ටෝපර් රෙනල්ස්. මිනිහා ඉන්දියාවෙ ලංකාවේ චීනෙ ඉඳලා තියෙනවා. හොඳට සිංහල දන්නවා. සංස්කෘත දන්නවා, ප්‍රංශ දන්නවා,  ඉංග්‍රීසිත් දන්නවා. මිනිහට ගිහින් වැඳලා හරි මාතෘකාවක් ඉල්ලගෙන අනුමත කරගන්න කිව්වා. මම කිව්වා නෑ මම මේ වැඩේ ඉවර කරගෙන යන්නම් කියලා. මම අහන්නම් කියලා ප්‍රොෆෙසර් හෙට්ටිආරච්චි ගිහින් මාතෘකාවක් එයාගෙන් ඉල්ලලා. පස්සේ ක්‍රිස්ටෝපර් රෙනල්ස් ඇහුවා මොකක්ද කරන්න කැමති කියලා. මම කිව්වා මම නාට්‍යකාරයෙක්, ගිබ්සන් ගැනයි, චෙකෝෆ් ගැනයි කරන්නද කියල. ගිබ්සන් ගැන කරන්න නෝර්වේජියානු භාෂාව දන්නවද? චෙකෝෆ් ගැන කරන්න රුසියානු භාෂාව දන්නවද කියලා ඇහුවා. ඊළඟට කියනවා අධ්‍යයනයක් හෝ විශ්ලේෂණයක් හෝ අර්ථකථනයක් හෝ කරන්න පුළුවන්ද කියලා. මට මේ එකක්වත් තේරෙන්නෙ නෑ ඒ කාලේ. ඒ පාර මම කිව්වා සර් කැමති එකක් දෙන්න කියලා. සර්වේ එකක් කරන්න පුළුවන් නම් ඉතා හොඳයි කිව්වා. හැබැයි ඒකට ගොඩාක් ක්‍රම සහ විධි තියෙනවා කිව්වා. සමීක්ෂණ ක්‍රමවේද තියෙනවා කිව්වා. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පෙරදිග අංශයේ පුස්කොළ පොත් අංශයට ගිහින් කාඩ් එකක් ගන්න කිව්වා. එතන ඉන්න ප්‍රධානියා මුණගැහෙන්න මට ලියමනක් දුන්නා.  පුස්තකාලෙට ගිහින් බලන්න ලංකාවෙන් හියු නෙවිල් කියන ‍බ්‍රිතාන්‍ය ජාතිකයා නැව් පිටින් අරන් ආපු පුස්කොළ පොත් තියෙනවා කිව්වා. මගෙන් ඇහුවා සර්වේ මෙතඩ්ස් ඉගෙන ගෙන මේ හියු නෙවිල්ගේ පුස්කොළ පොත් සර්වේ කරන්න පුළුවන්ද කියලා. මම හිටියේ ලන්ඩන් University එකේ පස්සෙ මේ වැඩවලට මාව ලෙස්ටර් university එකට මාරු කරලා යැව්වා. ඒ කාලේ කොම්පියුටර් ඇවිත් නැහැ. හැබැයි එහෙන් මෙහෙන් ඒ ගැන කතා වෙනවා. මට තිබුණා පොඩි ටයිප්රයිටර් එකක්. මම සේරම වැඩ කර ගත්තේ ඕකෙන්.
ඔවුන් නිතර කිව්ව දෙයක් තමයි නොදන්න දෙයක් තියෙනව නම් අහගන්න කියලා. ඉගෙනගන්න ආපු අයව ඒගොල්ලෝ අතරමං කරන්නේ නැහැ. ඒ කාලේ මට වයස අවුරුදු තිස් හතයි. මම ඉතිං ලයිබ්‍රි කාඩ්  අරගෙන  index system card system හැමදේම ඉගෙනගෙන මේ වැඩේ පටන් ගත්තා. ඒක මට හරි විනෝදජනක වැඩක් වුණා. ඒ පුස්කොළ පොත් ඇතුළෙ ජාතක කතා, කාව්‍ය පිරිලා තිබුණා. මේව අස්සෙ තිබිලා මට හම්බ වුණා ‘ඉතිපිසෝ ජාතක කාව්‍ය’ කියලා එකක්. හැබැයි ඒක ජාතක පොතේ නැති එකක්. මම මේක ගැන හොයන්න ගත්තා. ඒක ලියලා තිබුණේ කුරක්කන් හේනේ බවලතා කියලා ගැහැණු කෙනෙක්. මම හිතන විදියට එයා  ගජමන් නෝනට කලින් හිටපු කිවිඳියක්  වෙන්න ඕනේ. මම ඒ ගැන හොයන්න ගත්තා. මේක හරිම රසවත් වැඩක්.  