IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සහකම්පනය නැති සාහිත්‍යයකින් පලක් නෑ

තුරුණු මඬල

 

ඇය මුලින්ම සාහිත්‍ය කලාවේ  හොඳ  රසිකාවියකි.එසේම කලාව හා සාහිත්‍යය පිළිබඳ අධ්‍යයනයට කැමති කෙනෙකි.  මිනිස්සුන්ට ඇස නොගැටෙන නොදැනෙන සමහරවිටක ඔවුන්ට කියවගන්න බැරි මිනිස් හැඟීම් කියවගන්න අවබෝධ කර ගැනීමට උත්සාහ කරන කෙනෙකි.සරලවම ඇය   
කලාවට සාහිත්‍යයට බැඳීගෙන ආදරය කරන මනුස්ස දුවකි.කවියෙන් හුස්ම ගන්නට උත්සාහ කරන සොබාදහමට ස්තුති කරන ඇයම ඇය කවුරැදැයි  සොයා ඇවිදින සරල මනුස්ස ප්‍රාණියෙකි.ඇගේ නවතම කෙටි කතා සංග්‍රහය ෆුට් ලවර් නමින් පසුගියදා එළිදැක්විණි.ලංකාදීප මතුමහල සාහිත්‍ය සංවාදය මෙවර තදිති තිලකවර්ධන  සමගය.

 

* ඔබ අප මුලින්ම හඳුනා ගන්නේ කිවිදියක් ලෙසයි.ඒ නිර්මාණ චාරිකාවේ ඔබ ගිය දුර ගැන මුලින්ම කතා කරමු.

ඇත්තටම මම කුඩාකල පටන් කවි ලිවීම සිදුකළාට, සාහිත්‍යය ඇසුරු කලාට මම මගේ නිර්මාණ චාරිකාව අරඹන්නෙ මුහුණු පොත හරහා කවි ලියමින්. අතීතයේ පුවත්පත් කවි පිටුවලට බිත්ති පුවත්පත්වලට කවි ලියලා කවි කලාව අරඹපු මම 2018 වසරේ ආදරේ විතරමයි නමින් මුල්ම කවි පොත පළ කරනවා. ඒ  පොතේ ලියවෙන්නෙම ආදරේ ගැන කවි.හැබැයි එතනින් පස්සෙ මම තේරුම් ගන්න උත්සාහ කරනවා කවිය කියන්නෙ ආදරේම නෙමෙයි කියල.යම් යම් හැදෑරීම් ජීවන අත්දැකීම් මට හමුවේච විවිධ මිනිස් ඇසුරෙන් ලැබුණු ආභාසය නිසා මම දෙවැනි කවි පොත ලියෝ ලෙස පළ කරනවා.ඒ 2020 අවුරුද්දේ .  ඒ විදියට කාන්තාවක් වීම නිසා කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න හිංසන තත්වයන් ඒ කවි පොත හරහා මම කතා කරන්න උත්සාහ කළා.
ලියෝ එක්කම මම පෙම්බරා කියන කවි පොතත් 2020 දි ජනගත කරනවා.ලියෝ හොඳ කවි පොතක්.ඒ වගෙම පෙම්බරාත් මිනිස්සු අතර ජනප්‍රිය වීම මට සතුටක් වුණා..එතනින් පස්සෙ අභ්‍යාස කරමින්,සාහිත්‍යය අතනෑර ඇසුරුකරමින්,කියවමින් මම අලුත් කවියක් හොයාගන්න කවිය එක්කම බැඳුණා. 2023 අවුරුද්දේ මම "මුහුදු පතුලක වැහි කබායකි පැරිස් විලවුන් සුවඳ මුහුවුණ" කාව්‍ය සංග්‍රහය පළ කරනවා. එය තරමක සාර්ථක වෑයමක් වුණා. ඇත්තටම  මම ආ දුර ගැන කතා කරද්දී මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලය ඒ පාඨක සමාජයෙන් මම ගත්ත පන්නරය අමතක කරන්න බැහැ. 

 

* ඔබ දැන් කෙටි කතා රචිකාවියක් බවට පත්ව සිටිනවා.ෆුට් ලවර් කෙටි කතා පොත මගින් මානව ප්‍රේමයේ පැති කීපයක් ඔබ සාකච්ඡා කරනවා.ඒ ගැන තව දුරටත් විස්තර කළොත්?

