IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ආයුර්වේද ඖෂධ සංස්ථා බහිරවයන්ගේ වැඩ

පතුළ නොපෙනෙන අඳුරු ආගාධයක් වෙත රට තල්ලු වෙමින් තිබෙන බව පැහැදිලිය. හාස්කමකින් විනා එය වෙනස් නොවන බවද සත්‍යයකි. මේ වූ කලී රැයක - දෙකක ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල නොවේ. වැරැදි බව දැන දැනත් එමග අත නොහැර එමගේම පැමිණීමේ ප්‍රතිඵලයකි. නිවැරැදි කරගත යුතුව තිබූ බොහෝ තැන් නිවැරැදි කර නොගැනීමේ තාර්කික වන්දිය ජනතාව ගෙවමින් සිටිති.

මේ රටේ බොහෝ රාජ්‍ය ආයතන අකාර්යක්ෂම බව වසන් කළ නොහැක. එහෙත් ඒවා නිවැරැදි වූයේ නැත. එම ආයතන රටට බරක් වූ එමෙන්ම ජනතාවගේ බදු මුදලෙන් නඩත්තු වන ආයතන බවට පත්වී තිබේ. රාජ්‍ය ආයතනයක් රැකබලා ගැනීමේ වගකීම මහා භාණ්ඩාගාරය දරන හෙයින් ඒවායේ සිටින ටයි කෝට්කාර මහත්වරුන්ට එම ආයතන දියුණු කිරීමේ වුවමනාවක්ද නැත. ලක්ෂ ගණනක වැටුප, අමතර දීමනා, නිල රථය, රියැදුරු සමග ඉන්ධන, රැස්වීම් දීමනා ආදී වශයෙන් විශාල ‘පැකේජයකට’ උරුමකම් කියන ගරු කටයුතු මහත්වරු තමන්ට පෑදී ඇති ඉල්ලම සම්බන්ධයෙන් අප්‍රමාණ ලෙස සංතෘප්තියෙන් දවස් ගෙවා දමති.

මෙම තත්ත්වය පැහැදිලි කෙරෙන ඉතා වැදගත් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව රාජ්‍ය අංශයේ ආයතනවලට නිෂ්පාදන වර්ග 108ක් සැපයීමට අපොහොසත්වීමෙන් එම සංස්ථාවට රුපියල් කෝටි 6කට ආසන්න ආදායමක් අහිමි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසන බවය.

රාජ්‍ය ආයතන යනු ‘බිස්නස්’ කරන ස්ථාන නොවන බව සහතිකය. එහෙත් ආදායම් ඉපැයිය හැකි මාර්ග වේ නම් ඒවාට යොමුවීම වැරැදි ද නැත. එසේ ආදායම් උපයන්නේ නම් එම ආයතනය දියුණු කිරීමට, සේවකයන්ගේ සුබසාධනයට යෙදවීම කළ හැකිය. ඉතිරියක් වන්නේ නම් එය මහා භාණ්ඩාගාරයට යොමු කළ හැකිය. එහෙත් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සිදුකර තිබෙන්නේ රුපියල් කෝටි 6කට ආසන්න ආදායමක් අහිමිකර ගැනීමය.

2019 වසරේදී මෙසේ ආදායම අහිමි කරගෙන තිබෙන බව පවසන ජාතික විගණන කාර්යාලය රාජ්‍ය අංශයෙන් ලැබෙන මෙම ඉල්ලුම සපුරාලීමට උත්සාහයක් නොදැරීම නිසා නිශ්චිත වෙළඳපොළ කොටසක් අතහැරී යාමේ අවදානමක් පැවතුණ බව ද පවසයි. එමෙන්ම තම වෙළඳපොළ කොටස තීරණය කිරීම සඳහා කාලීනව වෙළඳපොළ සමීක්ෂණයක් සිදුකර නොමැති බවත් වෙළඳපොළ කොටස අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවී තිබේද යන්න පිළිබඳව අවබෝධයක් පවා ආයතනය සතුව නොතිබූ බවත් එම විගණන අංශය පවසයි.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පිහිටුවීමේ එක් ප්‍රධාන අරමුණක් වන්නේද රාජ්‍ය අංශයේ ආයතනවලට නිෂ්පාදන වර්ග සැපයීමය. මන්දයත් ඒවා හිතුමනාපේ නිෂ්පාදනය කළ නොහැකි හෙයිනි. එහෙත් එම වගකීම ඉටුවී නොමැත. එය එසේ වුවත් තම තමන්ට අවශ්‍ය දේ කර ගැනීමට පසුබට වී නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරන එක් කරුණකින් වුවද මනාව පැහැදිලි වේ. එම කරුණ නම් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා තනතුරු 19ක වැඩ බැලීම සඳහා සුදුසුකම් සපුරා නොතිබූ නිලධාරීන් 19 දෙනකු බඳවාගෙන වැඩ බැලීමේ දීමනා ලෙස ලක්ෂ 22කට ආසන්න මුදලක් ගෙවා තිබීමය.

ඉතාම පැහැදිලිව අවධාරණය කළ හැකි වන්නේ එම 19 දෙනාට වැටුප් හා දීමනා ලබාදීම සඳහා පමණක් එම වැඩ බැලීමේ තනතුරු පුදා ඇති බවය. ඒවාට නම් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ බලධාරීන් වගකිව යුතු නැත. මන්දයත් එම පත්වීම් දේශපාලන බලඅධිකාරියේ අවශ්‍යතාවට සිදුවීම බොහෝ සෙයින් ඉඩ ඇති හෙයිනි. තම හෙන්චයියලාට එසේ රාජ්‍ය දේපොළ උරා බීමට ඉඩ දීමට බොහෝ දේශපාලනඥයෝ නිර්ලෝභී වෙති. එමෙන්ම නිර්භය වෙති.

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවක මණ්ඩලය සඳහා ත්‍යාග වවුචර් පත් ලබාදීමට 2019 වසරේදී රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ විරෝධතා නොසලකා රුපියල් විසිපන් ලක්ෂයකට අධික මුදලක් සමුපකාර තොග වෙළඳ සංස්ථාවට ගෙවා ඇති බවය.

ආයතනය වළපල්ලට යවමින් තමන් අභිමත දෑ මුදුන් පමුණුවා ගැනීමේ මජරකම කොතෙක්දැයි ඉහත කරුණෙන්ද ඔප්පු වේ. රට මෙබඳු ප්‍රපාතයක් අද්දරට තල්ලු වී ගොස් තිබෙන්නේ ඉබේම නොවන බව අවධාරණය කළ යුතු වන්නේ එහෙයිනි.



අදහස් (0)

ආයුර්වේද ඖෂධ සංස්ථා බහිරවයන්ගේ වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site