IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇඟපතේ හයියෙන් ප්‍රශ්න විසඳන්න හදන අඥානයෝ

“පාලකයන් පමණක් නොව ජනතාවද වෙනස් විය යුතුය” යැයි දාර්ශනිකයෙක් වරක් කීවේය. ඒ මෙයට බොහෝ දුරාතීතයේ දීය. එහෙත් ප්‍රකාශය අදටත් වලංගුය. ජනතාවත් වෙනස් විය යුතුය. පවතින තත්ත්වය අවබෝධ කරගනිමින් වෙනස් විය යුතුය. කාලයත් සමඟද වෙනස් විය යුතුය. “කාලයත් සමඟ වෙනස් නොවන කිසිවකට පැවැත්මක් නොමැතිය” යන්න සදාතනික දහමයි. 

ඉහත පෙරවදන අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙනි. එම ප්‍රවෘත්තියෙන් අපේ රටේ ජනයාගෙන් එක් පිරිසකගේ මානසිකත්වය මනාව පිළිඹිබු වෙයි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවෙසකට පසුගිය දිනෙක ජල බිල්පත ලබා දීම සඳහා ගිය මනු කියවන්නකුට එම නිවෙස් හිමියා පහර දී ඔහු අත තිබූ ජල බිල්පත් තොගයද උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියක්  පොලිසියට නොබෝදා වාර්තා වූ බවය. 

මනු කියවන්නා කරනුයේ රාජකාරියකි. මසකට අදාළව පරිහරණය කර ඇති ජලයට ගෙවිය යුතු මුදල සටහන් කර නිවෙස් හිමියාට ලබාදීම ඔහුගේ රාජකාරිය වේ. අදාළ මුදල ගෙවීම හෝ නොගෙවීම නිවෙස් හිමියාගේ රාජකාරිය වන අතර එයට මනු කියවන්නාගේ සම්බන්ධයක් නැත. යම් හෙයකින් නිවෙස් හිමියා අදාළ මුදල් ගෙවා නොමැති නම් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මනු කියවන්නාට අයිති රාජකාරියක් නොවේ. ඒ සඳහා වෙනත් ආයතනයක් තිබේ. 

ජල බිල තීරණය කරනු ලබන්නේ අදාළ මීටරය මගිනි. එසේ නොමැතිව මනු කියවන්නාට හිතෙන හිතෙන මුදලක් අය කළ නොහැකිය. මනු කියවන්නා අතින් යම් දෝෂයක් වැරැද්දක් සිදු වී ඇත්නම් පැමිණිලි කිරීමෙන් හෝ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකිය. 

ඉහත සඳහන් කරුණු ලිවිය යුතු ඒවා නොවේ. එහෙත් මෙම මූලික කරුණු පවා නොදන්නා සැලකිය යුතු පිරිසක් මේ රටේ සිටිති. ඇරැව්වල මාලිගාවත්ත ප්‍රදේශයේ නිවෙස් හිමියකු ජල බිල්පත ලබාදීමට පැමිණි මනු කියවන්නකුට පහර දී ඔහු අත තිබූ ජල බිල්පත් තොගය ද උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ එම තත්ත්වය වේ. 

ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවෙසකින් වාර්තා වූ සිද්ධිය එම පන්නයේ පළමු සිදුවීම නොවේ. අන්තර්ජාලය හරහා සංසරණය වන වීඩියෝ මගින් පැහැදිලි වන්නේ මෙබදු සිදුවීම් විරල සිදුවීම් ලෙස සැලකිය නොහැකි බවය. ජල මනු කියවන්නන් මෙන්ම විදුලි බිල්පත රැගෙන එන මනු කියවන්නන් ද මෙම අවාසනාවන්ත ඉරණමට බහුලව ගොදුරු වෙමින් සිටින බව පැහැදිලිය. 

ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවෙසට මනු කියවන්නා ජල බිල්පත ලබාදීමට ගිය අවස්ථාවේදී එම නිවෙස් හිමියා “උඹලා වතුර කැපුවා මදිවට බිල දෙන්නත් එනවද යකෝ” යැයි ආවේගශීලීව කෑගසමින් මනු කියවන්නාට පා පහරක් එල්ල කළ බවට පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. අනතුරුව මනු කියවන්නා අත සතුව තිබූ ජල බිල්පත් උදුරාගෙන වතුර බැරලයකට දමා තිබේ. 

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරු සහකාර දිලිනි අයේෂා මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එම නිවෙස් හිමියා 2021 සැප්තැම්බර් මස සිට මේ දක්වා ජල බිල්පත් ගෙවා නොමැති අතර ඒ හේතුවෙන් ඉකුත් මස සිට ඔහුගේ ජල සැපයුම විසන්ධි කර ඇති බවය.

එමෙන්ම එම නිවෙස් හිමියා ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 14,000ක් ඉක්මවන මුදලක් ගෙවිය යුතුව ඇතැයි ද එම මහත්මිය ප්‍රකාශ කර තිබිණි. ජල සැපයුම විසන්ධි කර තිබුණද එම පුද්ගලයා මේ දක්වා අයථා මාර්ගයකින් ජලය ලබාගෙන ඇති බව මෙම සිද්ධිය ගැන සොයා බැලීමට එහි ගිය ඉංජිනේරු සහකාරවරිය ඇතුළු නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 

ජලය ලබා ගත්තේනම් එයට අදාළ මිල ගෙවිය යුතු බව වටහා ගැනීමට අමුතු නුවණක් අවශ්‍ය නොවේ. එමෙන්ම බිල නොගෙවන්නේ නම් සැපයුම විසන්ධි කෙරෙන බවද සාමාන්‍ය දැනුමට අයත්ය. සමාජයේ ජීවත්වීමට සාමාන්‍ය දැනීම අවශ්‍ය වන්නේ යැයි කියන්නේ එහෙයිනි. 

මේ කාලය කාටත් බොහෝ අමාරු කාලයක්ය. ආදායම් අඩු වී වියදම් හත් අට ගුණයකින් ඉහළ ගොස් ඇති පසුබිමක ‘බිලක්’ පැමිණීම යනු සිහි විසඥවන තත්ත්වයකි. එහෙත් මෙම ප්‍රශ්න ඇඟපතේ හයියෙන් විසඳාගත හැකි ඒවා නොවේ. ජනතාව වෙනස්ව සිතිය යුතු වන්නේ එහෙයිනි.

(***)



අදහස් (0)

ඇඟපතේ හයියෙන් ප්‍රශ්න විසඳන්න හදන අඥානයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site