ඒ කාලේ හොඳ රිසර්ච් එකක් කරගෙන යනවා නම්, ඒක සම්මානෙකට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒකට කියන්නේ ‘මවුන් බැට්න්’ සම්මානය කියලා. ගෙදර පුංචි පුතාව තියලා තිබුණු කාමරයක මගේ ටයිප්ටයිටරයෙන් මම දැන් මේක ටයිප් කරගෙන යනවා. මේ කාලෙ මාව Interview එකට කැඳෙව්වා. කැඳවල මගෙන් ඇහුවා පිටු හැටක විතර පුංචි පොතක් ලියන්න පුළුවන්ද ඉංග්‍රීසි දැනුම මැන බලන්න කියලා. ඒ වෙලාවේ තමයි ගිබ්සන්ගේ නොර්වේජියානු භාෂාවෙන් කරපු පොතකුයි, ඇන්ටන් චෙකෝෆ්ගේ රුසියානු භාෂාවෙන් කරපු පොතකුයි ඉංග්‍රීසියට පරිවර්තනය කරගෙන දවස් තුනෙන් පුංචි පොතක් හැදුවේ. වෙනත් භාෂා දෙකක පොත් එකතු කරලා ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු මේ පුංචි පොත දැකලා ඒ අය ගොඩක් සතුටු වෙලා නිබන්ධනය කරන්න අනුමත කළා. දැන් මම මගේ පර්යේෂණ නිබන්ධනය ටයිප් කරගෙන යනවා. මේ කාලෙ මගේ අධීක්ෂක මට කියනවා මේ වගේ හොඳ නිබන්ධනයක් කරගෙන යනකොට සම්මානෙකට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. ඒ මම කලින් කීව මවුන් බැට්න් සම්මානය.  ඒ කාලේ කුසුමා කරුණාරත්න, ඩබ්ලිව් අයි සුරවීර, ගුණදාස අමරසේකර, සුචරිත ගම්ලත් වගේ අය කීපදෙනෙක් එංගලන්තේ ඇවිත් හිටියා. ඒ අයත් කිව්වා මට මේකට ඉල්ලුම් කරන්න කියලා. මට මවුන් බැට්න් සම්මානය ලැබුණා. ඒක පවුම් පන්දාහක් ත්‍යාගයක්. ඒ කාලේ හැටියට ලොකු ගණනක්. දැන් මම මගේ නිබන්ධනය ටයිප් කරගෙන යනවා. එහි හිටපු ම⁣ගේ යාළුවොත් බලලා කිව්වා මේ තරම් ලොකු නිබන්ධනයක් , මේක දැක්ක ගමන් අනුමත වේවි කියලා. ඒ විදිහට තමයි මම PHD එක අවසන් කළේ. අදටත් මගේ නිබන්ධනය ලෙස්ට University එකේ සම්භාවනීය කෘතියක් ලෙස තැන්පත් කරලා තියෙනවා.”
මෙරට කීර්තිමත් සිසු පරපුරකට මගපෙන්වන මහා ප්‍රාඥයා බිහිවූයේ එලෙසිනි. BBC සේවය වෙනුවෙන් ලැබුණු වසර තුනක කාලය ඉක්මවා තවත් වසර කිහිපයක් ඉදිරියට සිය අධ්‍යයන කටයුතු කරගෙන යාමේදී මුහුණදුන් සියලු බාධක ජය⁣ගෙන ආපසු හැරී සිය රටට නොපැමිණි ඔහු බොහොම රසවත්ව මෙන්ම හරවත්ව ජීවන ගමන් මග සකස් කර ගත්තේය.
“PHD එක කරන කාලේ තාත්තා කිව්ව දෙයක් තමයි ඕක ඉවර කරගෙන මිසක් ලංකාවට නම් එන්න එපා කියලා. BBC සේවයේ සේවා කාලයේ අවසන් වුණාට පස්සෙ ඒකෙන් ලැබුණු වැටුපත් අවසන් වුණා.”