ප්‍රේමය කියන දේ සාපේක්ෂයි .මට දැනෙන ප්‍රේමය ඔබට නොදැනෙන්න පුළුවන් .ඔබට දැනෙන ප්‍රේමය ඔබ දකින ප්‍රේමය මම නොදකින්න පුළුවන් .මිනිස්සු ගත්තම විවිධයි..ඉතින් ඒ මිනිස්සු ළඟ තියෙන ප්‍රේමයත් විවිධයි.හැබැයි මම මේ ෆුට් ලවර් හරහා කතා කරන්න වෑයම් කළේ අන්න ඒ අපිට සාමාන්‍යයෙන් ඇස නොගැටෙන අපි දකින්න පුංචි උත්සාහයක්වත් නොදරන කතාන්දර ගැනයි.මට ඕනෑකම තිබුණා කවුරුවත් කතා නොකරන හැමදාම අපිට දකින්න තියෙන රාමුවෙන් මිදිලා ප්‍රේමය දකින්න ..මොන විදියට ගත්තත් ප්‍රේමය සම්මත අසම්මත කියලා ඉරක් ගහලා වෙන් කරන්න බැහැ.සම්මතය ඇතුළේ අසම්මතයත් අසම්මතය ඇතුළේ සම්මතයත් තියෙන දේකට ප්‍රේමය කියන්නෙ.ප්‍රේමය කියන්නෙ දැනෙන දේට.විඳින දේට.මිනිස්සු තමන්ට දැනෙන තැන්වල නතරවෙනවා ප්‍රේමය නිසා.එහෙම මානව ප්‍රේමය මිනිස්සු අත් විඳින ආකාරය සියුම්ව මම ෆුට් ලවර් හරහා කතා කරනවා.මම යෝජනා කරනවා ෆුට් ලවර් මිනිස්සු හැමෝම කියවන්න ඕන පොතක් කියලා.

 

* "ෆුට් ලවර්" කියන නමත් අමුතුයි. ඇයි මේ වගේ නමක් දාන්න කල්පනා කළේ?

මිනිස්සුන්ගෙ මානව හැඟීම් සම්බන්ධයෙන් සමාජය තුළ සහකම්පනයක් ඇති කිරීම ලියන්නෙකුගෙ වගකීමක්.මිනිස්සු තුළ පවතින මානව හැඟීම්වල විවිධත්වය මතු කිරීම සඳහාත් කෙටිකතාවට නව කෙටිකතාමය ප්‍රවේශයක් ලබාදීම සඳහාත් මම මේ ෆුට් ලවර් කෘතිය හරහා බලාපොරොත්තු උණා. .නූතන මානව හැඟීම් ,සම්බන්ධතා සමාජ මාධ්‍යය  ඔස්සේ ප්‍රකාශ⁣වෙන අන්දම හරි වෙනස්.දැලි පිහියෙන් කිරි කනවා වගෙ හරි පරිස්සමෙන් අවබෝධය ඇතිව සමාජ මාධ්‍ය භාවිත කළ යුතුයි.සමහරවිට "ෆුට් ලවර් " ප්‍රබන්ධනාත්මක ගවේෂණයක්.එහෙත් මේ පොළොවෙ හුස්ම ගන්න ප්‍රේමයේ හඬවල් ඔබට ඇසෙන්නට පුළුවන් ෆුට් ලවර් හරහා.ඉතින් එහෙම ප්‍රේමවන්තයොත් අපි අතර ඉන්නවා කියන්නයි ෆුට් ලවර් නමින් පොතක් පළ කරමින් අපේක්ෂා කළේ.

 

*ඔබ වැඩිපුර අභ්‍යාස කරන්න කැමති කිවිදියක් විදියටද නැතිනම් කෙටි කතා රචිකාවියක් විදියටද?

මම වැඩිපුර කැමැත්ත දැක්වුවෙ කවියට.අභ්‍යාස කළෙත් කවිය වෙනුවෙන් . මගේ කවිකමට මම හරි ආදරෙයි .මම මාව විඳින්නෙත් මගෙම කවියෙන්.
හිම මිදෙන්නෙත් දිය කරන්නෙත් එකම ජල දහරින්
මං අඬන්නෙත් සිනාසෙන්නෙත් මගෙම පෙම් කවකින් කියල මගෙම කවියකුත් මට මේ වෙලාවේ මතක් වෙනවා.
එහෙත් ෆුට් ලවර් ලිවීම හරහා මට කෙටිකතාව පිළිබඳ යම් අමුතු ඇල්මක් දැනෙනවා සහ තව කෙටිකතා කියවන්න හදාරන්න තියෙන ආසාව වැඩිවෙලා කියනවා කියන කාරණාව මට දැනෙමින්  තියෙනවා .සමහරවිට ඉදිරියේදී මම තවත් කෙටිකතා පොතක් හෝ නව කතා පොතක් ලියන්න ඉඩ තියෙනවා.

 

*ඔබ දකුණු පළාතේ ගජමන් නෝනාගේ කවි පරම්පරාවේ කෙනෙක්.ඒ අභිමානය ඔබට දැනෙන්නේ කොහොමද 

ඔව් ගජමන් නෝනා මාතරට නෑකම් කියන කිවිඳියක්. එහෙත් ගජමන් නෝනාගේ කවිය පොදුයි. හිටිවන කවි කීමට හා ලිවීමට ඇයට තිබූ මනා දක්ෂතාවය නිසා ඇය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කිවිඳියක බවට පත්වුණා . ඇය මාතර සාහිත්‍ය යුගය නියෝජනය කරන කිවිඳිය නිසාම රුහුණේ කිවිඳිය ලෙසද විරුදාවලිය ලැබූ බව අපි අහලා තියෙනවා. මාතර දකුණෙ සිට කවි ලියන කෙනෙක් හැටියට ගජමන් නෝනා අමතක කරන්න බැහැ. මට වගේම හැමෝටම එහෙමයි කියල මම හිතනවා. ඉතින් ඒ නිසාම ගජමන් පරපුරේ කිවිඳියක වීම අභිමානයක් තමයි.එහෙත් ගජමන් නෝනාගේ ජීවිතයට අවසන් කාලයේ උදාවූ අමිහිරි දුක සංතාපය කිසිම කිවිඳියකට උරුම නොවිය යුතුයි . ගජමන් නොා්නාගෙන් අපි උගත යුතු පාඩම එයයි.

 

*ඔබ තවත් පැත්තකින් ව්‍යවසායිකාවක් විදියටත් කටයුතු කරනවා.ඒ අත්දැකීම් ඔබේ නිර්මාණ ජීවීතයට වැදගත් වුණාද? 

ඔව් ඇත්තටම මගෙ කවිකම ව්‍යවසායිකාවක් ලෙස සමාජයේ ඉදිරියට යන්නත් ව්‍යවසායිකාවක් කියන භූමිකාව කලාවෙන් ඉදිරියට යන්නත් මට ශක්තියක් වෙලා තියෙනවා.ඇත්තටම මට ඒ ගැන දැනෙන්නෙ නිහතමානී සතුටක් සහ ආඩම්බරයක්.මොකද මේ කේෂ්ත්‍ර දෙක සඳහාම මම එක වගෙ කැප කිරීම් කරන කෙනෙක්.මේ දෙකෙන් එකකට වැඩියෙන් කැමතියි කියන්න මට බැහැ.අනිත් කාරණාව තමයි අපි කරන දේට අපි තුළ තියෙන ආදරය සහ කැමැත්ත. ඒ මගේ හැකියාවන් දෙක නිසාම මට රූපවාහිනී වැඩසටහන් ,ගුවන් විදුලි වැඩ සටහන්, පුවත්පත් සාකච්ඡා ලැබෙනවා. ⁣මේ  ගැන කතා කරන්න .ඒක හැමෝටම නොලැබෙන අවස්ථාවක් .ඒ තුළින් මගේ නිෂ්පාදන අලෙවිය වැඩිකරගන්න පවා මට පුළුවන් වෙලා තියෙනවා.

 

*මෙම කෘතිය නිකුත් වන්නේ සක්නද ප්‍රකාශනයක් ලෙසටයි.එහි අධිපතිනියත් කාන්තාවක්.ඔබ දෙදෙනාගේ සුසංයෝග⁣ය කෘතියේ සාර්ථකත්වයට බලපෑවේ කොහොමද?