හදිසියේම ඔහුගේ බිරිඳ හඬ අවදි කළාය.

“ඒ කාලේ සුනන්ද ශිෂ්‍යයෙක් නිසා මම දවසම රැකියාවක් කළා. උදේ පාන්දර නැගිටලා, පුංචි පුතාට කෑම හදාගෙන ලෑස්ති වෙලා, එයාවත් අරගෙන Day Care දාලා මම රැකියාවට යනවා. සුනන්ද ඉගෙන ගන්නකම් මම ඒක කළා.” සීතා මහේන්ද්‍ර ඔහුගේ ආදරණීය බිරිඳ දරුවන් තිදෙනෙකුගේ මවක් ලෙස සීමා මායිම් රහිතව අදටත් ඔහුට ලබාදෙන නිදහස, අපරිමිත සෙනෙහසේ අත්වැල ලොවට අපූරු මිනිසෙකු දායාද කර දී ඇත.
 

“PHD එක කරන කාලේ දිනක් එහි තිබුණු ඩේලිමේල් කියන පුවත්පතේ ප්‍රධානියෙකු මා අමතා can you write gags කියලා ඇහුවා. නමුත් මම gags කියන වචනේ තේරුමවත් නොදැන yes කිව්වා. පස්සෙ තමයි දැනගත්තේ gags කියන්නේ පිටු පුරවලා ඉතුරු වෙන පුංචි හිඩැස් වලට කියල. ඉතිං මම ඒ පුංචි හිඩැස් වලට පොඩි පොඩි කෑලි ලියන්න ගත්තා. ඒව තමයි පස්සෙ කාලෙ පත්තරවල coloum උනේ. ඒ හිඩැස් පුරවල මට හොඳට සල්ලි ලැබුණා.

එංගලන්තේ බීබීසී එකේ වැඩ කරන කාලේ මට හම්බ වුණා ‘Brodcaster of the year ’ කියන සම්මානය. ඊට අමතරව ලෙස්ට university ඉගෙන ගන්න කාලෙ නෙල්සන් මැන්ඩෙලා ගැන කවි තරගයක් තිබුණා. ඒකේ හොඳම කවි දහය අතරටත් මගේ කවිය තේරුණා. අවසානයේ 1973 වර්ෂයේ අපි ආපහු ලංකාවට ආවේ එහෙන් කාර් එකකුත් අරගෙන. 
ලංකාවට ආවාම මහාචාර්ය සරච්චන්ද්‍රයන් මට කිව්වා ඔයා රේඩියෝ සිලෝන් එකට එන්න ඕනෙ නෑ කියල. පස්සේ මට උසස්වීමක් ලැබිලා කොළඹ කැම්පස් එකට ඇතුළු වුණා. මේකෙ ජනසන්නිවේදන අධ්‍යයන අංශය කියල වෙනම අංශයක් තිබුණෙ නැහැ. පස්සෙ මමයි, විමල් දිසානායක මහතායි එකතුවෙලා කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය කියලා එකක් ආරම්භ කළා. පසුව කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා එහිත් ජනසන්නිවේදන අධ්‍යයන අංශයක් ආරම්භ කළා. ඒ වර්ෂ1973දී. ටික කාලයක් යනකොට ඇමරිකාවේ ශිෂ්‍යත්වයක් ලැබිලා විමල් දිසානායක යන්න ගියා. පස්සේ මම තනි වුණා. ඒ වෙනුවෙන් මම විශිෂ්ට බාහිර කථිකාචාර්යවරු ගෙන්න ගත්තා. ඒ අය අතර එඩ්වින් ආරියදාස, පියසීලි ගුණරත්න මහගමසේකර, ඩී.සී රණතුංග, පී.බී නිහාල්සිංහ, ඩබ්ලිව්.ඩී අමරදේව ආදී අය සහභාගි වුණා. මේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය ඇතුළේ නාට්‍ය, සිංහල ඉංග්‍රීසි නිර්මාණ, සංවර්ධන පර්යේෂණ යනාදී විවිධ අංශ උගන්වන්න ගත්තා. පස්සේ ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ටින්, ඇඩ්වර්ටයිසින් වගේ තව තව දේවල් එකතු කළා. මේ හරහා ගොඩක් ශිෂ්‍යයන් එකතු වුණා. දැන් මේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයට වසර පනහක් පමණ වෙනවා.”