ඔව් සක්නද ප්‍රකාශිකාව දමයන්ති ගල්පායගේ සාහිත්‍යය ගමන තුළ මට හමුවූ හොඳ සහෝදරියක්,මිතුරියක්,
කලා ලොවේ සාහිත්‍යය එක්ක ඉන්න බොහෝ පිරිසක් අපි දෙන්නවම අඳුනනවා.අපි දෙන්නා නිතර කවිය ගැන නවකතාව ,කෙටිකතාව පිළිබඳව සාහිත්‍යය සංවාද කරන දෙන්නෙක්.
ෆුට් ලවර් කෙටිකතා සංග්‍රහය ඇත්තටම අභියෝගයක්. මම මේ කතා ටික ලියලා අවුරුදු දෙකක් විතර වෙනවා .එළියට නොදා එහි අඩුපාඩු සකසමින් අපි නිතර සංවාද කළා.අවසානයේ මේ කතා සමාජයට විවර කරන්න ඕන කියන තීරණය බය නැතිව ගත්තා .කාන්තාවක් තවත් කාන්තා⁣වක් වෙනුවෙන් සංවේදී නැහැ කියන මතය සමාජයේ තියෙන මුත් ඒ කතාව බොරුවක් කරන්නට ගැහැනු දෙන්නෙක්ට හැකිවීමත් සතුටක් .

 

*ඔබ කෙටි කවි ලියන්නත් කැමැත්තක් දක්වනවා.ලංකාවේ කෙටි කවිය ගැන ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු වෙනවාද?

මම කැමතියි කෙටි කවි ලියන්න .එහෙත් කෙටි කවිය කියන්නෙ විශාල ගැඹුරක් දනවන්නක්. මම ඇත්තටම තවමත් කෙටි කවිය හදාරමින් ඉන්න කෙනෙක්. කෙටි කවිය පිළිබඳව ප්‍රමාණවත් කතිකාවක් සමාජ⁣යේ පෙනෙන්නට නොතිබුණත් ප්‍රවීණ කිවියර ආරියවංශ රණවීරයන් සහ කිවියර නන්දන වීරසිංහ ඇතුළු  සාහිත්‍යවේදීන් කෙටිකවිය ගැන ලියූ පොත්පත් බොහොමයක් තියෙනවා. මම හිතනවා කෙටිකවිය ගැන හොඳ කතිකාවකට වේදිකාවක් තවමත් හැදිලා නැහැ කියලා.කෙසේ නමුත් කෙටි කවියට මා ප්‍රියතාවක් දක්වනවා සේම ලොකු කතාවක් කෙටියෙන් කියන්න කෙ⁣ටි කවියට පුළුවන් වීම නිසා පාඨකයාට ළංවෙන්න කෙටි කවිය හොඳ අත්වැලක්.

 

*මේ දිනවල ඔබේ නිර්මාණ කටයුතු සිදුවන්නේ කොහොමද?

සුපුරුදු විදියට  කවි කියවමින් ලියමින් ඉන්නවා සේම ඉදිරියේදී කෙටි කවි පොතක් කිරීම පිළිබඳව  හිතමින් අභ්‍යාස කරමින් ඉන්නවා.  නවකතාව පිළිබඳවත් යම් යම් කියවීම් තමයි මේ දිනවල වැඩිපුර සිදුවන්නේ..

 

*කොළඹින් ඈත දිවි ගෙවීම ඔබේ නිර්මාණ කටයුතු වලට බාධාවක් නොවේද?

ඇත්තම කිව්වොත් කවිය එක්ක තදිති කියන නම හැදෙනවා.කවියත් එක්ක ජීවත්වෙන්න කවි ඇසුර ලබන්න පුළුවන් කවිය තියෙන්නේ කොළඹ.ගතවුණු අවුරුදු 5,6 ඇතුළත කවි පොත් එළිදැක්වීම් හැම එකකටම වගෙ සම්බන්ධ වෙලා තියෙනවා.මාතර ඉඳලා කවිය හොයාගෙන කොළඹ යන එක සුළු දෙයක් වෙන තරමට මම කවියට ආදරේ කළා. සමහර වෙලාවට ගෙදර අය මට කොළඹින් ගෙයක් අරගෙන නවතින්න කියලා නෝක්කාඩු කියන වාර අනන්තයි.කොයිම වෙලාවකවත් මාතර ඉන්න මට එය බාධාවක් වෙලා නැහැ .අනිත් කාරණාව තමයි මම ජීවත්වෙන පරිසරය.පොල්හේන කියන සුන්දර ගමේ මුහුදු රළ දිහා බලාගෙන ගෙවන ජීවිතය මට හරි සතුටක්.මගේ සාහිත්‍ය ජීවිතයට නිර්මාණකරණයට මම ජීවත්වන පරිසරයෙන් මට ලැබෙන්නේ ලොකුම ශක්තියක්. එය හරි ආශ්වාදනීය යි.



අදහස් (0)

සහකම්පනය නැති සාහිත්‍යයකින් පලක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site