මෙරට ජනසන්නිවේදන අධ්‍යයනයට අමිල මෙහෙවරක් ඉටුකළ මෙතුමා තම ගුරු භූමිකාව තුළ බිහි කළ විශිෂ්ට ගණයේ සිසුන් අද දෙස් විදෙස් සිසාරා ගිනිය නොහැකි තරම් විශිෂ්ටයන් වී සිටී. එමෙන්ම ඔහු විසින්ම නිර්මාණය කෙරුණු පොත්පත් සංඛ්‍යාව අද ඔහුටවත් මතක නැත. ඒවා පන්සියයකට ආසන්නව ඇතැයි ඔහු නිගමනය කළේය. දරුවන්ට පමණක්ම පොත් තිස්පහකට අධික ප්‍රමාණයක් ලියා ඇති මොහු, අද වන විට විවිධ විෂය හරහා ලියූ පොත්පත්, නාට්‍ය, කවි, නවකතා තුළින් ලද සම්මාන ප්‍රමාණයද සිය ගණනකි. 1992 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උළෙලකදී සම්මාන අටකට පාත්‍ර වූ  සිය ‘සොක්‍රොටීස්’ වේදිකා නාට්‍යය ඔහුගේ වේදිකා නාට්‍ය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ‘සොක්‍රටීස්’ නාට්‍යය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය, හොඳම රචකයා ලෙසින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සම්මාන තුනක්ද ඇතුළුව තවත් සම්මාන පහක් නාට්‍ය වෙනුවෙන් ලබා ගැනීමට සමත් විය.
“මට ජීවිතේ අමතක නොවන සම්මානයක් තියෙනවා නම් ඒ තමයි සොක්‍රටීස් නාට්‍යයට ලැබුණු සම්මාන. මට දැන් සම්මාන නෙවෙයි ඕනේ.  මට අලුත් දේවල් උගන්වන්න ආසයි. ජනසන්නිවේදනය උගන්නලා දැන් ඇති වගේ. ඒක දැන් මට කම්මැලියි. මේ මොන කාලය ආවත් මගේ ජීවිතයේ මම කැමතිම කාලෙ තමයි ගුවන් විදුලි කාලේ. මම ආසයි මාව තවමත් ගුවන් විදුලි සන්නිවේදක නමින් හඳුන්වනවාට. මේ ලියන කියන වැඩ වලටත් වඩා එහි තියෙනවා අමුතුම සෞන්දර්යාත්මක පැත්තක්. මම මේ මෑතකදී ලිව්වා පොතක් ඒකේ නම ‘ජන කියමන්’. ඒකෙ තියෙන්නේ ආදි කාලේ ඉඳලා ආපු විවිධ ජන කියමන් හැදුණු හැටි. මේ එක ජන කියමනක් හැදුණු හැටි හොයන්න මං සෑහෙන්න වෙහෙසුණා. මේ පොත කියවපු සුනිල් ආරියරත්න කිව්වා මේ වගේ පොතක් මින් පෙර මං කවදාවත් කියවලා නැහැ කියලා. හේමපාල විජේදාස කියන මහාචාර්යවරයා කිව්වලු මේකට විශේෂ සම්මානයක් දෙන්න වටිනවා කියලා. ඇත්තටම මම හාඩ් වර්කර් කෙනෙක්. ඒ කියන්නේ දුෂ්කර ක්‍රියා කරන මනුස්සයෙක්. ඒකෙන් මම සතුටක් ලබනවා. ඒ සතුට මට කෙනෙකුට කියලා දෙන්න බෑ. මම හෙටත් වැඩ කරාවි.
මෙරට ජීවිතේ එක්වරක් පමණක් ලැබෙන වැඩිම සම්මාන සංඛ්‍යාවට හිමිකම් කියන ඔහු සිය වෘත්තියෙහි නිරත වන ජ්‍යෙෂ්ඨතම සරසවි ඇඳුරාද විය හැකිය. දුෂ්කර ක්‍රියාව සතුටක් කරගත් මේ අපූරු මිනිසා ලොවටම ලැබුණු විශිෂ්ට ගනයේ සම්මානයක් යැයි මා හට හැඟෙයි. ඔබෙන් අපට ලැබුණු හරසර සදාකල්ය. ඔබද අපි අතර සදාකල්ය.

 

දිනිති අභයවර්ධන

ඡායාරූප - සුමුදු හේවාපතිරණ



අදහස් (0)

එංගලන්තයේදී සුනන්ද මහේන්ද්‍රට හමුවූ කුරක්කන්හේනේ බවලතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 953 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site